නීරෝගි ගෙනෙන සුව තුනපහ ගුණාගුණ 2

තුනපහ සහ කුළුබඩු පිළිබඳ විස්තරය
පෙබරවාරි 16, 2024

 

කරාබු නැටි

සෙම් පිත් සමනය කරයි. බඩගිනි වඩවයි. ආහාර රුචිය ඇති කරයි. ඛේඨ ග්‍රන්ථිවල ශ්‍රාවය වැඩි කරන බැවින් මුඛයේ වියළි බව නැති කරයි. කැස්ස, ඇදුම සමනය කරයි. වමනය,

අම්ල පිත්තරෝගය, බඩගිනි අඩුකම, උදර වේදනාවට හොඳයි.

ගංවතුර ආදියෙන් පසු ජලය පිරිසුදු කිරීමට උණු කරද්දී කරාබු නැටි කීපයක් දමා රත් කිරීමෙන් ජලයේ ඇති විෂබීජ, බැරලෝහ නැති කරයි. කොළරා විෂබීජය විනාශ කරයි.

රම්පේ

අතීතයේ සිට භාවිත වන ආහාර රසකාරකයකි.

ආහාරවල විෂ අවශෝෂණය කරයි.

(රම්පේ කොළය ආහාරයට නොගත යුත්තේ එනිසාය)

රුධිර පීඩනය අඩු කරයි. රුධිර සීනි මට්ටම අඩු කරයි.

උණට හොඳයි. වකුගඩුවල ගල් සැදීම අඩු කරයි.

විදුරුමස ආරක්ෂා කරයි. ඉස්හොරිවලට හොඳයි.

ආතතියට කදිමයි. වේදනා නසයි. බඩගිනි වැඩි කරයි.

ඉඟුරු

සෙම නසන ගුණය සහිතයි. අධික රුධිර පීඩනය අඩු කරයි.

ආහාර අරුචිය, බඩේ කැක්කුම අඩු කරයි. ගැබිනි මවුවරුන්ට උදෑසන ඇතිවන වමන ගතිය සමනය කරයි. හන්දි රෝග, කැස්ස, සීනි, පිළිකා සෛල නැසීමට ගුණදායකය.

මොළේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි.

ඉස්හොරි පාලනය කරයි.

තේවලට දැමීමෙන් ටැනික් අම්ලයෙන් ඇති වන

සංකූලතා අඩු කරයි.

ඉඟුරු කොත්තමල්ලි ප්‍රධාන අත් බෙහෙතකි. ඉඟුරු ගම්මිරිස්, තිප්පිලි, ආයුර්වේදයේ කටුක රස හෙවත් කටේ දැවිල්ල (නිකුළු) ඇති කරන ප්‍රධාන ඖෂධ තුනයි.

කටුවැල් බටු, අමු ඉඟුරු, රසකිඳ, පීනසට, ඇදුමට හොඳයි.

නාගර පානය හෙවත් ඉඟුරු බීම බඩේ රුදාවට ගුණදායකයි.

(ඉඟුරු මඤ්ඤොක්කා සමඟ කෑමෙන් විස වන බවට මතයක් පවතී.)

සුදු ළූණු

ආයුර්වේදයේ මහෝෂධ ලෙස හැඳින්වේ. වෙදකමේ එන රස 6න් අම්ල රසය හැර අන් සියල්ල ඇති නිසා රසෝල ලෙස ද හඳුන්වයි. දැවිල්ල සහ උෂ්ණ ගුණ සහිතයි. බඩගිනි වඩවයි.

හෘද උත්තේජනය කරයි. ආම ගතිය පුච්චයි. වේදනා සමනය කරයි. වාත රෝග නසයි. උණ රෝගීන්ට හොඳයි.

ආමවාතය, වාත රෝග, සන්ධි වාත අර්ශස්, පණු රෝගවලට ගුණයි. ශාරීරික සහ මානසික ශක්තිය වඩවයි.

පෙරුම්කායම්

බෝවන රෝග (දෙවියන්ගේ ලෙඩ) බෝ නොවීම සඳහා අතේ බැඳීම සුදුසු බව පැවසේ. හොඳම රසකාරකයකි. ඇල් ජලයේ දියකර බීම මළ බද්ධයට, පණු අමාරුවලට සුදුසුයි. ආහාර දිරවීම පහසු කරයි. ඇදුම, නිව්මෝනියාව සඳහා බෙල්ලේ බැඳීම කෙමකි. ස්නායු රෝග සඳහා සුදුසුයි. වාතය පිත අඩු කරයි. ඉන්දියාවේ බහුලව භාවිත වෙයි. පිපිඤ්ඤා, අඹ, තක්කාලි ව්‍යංජන සඳහා විශේෂයෙන් යොදයි.

කංසා

ආහාර රසවත් කර රුචිය වඩවයි. ස්නායු උත්තේජනය කරයි.

ජවය වඩයි. අජීර්ණ, ග්‍රහණි රෝග සඳහා කංසා මිශ්‍ර ඖෂධ භාවිත කෙරේ. සමේ රෝගවලට ගුණයි.

පිළිකා සෛල විනාශ කිරීමේ ගුණය ඇත. විෂබීජ නසයි.

කංසා කොළ කීපයක් දෙහි ඇඹුල් සහ මී පැණි දමා කොටා ඉස්ම බීමෙන් අජීර්ණය සුව වේ.

කංසා කොළ කීපයක් කොටා යුෂ ගිතෙල් හා මී පැණි සමඟ පානයෙන් ලිංගික ශක්තිය වර්ධනය වේ.

සේර

සුවඳ කාරකයකි. ආහාර සුවඳවත් කිරීමට මෙන්ම සුවඳ විලවුන්,

සබන් වර්ග, දුර්ගන්ධ නාශක ආදිය නිෂ්පාදනයට යොදා ගනියි.

බඩ පුරවා දැමීමට, අජීර්ණ, උදර වේදනා, පණු රෝග, වමනය, හන්දි ඉදිමුම්, පීනස වැනි රෝග සමනයට උපකාර වේ. ඩාදිය වැඩි කරයි.

ශරීර ශක්තිය, බලය, ජවය ඇති කරයි.

ආර්තව වේදනා සමනයට සේර කලං 12 කසායට

ගම්මිරිස් කුඩු දමා පානය සුදුසුයි.

උළුක්කු සන්ධි ඉදිමුම්වලදී සේර තැම්බූ වතුරෙන් සේදීම සුවදායකය. කොළරා රෝගය නිසා ඇති වන වමනය නැවැත්වීමට සේර තෙල් බින්දු 3-6 සීනි සමඟ බීමට දෙයි.

රතු ළූණු

රතු ළූණු ගෙඩි කීපයක් මුඛයට ගෙන එහි සැර පිට නොවන පරිදි දෙතොල් වසාගෙන සපා සාරය බීමෙන්

නළලේ කෝටරකවල සෙම ඉවත් වේ. පීනස දුරු වේ.

ගොටුකොළ මිටක් රතු ළූණු ගෙඩි 4-5ක් සහ අමු කහ කැබැල්ලක් කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ඉස්ම බීමෙන්

කටහඬ පැහැදිලි සහ මිහිරි වේ.

බඩගිනි වඩවයි. අක්මාව උත්තේජනය කරයි. ආහාර රුචිය ඇති කරවයි. ශුක්‍ර ධාතු වර්ධනයට ඉතා හිතකරයි.

රතුළූණු උණු අළුපල්ලේ තම්බා එළඟි තෙලෙන් අනා ගෑමෙන් විසර ගෙඩි පැසවා පැළෙයි. උඳුපියලිය සහ කොට්ට පොල් සමඟ රතු ළූණු කොටා පොට්ටනිය වණ්ඩුවේ තම්බා තැවීමෙන්

ඉරුවාරදය සහ හිස කැක්කුම් සුව වේ.

 

සවිඳ ලුණු

සියලුම ලුණු වර්ගවලට වඩා ශ්‍රේෂ්ටතම වර්ගයයි.

ආහාරයට ගැනීමට හොඳම වර්ගය මෙය යයි ද පුරුදු කළ යුත්තේ

මේ වර්ගය යයි ද චරක සංහිතාවේ දක්වා ඇත

ශීත වීර්‍යයයි, තුන්දොස් සමනය කරයි. ආහාර රුචිය ඇතිකරයි, බඩගින්න වඩයි. ඇසට හිතයි. හදවතට හිතයි. අරුචි, අජීර්ණ,

වේදනා, මළ බද්ධය යන රෝග අවස්ථාවලදී ගුණයි.

ගිතෙල්

උපතේ සිට මරණය තෙක් හිතවත් එකම ද්‍රව්‍යයයි. රසයෙන් මධුරයි. විපාකයෙන් මධුරයි. ශීත වීර්‍යයයි.

මතක ශක්තිය. බුද්ධිය ඇති කිරීමට හිතයි.

අල්පව ගැනීමෙන් බඩගින්න වඩයි. වා පිත් රෝග,

විෂ නිසා වන රෝග උමතුව, ක්ෂය රෝගය,

උණ යන රෝගවලට විශේෂයෙන් හිතයි.

නාඩි දුබලතා නිසා වන රෝග, වාත රෝග, වාත රක්ත, මූර්ජා, අපස්මාර, ආදි රෝගවලට ඉතා ගුණයි. ශුක්‍ර ධාතු වඩයි.

මී පැණි

අලුත් මී පැණි ආහාරයට ගැනීමෙන් ශරීරයට අවශ්‍ය පෝෂණය ඉහළින්ම ලැබෙන අතර ආහාර ජීර්ණ පද්ධතියේ රෝගවලට සුවය ලැබේ.

පරණ මී පැණි ආහාරයට ගැනීම සිරුරේ මේදය අඩුවීමට,

අධික තරබාරුව අඩුවීමට අතීසාරය සුව වීමට හේතු වේ.

ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය ද්‍රව්‍ය මෙහි බහුල ලෙස අඩංගු වේ.

මී පැණි ආහාරයට ගැනීමෙන් ආහාර දිරවීමේ හැකියාව වර්ධනය වේ.

ශරීර ශක්තිය ඉන් වැඩිවන අතර

ආසාදන උණ ආදිය ඉන් සමනය වේ.

මී පැණි ප්‍රතිජීවකයක් ලෙසද ක්‍රියා කරයි.

මළබද්ධයට හොඳයි. මී පැණි ආහාරයට ගැනීමෙන්

ලේ පිරිසුදු වන අතර ප්‍රතිශක්තිය වර්ධනය වේ.

මී පැණි ආහාරයට ගැනීමෙන් මානසික ආතතිය අඩු වේ.

කිරි දෙන මව්වරුන් දිනපතා මී පැණි ස්වල්පයක් පානය කිරීම ඉතා සුදුසුයි.

එමඟින් මව්කිරිවල පෝෂණ ගුණය ඉහළ යයි.

සැල්දිරි

ඖෂධ පැළෑටියක් ලෙස මුලින් භාවිත කළ සැල්දිරි දැන් ලොව පුරා ආහාර රසවත් කිරීම සඳහා එකතු කරන

පොදු මූලද්‍රව්‍යයක් ලෙස සලකනු ලබයි.

ආහාර ජීර්ණ පද්ධතිය, සෛල, රුධිර නාළ සහ අවයවවල ඇතිවන දැවිල්ල අඩුකරන ගුණ මෙහි ඇත.

එසේම ආහාර ජීර්ණ ක්‍රියාවලියට සහාය වන අතර ආමාශයේ තුවාල ඇති වීම වළක්වයි. එසේම සැල්දිරිවල ජලීය පදාර්ථ බොහෝ සෙයින් පවතින අතර විටමින් ඒ,කේ හා සී මෙන්ම පොටෑසියම් ද බහුලව ඇත.

එසේම දියවැඩියාව අඩුකරගැනීමට සහාය වන අතර හදවතට හිතකරයි. ශරීරයේ බර අඩුකරලීමට හේතුවේ.

බේ ලිව්ස් (බේ කොළ)

විශේෂයෙන් යුරෝපා රටවල

ආහාර රසකාරකයක් ලෙස භාවිත කරයි.

මේවා විශාල ගස් සෑදෙන අතර,

කොළ වියළා ආහාර රසවත් කිරීමට යොදා ගනු ලැබෙයි.

බිරියානිවලට එක් කරනු ලබන අතර

සුප් වර්ග සඳහාත් යොදා ගනු ලැ‍ෙබයි.

එසේම මේවා අතු කඩා අල්මාරිවල පවා එල්ලා තබන්නේ සුවඳවත් වීම සඳහාය.

දවුල් කුරුඳු

කුඩු දවුලා නමින් ද හඳුන්වන මේ ශාකය සෘජු කඳකින් යුක්ත මධ්‍යම ප්‍රමාණයේ ගසකි.

මල් කහ කොළ පැහැති වන අතර සුවඳවත්ය.

කොළ පැහැති ගෙඩි සෙ.මි.1ක් පමණ විෂ්කම්භයකින් යුතුයි. ඉදුණු පසු දම් පැහැයක් ගනු ලබයි.

මේ ශාකයේ කොළ කැබලිවලට කඩා ජලය ස්වල්පයක් මිශ්‍ර කර කලවම් කළ විට සෑදෙන යුෂ (නානු) දේශීය රස කැවිලි වර්ගයක් වන ආස්මී සෑදීමට භාවිත කරනු ලබයි.

එසේම හොරි, දද වැනි චර්ම රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී බාහිර ආලේපන ලෙස දවුල් කුරුඳු ඇටවලින්

සිඳ ගන්නා තෙල් භාවිත කරයි.

දුන්තෙල්

දුන්තෙල් යනු මී දෙනුන්ගෙන් දොවාගනු ලබන කිරි වලින්

සකස් කර ගත් තෙල් ය.

ගිතෙල් යනු එළදෙනුන් ගෙන් දොවා ගත් කිරි වලින්

සකස් කර ගත් තෙල් ය.

ගිතෙල් කහ පාටය. දුන් තෙල් සුදු පාටය. එසේම දුන් තෙල් දියාරුයි.

මීකිරි නිෂ්පාදනය කරන පළාත්වලින් මිලදී ගත හැකිය.

කීරි සම්බා හෝ සූදුරු සම්බා දුන් තෙල් ඇතුළු තවත් ද්‍රව්‍ය යොදා

සකස් කර ගන්නා බත දුන් තෙල් බත් ය.

මේ බත හොඳ රසයකින් සහ සුවඳකින් යුක්ත වේ.

ගිතෙල් සමාන ගුණවලින් යුතුය.

බැසිල් කොළ

ආහාර වර්ග පිසීම සඳහා භාවිත කරන තවත් ඉතා විශිෂ්ට

රසකාරක කොළ වර්ගයක් ලෙස බැසිල් කොළ හැඳින්විය හැකිය.

මෙය ඉන්දියාවට ආවේණික වුවත් වසර ගණනාවක් තිස්සේ එය එක්සත් ජනපදය හෝ යුරෝපය වැනි වෙනත් ප්‍රදේශ කරා ව්‍යාප්ත විය.මෙහි නැවුම් හා ප්‍රසන්න රසයක් ඇති නිසා ආහාර රසවත් කිරීමට යොදා ගනු ලබයි. එසේම ඖෂධීය වශයෙන් උගුරේ අමාරුවට,

උණ හා සෙම්ප්‍රතිශ්‍යාවට, මුඛ ආසාදනවලට හොඳයි.

එසේම මානසික ආතතිය වළක්වා ගැනීමට යොදනු ලබයි.

ලුණු දෙහි

ලුණු දෙහි යනු ඇසූ පමණින්

කටට කෙල උණන කෑමකි.

ආහාර රසවත් කිරීමට ඇඹුල් යෙදීමේදී ලුණු දෙහි හොඳ විකල්පයකි.

පොල් සම්බෝල හෝ වෙනත් සම්බෝල සෑදීමේදී ‍

රසය වැඩි කරලීම සඳහා දෙහි වෙනුවට යොදනු ලබයි.

ආහාර රුචිය වැඩි කිරීමටත්, ආහාරවල රස හා සුවඳ වැඩි කිරීමටත් ලුණු දෙහි උපකාරී වෙයි.

එසේම අජීර්ණ, බඩේ අමාරු ආදියේ දී

ඒවා සමනය කිරීමේ ගුණ මෙහි තිබේ.

එසේම දෙහි හිඟ කාලවල ප්‍රයෝජනයට ගැනීමට

කල්තබා ගැනීමේ ක්‍රමයකි.

බිලිං

බිලිං පලතුරක් වශයෙනුත් සලකනු ලබනමුත්

ලොව පුරා බහුල වශයෙන් යොදා ගනු ලබන්නේ

විවිධ ඉවුම් පිහුම් කටයුතු සඳහාය.

බිලිං සම්බෝල, අච්චාරු සහ ව්‍යංජන වශයෙන්

සාදා ගනු ලැබේ.

එසේම දෙහි නොමැති විට සම්බෝල

රසවත් කිරීමටත් යොදා ගනු ලබයි.

එසේම වෙනත් ව්‍යංජන රසවත් කිරීමට ද එකතු කරනු ලබයි.

එසේම ආහාර රුචිය වැඩි කිරීමටත් අජීර්ණ ආදි රෝග තත්වයන් සමනයටත් බිලිං උපයෝගි කරගත හැකිය.

පොල්

පොල් අපේ ආහාර සංස්කරණයේදී නැතිවම බැරි දෙයකි.

පොල් මැල්ලුම්, සම්බෝල වශයෙනුත් ගාන ලද පොල් වශයෙනුත්

ආහාර ගැනීමේදී යොදා ගනු ලබයි.

එසේම පොල් කිරි ව්‍යංජන රසවත් හා ගුණවත් කිරීමට හා

කිරිබත් පිළියෙල කිරීමටත් යොදා ගනු ලබයි.

එසේම පොල් තෙල් ද ආහාර සංස්කරණයේදී යොදා ගනු ලැබේ.

මේ සියලුම සංස්කරණවලින් ආහාරවල රසය හා ගුණය ලබා දෙයි.

ඒ වගේම ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන්නටත් හේතු වෙයි.

එසේම ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරයි.

රුධිර සංසරණය ක්‍රමවත්ව පවත්වගෙන යාමට උපකාරී වෙයි.

සිරුරේ මාංශ පේශි ශක්තිමත් කිරීමට උදව් වෙයි.

මළ බද්ධය වළකාලීමට උදව් කරයි.

විෂ නැසීමේ හැකියාව පවතියි.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය,

වෛද්‍ය මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.