ඇසට හිසට ගුණදෙන අගනා ඖෂධාහාරයක් මුකුණුවැන්න

ජනවාරි 14, 2022

දිනපතා ගනු ලබන ආහාර වේල සඳහා පළා වර්ගයක් එක් කර ගැනීම ඉතා අත්‍යවශ්‍ය වනුයේ එයින් ලැබෙන පෝෂණ ගුණය සමතුලිත ආහාර වේලකට ඉතා අවශ්‍ය බැවිනි. මෙසේ ගනු ලබන පළා වර්ග අතුරින් ‘මුකුණුවැන්න. යනු ඉතා ගුණදායක රසවත් පලාවකි.

 

 

අප අවට ගම්බද පරිසරයෙන් ඉතා පහසුවෙන් සොයා ගත හැකි මුකුණුවැන්න වල ඇති ගුණාගුණ ගැන සලකන විට අපට පෙනීයන්නේ එමගින් ශරීරයේ නිරෝගී බව රැක ගැනීමටත් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරලීමටත් ඉතාමත් සුදුසු ආහාරයක් බවයි.

ඒ වාගේම ශාරීරික දුබලතා ඇතුළු රෝග රැසකට ගුණ දෙන මුකුණුවැන්න වල වටිනාකම දන්නා අය මෙය නිතර ආහාර වේලට එක් කර ගනු ලබයි. අඩුම වශයෙන් සතියකට දින තුනක් හෝ හතරක් වත් මෙය ආහාරයට එක් කර ගැනීමෙන් බොහෝ ලෙඩ රෝග වලින් මිදී නිරෝගී දිවිපෙවතක් ගත කිරීමට අවස්ථාව ලැබෙනු ඇති.

මුකුණුවැන්න මුළු පැළෑටියම ආහාරයට එකතු කර ගැනීම ඉතා හොඳය. මුකුණුවැන්න අපට කොතරම් ගුණදායක දැයි සලකා බැලීම වැදගත්ය. මෙය ඇස් වලට ඉතාමත් ගුණ ගෙන දෙන අතර ඇස්වල පෙනීම වැඩිකරයි. එසේම හිසකෙස් වලටද ඉතා ගුණ දෙන අතර හිසකෙස් වැඩෙන අතර හිසකෙස් වැටීම නතර කරනු ලබයි.අකාලයේ හිසකෙස් පැසීම නතර කරන අතර හිසකෙස් වල කළු පැහැය වැඩි කරනු ලබයි.

ඒ වාගේම ළමුන්ගේ මතක ශක්තිය වැඩි කරන අතර බුද්ධිය වඩයි.එසේම ශරීරයේ පටක වල ගෙවීයාම අඩු කරන අතර සන්ධිවල රෝග සඳහාද හොඳ ඖෂධාහාරයක්. මේ අතර සමේ ඇතිවන කුෂ්ඨ දද ඇතුළු සමේ රෝග වලට හොඳ ඔසුවක් වන අතර සමේ පැහැපත් බවද ඇති කරනු ලබයි. එසේම මව්කිරි වැඩි කරන ගුණ මුකුණුවැන්න වල ඇති නිසා කිරිදෙන මව්වරුන්ට ඉතා හොඳ ආහාරයක්. ඒ වාගේම මල හොඳීන් පිටකරන්නත් මුකුණුවැන්න ආහාරයට ගැනීම උදව් වෙන අතර මූත්‍ර දැවිල්ල නැතිකරන්නත් උදව් වෙනවා.

ඒවාගේම මූත්‍ර සමඟ ලේ යන රෝග අවස්ථාවටද හොඳ ප්‍රතිකාරයක්. ඒ වාගේම සෙන්ගමාලය අපස්මාරය වැනි රෝග ඇති අයටද ගුණදෙන ආහාරයක්. මුකුණුවැන්න ආහාරය සඳහා එක්කර ගැනීමේදී මැල්ලුම ව්‍යාංජනය ආදී වශයෙන් යොදා ගනු ලබනවා.කොළකැද විශේෂයෙන් ඇස් රෝග ඇති අයට ඉතා හොඳයි.

ඇස් පෙනීම දුබල අයට මුකුණුවැන්න කරටි අරගෙන බත ඉතුරූ පසු ඒ මත තබා වසා ටික වේලාවකින් ඒවා රැගෙන ලුණු ඉස කෑම ඉතා ගුණදායකයි. මුකුණුවැන්න අඩංගු අත් බෙහෙත් රාශියක් තිබෙන අතර ඉන් කිහිපයක් නම් හිස රුදාවට මුකුණුවැන්න කොළ තල තෙලින් අඹරා නලලේ ගෑම ඉතා හොඳයි.

ඇස් පෙනීම දුබල විට මුකුණුවැන්න මුල් අඹරා පොට්ටනි හදා මිරිකා ගත් යුෂ උදේට ඇසට වත් කිරීම හොඳයි. ඇසේ තැල්මට මුකුණුවැන්න කොළ යුෂ ඇසට දමයි.

පීනස් රෝගයට මුකුණුවැන්න මුල් කෂාය ගම්මිරිස් කුඩු දමා දීම හොඳයි. ලේ යන පීනසට මුකුණුවැන්න කීකිරිදිය සහ අමුනෙල්ලි ඇල් වතුරෙන් අඹරා මිරිකා ගත් යුෂ තල තෙල් සමඟ කකාරා හිසේ ගෑම හොඳයි.

තද හිසරදයට මුකුණුවැන්න දඩු යුෂ ගිතෙල් දමා කකාරා නස්න කිරීම ඉතා හොඳයි. මූත්‍ර දැවිල්ලට මුකුණුවැන්න මුල් කලං 12 කෂාය ඉතා හොඳයි. මුකුණුවැන්න මුල් පොල්කිරිදමා පිසගෙන මිරිකා යුෂ පානය හොඳයි.

සෙංගමාලයට මුකුණුවැන්න කොළ , අමුකහ , අමු නෙල්ලි යන මේවා කොටා ගත් යුෂ මී පැණි සහ එළකිරි සමඟ පානය හොඳයි.

දිව හා තොල් පැලීම සහ කටතුවාල වීමට මුකුණුවැන්න කිරි හොද්ද ඉතා හොඳයි. මේ ආකාරයට රෝග රැසකට මුකුණුවැන්න යෙදූ අත් බේත් රාශියක් තියෙනවා.

එ වගේම විෂ වෙදකමේදීත් මුකුණුවැන්න අඩංගු අත් බේත් රැසක්ම තියෙනවා. ඒවගේම මුකුණුවැන්න අඩංගු කර සකස් කළ බෙහෙත් වර්ගත් ආයුර්වේදයේත් දේශීය වෙදකමෙත් තියෙනවා. චන්ද්‍රකාන්ති තෛලය , නිශාදී තෛලය, නයන කේතකී තෛලය, ශීර්ෂානන්ද තෛලය, බ්‍රාහ්මී තෛලය වගේ තෙල් වර්ග වල මුකුණුවැන්න අඩංගුයි.

එ් වගේම නාලිකේරා දී ගුලිය , සුරරාජ ගුලිය, ජීවක රත්නා දී ගුලිය වගේ ගුලි වෙදකමේ එන ගුලිවලත් මුකුණුවැන්න අඩංගුයි. මේ ආදී වශයෙන් මුකුණුවැන්න වලින් ලැබෙන ප්‍රයෝජන අප්‍රමාණයි. ඒවාගේම නියම මුකුණුවැන්න හඳුනා ගැනීමත් වැදගත්. එයට හේතුව මුකුණුවැන්න පැළෑටියට සමාන වෙනත් පැළෑටිත් තියෙන නිසා එනිසා නියම මුකුණුවැන්න පැළෑටිය නිසිලෙස හඳුනා ගත යුතුයි. නියම මුකුණුවැන්න වල තැනින් තැන මල් සමඟ ගැට පුරුක් දක්නට තියෙනවා.

නමුත් සමහර වර්ගවල ඒ ආකාරයෙන් පුරුක් පිහිටලා නැහැ. දණ්ඩ විතරක් දිගට විහිදිලා ඇති අතර පත්‍ර විතරක් දකින්න තියෙනවා. මේවා මුකුණුවැන්න නෙවෙයි.

එනිසා හොදින් අඳුර ගෙන ආහාරය ගන්න ඕන. ඒ වාගේම මුකුණුවැන්න ආහාරයට යොදා ගැනීමේදී උණු වතුරට දෙහි ඇඹුල් ටිකක් දමා ඉන් සෝදා ගැනීම ඉතා හොඳයි. මේ අයුරින් මුකුණුවැන්න යනු ඉතා රසවත් ගුණදායක ඖෂධ ආහාරයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්.

 

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ, කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.