ලිංගික දුබලතා නසන ඔසුව කස්තුරි

මැයි 24, 2024

තම නිවස අසලම පිහිටා ඇති බෙහෙත් ශාලාවේ සිටි සුමතිපාල වෙද මහතා හමුවීමට උදෑසනම පැමිණියේ එම ගමේම පදිංචිව සිටින බැංකු නිලධාරියෙකු වූ ජගත් මහතාය. ඔහු දුටු වෙද මහතා

මොකද ජගත් මහත්තයෝ උදෙන්ම අසනීපයක් වත්ද?

මට නම් අසනිපයක් නැහැ වෙද මහත්තයෝ මම ආවේ අපේ අම්මට බෙහෙතක් අහගන්න. අපේ අම්මට දැන් වයස අසූවක් විතර වෙනවා නේ. කෑම කනවත් අඩුයි. ඇගට පණත් නැහැ කියල නිතරම කියනව. ඒකට මොනවහරි බේතක් තමයි ඕන

ඔය වයසට ඔහොම ලෙඩ එනවනේ ජගත් මහත්තයෝ .ඕකට හොඳම බේත තමයි කස්තුරි මිශ්‍ර දශමූලාරිෂ්ඨය එයින් බෝතලයක් ගෙනිහින් දවසට දෙපාරක් කෑමට පෙර මේස හැදි 1ක් බොන්න දෙන්න. මේ බේත බොනකොට ඔය ලෙඩ නැතිවෙලා යාවි.

හොඳයි වෙද මහත්තයෝ එහෙම කරන්නම්. එතකොට වෙද මහත්තයෝ කස්තුරි කියන්නේ වටින බෙහෙතක් නේ.කස්තුරි හොයා ගන්න තියෙනවාද?

කස්තුරි කියන්නේ හොඳම බේතක් තමයි ජගත් මහත්තයෝ. හොයා ගන්නත් ටිකක් අමාරුයි. අපේ ආයුර්වේද වෙදකමේ තියෙන ඉතා දුර්ලභ වටිනා සත්වජ ද්‍රව්‍යයක් තමයි කස්තුරි. විශේෂිත කස්තුරි මුවන්ගෙන් තමයි කස්තුරි ලබාගන්නෙ

එතකොට වෙද මහත්තයෝ කස්තුරි ගෙන්වන්නේ වෙනත් රටවලින්ද?

රුසියාව...චීනය...මධ්‍යම ආසියාව...ටිබැටය..නේපාලය ..භූතානය... ඇසෑම්... කාශ්මීර සහ හිමාලයේ අඩි 8000 කට වඩා වැඩි දුර්ග කදු බෑවුම් ආශ්‍රිතව තමයි මේ කස්තුරි මුවෝ ඉන්නෙ. මේ මුවන්ගෙන් කස්තුරි ලැබෙන්නේ කාමෝද්දීපන කාලවල පමණයි. එහෙම නැතුව මේ මුවන් අල්ලා ගැනීමෙන් හොඳම වර්ගයේ කස්තුරි ලබා ගන්න බැහැ

ඒ වුණාට කාමෝද්දීපන කාලවලට පස්සෙ එම මුවෝ නිතර ගැවසෙන තැන්වල තිබී හමුවන කස්තුරි එම මුවන් විසින් ඔවුන්ගේ කුරවලින් එම ග්‍රන්ථිය කඩනු ලැබීමෙන් බිම පතිත වන ඒවායි.

එතකොට වෙද මහත්තයෝ කස්තුරිවලට ඉන්දියාවේ කොහොමද කියන්නේ?

සංස්කෘත භාෂාවෙන් මෘග නාභි... මෘගමද...කස්තුරිකා...වේදමුඛ්‍යා..සහස්‍රහිත්..යන නම් යෙදෙනවා. හින්දි භාෂාවෙන් කස්තුරි කියනවා

ඉංග්‍රීසි භාෂාවෙන් ර්භඵඬ කියා යෙදෙනවා

එතකොට වෙද මහත්තයෝ මේ කස්තුරි හැදෙන්නේ කොහොමද?

කස්තුරි මුවාගේ ශිෂ්ණය කෙළවර චර්ම කූපවලින් වහනය වන ස්‍රාවයේ ඝණ පදාර්ථයක් පවතින අතර ඒවා රැස්වෙලා තියෙන්නේ නාභිය සමීපයේ තියෙන අඟල් 11/2 ක පමණ විෂ්කම්භයකින් යුක්ත අංඩාකාර කෝෂයක් තුළ එය මතුපිටින් මෘදු කලාවකින් වැසී පවතිනවා

එසේම මේ කස්තුරි මුවන් මරා නාභිය ආශ්‍රිත කෝෂය ඉවත් කර ගත් පසු ඉක්මනින් වාතයෙන් සහ අව්වෙන් වියලා ගත යුතුයි. ඊට පසු ආරක්ෂිතව අසුරා තබා ගත යුතුයි .

ඒ වගේම චීනයේ මුවන් නොමරා ජීවත්ව සිටියදී කස්තුරි ලබා ගැනීමේ නවීන විද්‍යාත්මක ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා

ඒ වගේම ජගත් මහත්තයෝ කස්තුරි ගොඩක් දුර්ලභ නිසා කස්තුරි වෙනුවට කපුකිනිස්ස ඇට (ලතා කස්තුරි) සහ කෘතීමව නිපැයූ කස්තුරි බොහෝ විට යොදා ගනු ලබනවා

එතකොට වෙද මහත්තයෝ කස්තුරිවල ප්‍රභේද තියෙනවාද?

ඔව් ආයුර්වේද ග්‍රන්ථයක් වන භාව ප්‍රකාශයේ දැක්වෙන විදියට කාමරූපී නෛපාලී

කාශ්මීර වශයෙන් ප්‍රභේද 3 ක් සදහන් වෙනවා. මේ අතුරින් කාමරූපී වර්ගය අනෙක් ප්‍රභේද 2 ට වඩා ශ්‍රේෂ්ඨ යි. ඒ වගේම සුගන්ධය අධිකයි. කළු පැහැයෙන් යුතුයි.

නෛපාලී වර්ගය නිල් පාටින් යුතුයි .මධ්‍යම ගුණයි. කාශ්මීර වර්ගය සෙසු වර්ග 2 ට වඩා ගුණයෙන් අඩුයි .

ඒ වගේම වාණිජමය වශයෙන් ගත්තාම

1 රුසියානු කස්තුරි

2 ඇමරිකානු කස්තුරි

3 චීන කස්තුරි ලෙස වර්ග 3 ක් දකින්න පුළුවන්. එයින් චීන කස්තුරිවල අප්‍රසන්න ගන්ධයක් නැති නිසා මිල අධිකයි.

ඇමරිකානු කස්තුරි උග්‍ර ගන්ධයකින් යුතු නිසා එයත් මිල අධිකයි

රුසියානු කස්තුරි සුවදවත් බව අඩුනිසා එතරම් උසස් නැහැ

එතකොට වෙද මහත්තයෝ නියම කස්තුරි මොන වගේද?

පිරිසිදු උසස් කස්තුරිවල සුගන්ධය වහනය වෙනවා. මෘදු ස්පර්ශයෙන් යුතුයි. කටුක තික්ත ආස්වාදයෙන් යුතුයි. පිඟුවන් හා කළු පැහැයෙන් යුතුයි.

කස්තුරි කොහොමද පරික්ෂා කරන්නෙ?

ජගත් මහත්තයෝ කස්තුරි පරීක්ෂා කරන ක්‍රම කිහිපයක්ම තියෙනවා

1.කස්තුරි ග්‍රේන්ස් කිහිපයක් ජලයට දැම්මාම කැට ගතිය වෙනස් නොවෙනවානම් ඒ කස්තුරි පිරිසිදු නියම කස්තුරියි. එසේම යම් විධියකින් ඒවා ගිනි අඟුරු මතට දැමුවොත් දියබුබුළු නගිනවා නම් ඒත් පිරිසිදු නියම කස්තුරියි.

එසේ නොමැතිව එකෙනෙහිම අඟුරු බවට පත්වේ නම් අපිරිසිදු දූෂිත කස්තුරිය. එහි ගන්ධය වෙනස්.

2.කස්තුරි ස්පර්ශයෙන් අඳුනා ගන්න පුළුවන්. ස්පර්ශයේදී මෘදු වන්නෙ පිරිසිදු කස්තුරියි. ස්පර්ශයේදී දැඩි ගතියක් දැනෙන්නේ අපිරිසිදු කස්තුරියි.

3අත්ලට ජලය ටිකක් ගෙන එයට කස්තුරි ස්වල්පයක් දමා සුළු වේලාවකින් අත්ලේ ඇති ජලය රතු හෝ කහ පාට වෙනවා නම් ඒ කෘතීම කස්තුරියි.

එතකොට වෙද මහත්තයෝ කස්තුරි ඖෂධීය වශයෙන් කොහොමද ගුණදායක වෙන්නෙ?

කස්තුරි රසයෙන් තික්ත හා කටුක යි

ගුණයෙන් ලඝු ..රූක්ෂ සහ තීක්ෂ්ණයි

වීර්‍යයෙන් උෂ්ණ යි

විපාකයෙන් කටුක යි

මේ නිසා සෙම් හා වාත සමන ගුණ කස්තුරිවල ඇති බැවින් සෙම් සහ වාතජ රෝගවලදි ප්‍රයෝග කරනු ලබනවා

බාහිර වශයෙන් ගත්තාම

දුගඳ නසන සහ ශීත සමන ගුණ කස්තුරිවල තිබෙන නිසා ඒ අවස්ථාවලදී යොදනු ලබනවා

ඒ වගේම අභ්‍යන්තර වශයෙන් ගත්තාම

ස්නායු බල කාරක ගුණ ..වාත සමන ගුණ ආක්ෂේප නසන ගුණ සහ මොළයට හිතකාරි බව ආදියෙන් යුතු නිසා මොළයේ දුබලතා ..උන්මාද අපස්මාර සන්‍යාස..අපතන්ත්‍රක... සහ පක්ෂාඝාත සහ වෙනත් වාත රෝගවලට ගුණදායකයි.

එසේම හදවතට හිතකර ගුණ කස්තුරිවල තියෙන නිසා හදවත් දුබලතාවලට ඉතා හොඳයි

ඒ වගේම බඩගිනි අඩුකම සහ වේදනා සඳහාත් හොඳයි .

එසේම ඇදුම නසන ගුණ සහ සෙම නසන ගුණ කස්තුරිවල ඇති නිසා කැස්ස ..කක්කල් කැස්ස ..සහ ඇදුම රෝග සදහා විශිෂ්ට ගුණ ගෙන දෙනවා ඒ වගේම කස්තුරි වාජීකරණ ගුණයෙනුත් විශිෂ්ටයි.. ඒනිසා ලිංගික දුබලතා නසා ශරීර ශක්තිය වර්ධනය කිරීමට හේතු වෙනවා .

ඒ වගේම විෂ නසන ගුණයත් කස්තුරිවල ප්‍රධානයි. එතකොට වෙද මහත්තයෝ කස්තුරි යොදල හදන බෙහෙත් වර්ග මොනවාද

දශමූලාරිෂ්ඨය

අංගූරාසවය

කස්තුරි මෝදකය

මෘගමදාසවය

වෘහත් කාංචනාභ්‍ර රසය

වෘහත් කස්තුරි භෛරව රසය

කස්තුරි භෛරව රසය

වසන්ත කුසුමාකර රසය

කස්තුරි භූෂණ රසය

චන්ද්‍රෝදය මකරධ්වය

මේ ආදි ඖෂධ රාශියක් කස්තුරි අඩංගුව සකස් කරනු ලබනවා

ඒ වගේම ශරීරයේ දුබලතා නැසීමට

කස්තුරි ග්‍රේන්ස් 2

මකරධ්වජය ග්‍රේන්ස් 2

මේවා මීපැණි සමඟ මිශ්‍ර කර පැය 3 කට වරක් යෙදීම ශ්‍රේෂ්ඨ බෙහෙතක්

ඉතිං ජගත් මහත්තයෝ කස්තුරි කියන්නේ ඉතා විශිෂ්ට ඖෂධයක් .ඒ උනත් ස්වාභාවික කස්තුරි දුර්ලභ නිසා බොහෝ දෙනකු කෘතීම කස්තුරි හෝ කපුකිනිස්ස ඇට ගනු ලබනවා . මේවායින් ස්වාභාවික කස්තුරිවල ගුණ නොලැබුණත් සාමාන්‍ය ගුණයක් හෝ ලැබෙනවා

මේ නිසා කස්තුරි කියන්නේ බොහෝ සුව කළ නොහැකි රෝග සුව කිරීමට හැකියාව ලැබෙන දිව්‍ය ඔසුවක් විදියට හදුන්වන්න පුළුවන්

වෙද මහත්තයට ගොඩක් පිං .කස්තුරි ගැන නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා. මම අම්මට කස්තුරි දශමූලාරිෂ්ඨ බෝතලයක් ගෙනියන්නම්.මට විශ්වාසයි.එයින්ම හොදවේවී කියලා. යනුවෙන් ජගත් මහතා අවසානයේ කීවේය.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.