සෙම් වාත අතීසාර සූතිකා සන්නි රෝග රැසකට ගුණදෙන සීතාරාමය

ජනවාරි 5, 2024

 

උණ, අතීසාර සූතිකා ශීතල සන්නි සෙම් වා ආදී රෝග රැසකට ගුණ දෙන සීතාරාමය මහඟු ඖෂධයකි. අතපය දළදඬුවී හුස්ම උඩට ඇල්ලීම, වායු කිපීම ආදී රෝගයන්ට ද ගුණදායකය.

 

දුරුපස තිකුලුත් ගෙන ත්‍රී වර්ග ත්
ගෙන සොඳ විස නෙරි කොටටන් යස්ටි ත්
කිරමින් මදටිය පස පස අඩු නැ ත්
තොසකර මෙ හැම බරකිර ලඝුනු ත්

 

සූදුරු, කලුදුරු, මහදුරු යන පසුදුරුදු අසමෝදගම්, සතකුප්ප ද වියළි ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි යන ත්‍රිකුළු ද කරාබු නැටි, වසාවාසි සාදික්කා යන ත්‍රීවර්ගත් නෙරවිෂි සුවඳ කොට්ටන් වැල් මී සුදු ලූණු මංචාඩි පහ බැගින්ද ගත යුතුය.

රැගෙන මදටිය සතර සතර කි ර
තුන්තන් මනෝසීල සවිදය ප්‍රස්ක ර
තුරිසිද කොතබුරු කෙලිදත් සිනක ර
මෙ සැම බරට රත් හඳුනුත් ගෙණ කි ර

 

රිදී තුත්තන්, සහිඳලුණු, කොත්තමල්ලි, පල්ල මානික්කන්, කෙළිඳහාල්, සීනක්කාරම්, මනෝසීල, ප්‍රස්කර මණ්චාඩි සතර බැගින් ගෙන එම බරට බරක් රත් හඳුන් මංචාඩි තිස් දෙකක් ද ගත යුතු ය.

 

තුන තුන බර ඔසු ගත යුතු මදට ත්
කුළු රැනය සහ ගල්මද තිවය ත්
අරගෙන විසහැර හිරිගල් හිගුලු ත්
කිරමින බරකුත් මෙ හැමට හිගු ත්

 

අතිවිඩයන් කටුකරෝසන හිරියල් ගල්මද සාදිලිංගම් මංචාඩි තුන බැගින් පෙරුම්කායම් මංචාඩි පහළොවක් ද ගත යුතු ය.

සීතාරාම ගුලියේ සම්පූර්ණ බෙහෙත් වට්ටෝරුව සූදුරු, කළුදුරු, අසමෝදගම්, මහදුරු, ශතපුස්ප, වියළිඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, කරාබු, වසාවාසි, සාදික්කා, නෙරිවිස, සුවඳ කොට්ටන් , වැල් මී, හීං මදුරු තලා, නික වේලා කුඩු ගම්මිරිස්, කොහොඹ කුඩු යන ඖෂධ එකවගෙන් කලං හය බැගිනි. රිදී තුත්තන් මනෝසීල, කොත්තමල්ලි, පල්ලමාණික්කම්, සහිඳ ලුණු, පුෂ්කර, කෙළිඳසාල්, සීනක්කාරම් කලං හතර බැගින් ද අතිවිඩයන් ගල්මද රන්හිරිගල් කටුකරෝසන සාදිලිංගම් කලං තුන බැගින්ද සුදුලූනු, වදකහ, රත්හඳුන්, පෙරුම්කායම් පිළිවෙලින් කලං හැත්තෑවයි කලං දොළහයි, කලං තිස් දෙකයි, කලං පහළොවයි, ඖෂධ වියලා සිනිඳුවට චූර්ණ කර හලා හීං මදුරුතලා කොළ යුෂින්, නිකකොළ යුෂින්, කොහොඹ කොළ යුෂින්, ඉඟුරු යුෂින්, ඇඹුල් දොඩං යුෂින්, එක ඖෂධයෙන් එක එක අඹරා මඳක් තෙත ගතිය විට කොහොඹ තෙල් ගිතෙල් යන තෙලෙන් එක එක දවස අඹරා ගුලිකර වනේ වියළා ගත යුතු වේ.

 

ගනිමින් පවනේ වියළා සුරකි ව
තබමින් කරඩුම තුළලා නිසැක ව
තිදෙසින් හටගත් රෝගා වනස ව
දැනගත් දෙන්නට මාත්තුන් සැක නො ව

 

තිදොසටමත් දෙන්නට අනුපාන ය
ජවරයට වා කිපී නිකුලුත් සිඳ දෙනු ය
යලිදුට දසමුල සිඳ දියලා ගුලි ය
දෙනු තුඹ බෙලි කොළ ඉඟුරුත් යුෂ වි ය

 

කොතඹුරු තිකුලුත් ගෙන සිඳ බී ලා
සිඳිගුරු දෙබටුත් කිදිවම් මුතු ලා
වෙදැදුරු මෙ ඔසු සිඳගෙන ගුලි ලා
ගෙනදුරු කෙරු ලෙස සෙම් උනදුර ලා

 

පිත් කිපී උනයට නිබපත් යුෂින් දෙ නු
දෙත් දෙවනුව සිංහමුධ සාදී කසාය දෙනු
ගත් ඵල කිරට පැපිලිය කුඩුකරල දෙ නු
යත් සහ මුලයෙන් පිත් කිපි ජ්වරය ද නු

 

කොහොඹ පොතු, බිං කොහොඹ, එළබටුමුල්, කටුවැල් බටු, තොටිල පොතු, දියමිත්ත, ලුණුවරණ පොතු, වියළි ඉඟුරු, කෂාය කර පෙරුම්කායම් සහ සවිඳල සීතාරාම ගුලි දීමෙන් සියලුම සන්නි හා කඵ වාත නැති වේ. වාතය පිත සමනය වීමට අතපය වකුටුවීමට කඵ වායු කිපී රෝග ලක්ෂණ පහළවන්නේ නම් කොහොඹ නික වේලා යකවනස්ස පාවට්ටා කොළ, වදකහ සමඟ සුදුලූනු කොටා පස්තෙලින් අනා තම්බාගත් ඉස්මෙන්ද ගුලි දිය කර දිය යුතුය.

කටින් බඩින් යන විට මළ බිඳි ලා
උක් පැණියෙන් ඉඟුරුත් මී පැණි ලා
යළි ඉඟුරෙන් විලඳත් මදුරස ලා
සෙතය එයින් වෙයි ජල සන්නිය ලා

 

භූතායකු හට වෙසමුණි රජ වැ නි
භීතා අදුරට දිනිදුගෙ රැස වැ නි
සීතාරාමය මෙගුලි දුනෝ ති නි
ඇතා පලයයි හැම ලෙඩ විගසි න

 

 

 

බත්තරමුල්ල පැළවත්ත රාජපුර වෙද මැදුරේ, ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් එම්.පී. රාජපුර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.