කම්මැලි නැතුව පිරිසුදු කෑම ගෙදර හදන්න

දෙසැම්බර් 18, 2020

ගෙදර අයට කම්මැලිකමට කඩේ කෑම කවන්නේ නැතුව අද ඉඳන්වත් පිරිසිදුවට රසට ගෙදර කෑම ටික හදන්න. මහත්තයයි, දරුවොයි නීරෝගි වෙන්න ගෘහණියන්(අම්මලා) කම්මැලි වෙලා බෑ. අපේ ගොඩක් කාන්තා උදවිය රැකියාවක් කළත් නැතත් උදේ කෑම කඩෙන් ගන්න අද පුරුදු වෙලා තියෙනවා.

දැන් රටේ තියෙන ආර්ථිකයත් එක්ක කඩෙන් කනවා කියන්නේ එක අතකින් හරිම මෝඩකමක්. ඊට වඩා අපිට විශ්වාස කරන්න පුළුවන්ද? කඩේ කෑම 100% පිරිසිදුයි කියලා. ඒ නිසා දරු පැටවුන්ටයි මහත්තයටයි හදන කෑම ටික පිරිසිදුවට පිළිවෙළට ලාභදායිකව හදලා දෙන්න අපේ කාන්තාවන් - ගෘහණියන් විදිහට පුරුදු වෙන්න ඕන. ගෙදර අයගේ නීරෝග බව රැඳීලා තියෙන්නේ ගෘහණියක් වුණු ඔබේ අතේම තමයි. ඒ නිසා උදේම කම්මැලි නැතුව නැගිටලා කෑම ටිකක් හදන්න පුරුදු වෙනවා නම් ඒක ගොඩක් වටිනවා. කෑම හදනවා කියන්නේ අමාරු වැඩක් නෙමෙයි. කම්මැලි නොවී අද ඉඳන්වත් ගෙදර අයට තියෙන ආදරේ වෙනුවෙන්වත් කෑම ටික ගෙදර හදන්න පුරුදු වෙන්න. අනිවාර්යෙන්ම හොඳ තෘප්තියකුත් ඉන් ඔබට ලැබේවි.

උදේ ආහාර වේල.

සමහරු උදේට බත් කන්න කැමතියි. තවත් කෙනෙක් ඒ සඳහා වෙනත් දෙයක් තෝරා ගන්නවා. දරුවන්ට පාසලට ගෙනයන්න විච්චූර්ණ කඩ කෑම වර්ග සමහර අම්මලා කඩෙන් අරන් දෙනවා. තෙල් සීනි රසකාරක බෙහෙවින්ම අඩංගු මෙවැනි කෑම වර්ග ආහාරයට ගැනීමෙන් ඔබේ ගත රෝගී වෙනවා. අතේ තියෙන මුදල් මේ සඳහා වැඩිපුර වැයවීම නිසා හිතට සතුටකුත් නැහැ. අන්තිමේ ගතසිත දෙකම ලෙඩ වෙනවා. ඒ නිසා අඩු වියදමකින් අඩු කාලයකින් උදෑසන ආහාර වේල සකස් කරන්න හැකි ආකාර කීපයක් පිළිබඳ ගෘහණියන් වන ඔබේ අවධානය යොමු කිරීම වැදගත්. රැකියාවකට යන කාන්තාවක් වුණත් පවුලේ හැමදෙනාම රාත්‍රී කෑම මේසයේදී එකතු වෙන නිසා වැඩි උනන්දුවකින් රාත්‍රී කෑම වේල සූදානම් කරන්නට පුරුදු වී සිටිනවා. මෙහි දී ඉතිරිවෙන බත්, ඉඳීආප්ප, පාන් ආදිය අපතේ යවන්නේ නැතිව ඉතාමත් රසවත් ලෙස උදෑසන කෑම වේල සඳහා සකසා ගන්න පුළුවන්.

උදේට දියබත් කන්න හුරුවෙන්න.

“කඩෙන් මොනවා කෑවත් පුදුම බ‌ඩේ දැවිල්ලක් තියෙන්නේ” මේ විදිහට කියන අය අපි අනන්තවත් දැකලා තියෙනවා. එවැනි අයට හොඳ ඖෂධීය ආහාරයක් තමයි දියබත්, රතු හෝ සුදු නාඩු හාලේ බත් ඉතිරි වුණාම එයට

වතුර ටිකක් දමා තබා උදෑසන එයට රතුලූනු, අමුමිරිස්, පොල් කිරි, ලුණු, උම්බලකඩ, දෙහි යුෂ එක්කර සාදන දියබත ගැස්ට්‍රයිටීස් රෝගයට දිව ඔසුවක්. ගෘහණිය වන ඔබට කම්මැලි නොවී උදෑසන රැකියාවට යන ස්වාමියාට මෙවැන්නක් සාදා දෙන්නට පුළුවනි. රාත්‍රියට ඉතිරි වන බතෙන් රසකාරක නැති ඉතාම රසවත් ෆ්‍රයිඩ් රයිස් සකසා ගන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් උදෑසන අවදි වූ විගස බතක් උයා එයට සිහින්ව කපාගත් කැරට්, ලීක්ස් සහ බිත්තරයක් එක්කර තෙම්පරාදු කර සකසන ෆ්‍රයිඩ් රයිස් එක සැමියාට කාර්යාලයට ගෙන යන්නටත්, දුවට පුතාට පාසලට ගෙන යන්නටත් අගෙයි. රසයත් හොඳයි. වියදමත් අඩුයි. මේ විදියටම රෑ කෑමෙන් පසු ඉතිරි වන ඉඳීආප්ප කැබලි වලට කඩා ඉඳීආප්ප කොත්තුවක් වුණත් ගෙදරම හදාගන්න පුළුවන්.

උදේ කෑම වේල මෙහෙම හදමුද?

උදේ කෑමට බතක් උයලා පොල් සම්බෝලයක් හදා ගත්තත් ඇති. නැත්නම් අල හොද්දක්, පරිප්පු හොද්දක්, හාල් මැස්සන් බැඳුමක් හදන්න පුළුවනි. හාල් සහ පරිප්පු සම ප්‍රමාණ වලින් ගෙන එයට බතට යොදන වතුර ප්‍රමාණයට වඩා තුන් ගුණයක් වතුර දමා හොඳීන් තැම්බෙන්න හරින්න. මෙයට කුරුඳු පොත්තක්, රම්පේ, කරපිංචා ලුණු එකතු කරන්න. හොඳීන් තැම්බුණු පසු ලිපෙන් බා තෙල් ටිකක් ලිප තබා ගෙන ලූනු, සුදු ලූනු එක්කර තෙම්පරාදු කරලා ගත්තම බොහෝම රසවත් ආහාරයක් ලෙස ගෙදර හැමෝටම එය රස විඳීන්න පුළුවනි. ගෘහණිය දිනෙන් දින වෙනස් ක්‍රමවලට මෙවැනි ආහාර සකසනවා නම් ගෙදර හැමෝගේම සෞඛ්‍යයටත් හොඳයි. මුදල් පසුම්බියටත් වාසියි.

සුනු සහල් බත්වල රස දන්නවාද?

අපේ පැරැන්නන් උදේ කෑමට සුනුසහල් බත තෝරා ගත්තේ හේතු කීපයක් ඇතිවයි. අරපිරිමැස්ම සැකසීමේ පහසුව, ගතවන කාලය, ඉහළ පෝෂණය, මේ සියල්ල එක් වූ සුනුසහල් බත රසවත් ආහාරයක්. අදත් වෙළඳපොළේ අඩු මිලට කැඩුණු සහල් මිල දී ගන්නට තිබෙනවා. මෙම සහල් සෝදා වතුර අඩුවෙන් තබා වරින්වර කූරු ගාමින් අඩිය අල්ලන්නට නොදී තම්බාගත යුතුයි. වතුර සිඳුණු පසු එයට සිහින්ව ගා ගත් පොල් සහ රස අනුව ලුණු එක්කර මිශ්‍ර කරගෙන ලුණු මිරිසක් සමඟ කෑමට ගත හැකියි. වෙනස් විදියේ ආහාරයක් නිසා පවුලේ කවුරුත් මෙවැන්නක් කන්නට ආසා කරාවි.

උදේට කොළ කැඳ මොනතරම් ගුණයිද? රසයිද?.

මෙයට අමතරව කොළ කැඳ දරුවන්ට දිය හැකි පෝෂණීය ආහාරයක්. කොළකැඳ සැකසීම ඔබට ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවනි. රාත්‍රියට ඉතිරි වන බත් ටිකක් උදේට යන්තමින් බ්ලෙන්ඩර් කරගෙන වතුර ටිකක් දමා ලිප තබන්න. මෙයට සිහින්ව කපාගත් සුදු ලූනු, ඉඟුරු එකතු කරන්න. අනතුරුව කොළ කැඳ සඳහා සුදුසු ආකාරයේ කොළ අරගෙන හොඳීන් කොටා පෙරා එය එකතු කරන්න. මෙය හොඳීන් හැඳීගාමින් උණුකරන ගමන් උකු පොල් කිරි ස්වල්පයක් හා ලුණු ටිකක් දමන්න. මෙලෙස පවුලේ හැමෝටම ඉතා රසවත් පෝෂණීය ආහාරයක් විනාඩි කීපයක් තුළ සකසා ගන්න පුළුවන්. කැඳ හදන්නට කාලය නැතැයි මැසිවිලි නඟන ගෘහණියට මෙවැනි ක්‍රම ‌බොහෝම වටිනවා. දිවා ආහාරය සකසන අතරතුරදීම මෙවැන්නක් සකසා ගන්නත් පුළුවන්. මීළඟට අපි කතා කරමු අපේ රටේ වැඩිම පිරිසක් දරුවන් වගේම දෙමව්පියනුත් කඩකෑම වලට හුරුවෙන්න හේතුවන අපට මාරාන්තික රෝග ගණනාවක්ම තෑගි කරන කෘතීම රසකාරක ගැන.

දිවේ රස අංකුර විනාශ කරන රසකාරක ගැන දැනගන්න නම් මේ තොරතුරුත් කියවන්න.

අද මුළු ලෝකයේම විවිධ ආහාර වර්ග විශාල ප්‍රමාණයක් ඉතාම අසාධාරණ ලෙස රසවත් කරන කෘත්‍රීම රසකාරක වර්ග කීපයක් ගැනයි මේ තොරතුරු. ලෝකය පුරාම ඉතා ජනප්‍රියම ප්‍රධාන රසකාරක නාමය හඳුවන්නේ ‘MSG’ හෙවත් ‘මොනසෝඩියම් ග්ලූටමේට්’ ලෙසයි.

මේ මොනසෝඩියම් ග්ලූ‌ටොමේට් පිළිබඳව මුලින්ම පර්යේෂණ කර තිබෙන්නේ වර්ෂ 1860 දී පමණ ජර්මනියේ විසූ රසායන විද්‍යා විශේෂඥයින් පිරිසකි. එමෙන්ම වර්ෂ 1908 දී පමණ ජපන් විද්‍යාඥයන් පිරිසක් ‘ග්ලූටමික් ඇසිඩ්’ රසකාරකයක් ලෙස යොදා ගැනීම පිළිබඳව පර්යේෂණ සිදුකර තිබෙනවා.

MSG රසකාරකය වෙළඳපොළේ ජනප්‍රියම ආහාර ද්‍රව්‍ය වලට මිශ්‍ර කිරීම අරඹන්නේ අදින් වසර 70 කට පමණ පෙර සිටයි. මෙම රසකාරකය විවිධ නාමයන්ගෙන් ලොව පුරා ආහාර ද්‍රව්‍ය රසවත් කිරීමේ රස කාරකයක් ලෙස ප්‍රචලිත කළ ලෝක ප්‍රකට සමාගම් පහක් පිළිබඳව වාර්තා වෙනවා. “ඇක්සන්ට්” (Acsent) නම් ඇමරිකානු සමාගම, අජිනමොටෝ (Aginamoto) නම් ජපන් සමාගම,

ටේස්ටින් පවුඩර් (Tasting powder) නම් ඇමරිකානු සමාගම, සැසෝන් (Sazon) නම් නිව්යෝර්ක් සමාගම, වෙට්සීන් (Vetsine) නම් යුරෝපීය සමාගම මෙම ආයතන පහයි. (මෙම ආයතන වලට අමතරව ලොව තවත් බො‌හෝ රටවල් MSG රසකාරකය විවිධ නම් වලින් නිපදවයි.)

MSG රසකාරකය මුලින්ම ජනප්‍රිය කෙරුණේ චීනය, ජපානය, කොරියාව වැනි රටවල් වල ජනතාව අතර ජනප්‍රියම ආහාර ඇසුරෙන්. මෙමඟින් මුලින්ම රසවත් කර ඇත්තේ සුප් වර්ගයි. පසුව තක්කාලි සෝස්, චීස්, අලපෙති, හතු වර්ග රසවත් කිරීමට යොදාගෙන තියෙනවා.

එංගලන්තය හා ප්‍රංශය 2015 වසරේ නිකුත් කළ “එෆාස්ට් ඇසෙස්මන්ට්” (Afasti Assesment) වාර්තාව අනුව ඉර්ට් භාවිතයෙන් යමෙකු රෝග රැසකට ගොඳුරු වීමේ ප්‍රවණතාව ඉහළ යන බව පැහැදිලිවම දී තිබෙනවා.

MSG රසායනික දිගු කාලයක් ශරීරගත වීමෙන් වර්ධනය වන රෝගාබාධ කිහිපයක්.

සිරුර නිතරම වියළි ස්වභාවයකින් යුක්ත වීම.

දහඩිය අධික ලෙස පිටවීම.

මාංශපේෂි වල වේදනාව.

හිසේ කැක්කුම.

ගෙලෙන් උඩ මුහුණ ආශ්‍රිතව

ඇතිවන වේදනා

ගෙල හා උරහිස් හිරිවැටීම.

සිරුර අප්‍රාණික බව දැනීම.

පෙණහල්ලේ වේදනාව.

හෘද ස්පන්දනයේ වෙනස්කම් ඇතිවීම.

හෘදය, වකුගඩු හා ස්නායු පද්ධති ආශ්‍රිතව ඇතිවිය හැකි විවිධ සංකූලතා.

(දියවැඩියාව“ අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි රෝගාබාධ වලින්පෙළෙන අය මෙම රසකාරක අඩංගු ආහාර පරිභෝජනය කිරීමෙන් එම රෝගී තත්ත්වයන් දැඩි ලෙස උත්සන්න විය හැකියි.)

දකුණු ආසියානු රටවල් වලින් දියවැඩියා රෝගීන් බහුලම ශ්‍රී ලංකාවේ ඒ ඇයි?

දකුණු ආසියාතික රටවල් අතරින් දියවැඩියාව හා අධික රුධිර පීඩනය බහුලම රට ශ්‍රී ලංකාවයි. එමෙන් කොලෙස්ටරෝල් අධික වීම හා තයිරොයිඩ් වැනි හෝමෝන ආබාධ වලින් පෙළෙන වයස අවුරුදු 16– 25 අතර තරුණ පිරිස් “ අප රටේ බහුලයි.”

මෙම තත්ත්වයට හේතු වී තිබෙන්නේ රසකාරක, වර්ණකාරක, සුගන්ධකාරක, කෘත්‍රීම සීනි අඩංගු ආහාර පාන වර්ග ඉතාම බහුල ලෙස අප රටේ ජනතාව විසින් සාදරයෙන් වැලඳ ගැනීමයි. පාසල් යන කුඩා දරුවන් අර්ධ මානසික ගැටලු වලට භාජනය වීමට වක්‍රාකාරයෙන් මෙම රසකාරක, වර්ණ කාරක හා සුගන්ධකාරක අඩංගු ආහාර පාන භාවිතය අධික වීම බලපාන බව මේ වන විට පර්යේෂණ රාශියක් මඟින් සනාථ වී තිබෙනවා. ඔබ දන්නවාද? බිස්කට්, චොක්ලට්, පීට්සා, ටොෆී, සීනිබෝල, බයිට් පැකට්, රසකැවිලි, කෙටිකෑම, නූඩ්ල්ස් නිෂ්පාදන, ෆ්‍රයිඩ්

රයිස් වලත්, බේකරි කෑම වලත් මෙම අහිතකර රසායනික බහුලව යොදන බව.

නිවසේ පිළියෙළ කරන ආහාර වල වටිනාකම.

අද බොහෝ පාසල් වියේ පසුවන දරුවන් නිවසේ පිසින ආහාර ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට පත්ව තිබෙනවා. ඊට හේතුව වන්නේ අධික ලෙස කෘත්‍රීම රසකාරක බහුල ආහාරපාන වලට දරුවන්ගේ රස නහර හුරු වී තිබීමයි. මේ අනුව උදේ ආහාරය පවා කඩෙන් මිලදී ගෙන දරුවාගේ කෑම පෙට්ටියට බහාලන තත්ත්වයට මව්පියන් පත්ව තිබෙනවා. “අම්මා උයන කෑම රස මදි” මෙවැනි වදනක් කිසියම් දරුවෙකුගේ මුවින් පිටවේනම් ඒ නිවසේ පිසින ආහාර වලට වඩා රසකාරක යෙදූ කඩ කෑම වලට දරුවාගේ රස නහර හා මනස වහල් වී ඇති බවට හොඳම සාක්ෂියක්. උදේ ආහාර වේලට ගන්නා සියලුම සෝටීස් වර්ග හා බේකරි නිෂ්පාදන වල මෙම මාරාන්තික MSG රසකාරකය අඩංගු වෙනවා. අද පොල් සම්බෝලය, අලහොද්ද, පරිප්පු

හොද්ද රසකරන්න පවා මේ මාරාන්තික රසකාරකය බහුලවම යොදා ගන්නවා. අවන්හලකට ගොස් දරුවාට මාළු පාන් ගෙඩියක් මිලදී ගෙන අවන්හලේ තිබෙන සෝස් සමඟ ආහාරයට ගැනීමේදී දරුවාගේ සතුට දෙගුණ තෙගුණ වුවද එම ආහාර සමඟ අහිතකර රසකාරක වල අගුණ සිය ගුණයකින් පමණ දරුවාට ශරීරගත වන බව ඔබ මොහොතකට හෝ කල්පනා කළාද?

මෙසේ දරුවන් ඉතාම ප්‍රියකරන ජෑම්, බිස්කට්, සෝස්, බේකරි කෑම, පැණි බීම, රසකැවිලි ආදී බොහෝ නිෂ්පාදන වල අලෙවිය අද ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යාමට හේතුව වී තිබෙන්නේ රසදිව පිනවන මේ මාරක රසකාරකයි. මේ පිළිබඳව සිදුකළ සමීක්ෂණ වලදී පසුගිය වසර

තිහක පමණ කාලය තුළ ධාන්‍ය වර්ග, අලුත් එළවළු, පලතුරු හා පලාවර්ග ආදී දේශීය ආහාර වර්ග වර්තමාන දරුවන්ගේ පරිභෝජනයෙන් ගිලිහී යාම දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය අඩු වීමට හේතු වී තිබෙන බව තහවුරු වී තිබෙනවා. එමෙන්ම තරඟකාරී අධ්‍යාපනය තුළ සිරවී දැඩි මානසික ආතතියෙන් පෙළෙන දරුවන් ක්‍රීඩා කටයුතු වලින්ද ඈත්කර සමබර දේශීය ආහාර වේල් වෙනුවට කඩකෑම සංස්කෘතියට හුරු වීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ අධික ස්ථූලතාවය,

අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, විවිධ පිළිකා හා දියවැඩියාව වැනි බෝ නොවන දරුණුම රෝග තත්ත්වයන්ට දරුවන් බඳුන් වීමයි.

මේ වරදට මුල “ගෙදර බුදුන් අම්මා” යන උතුම් විරුදාවලිය ලද “නිවසේ සිරිකත” වන “ අම්මා’ හෙවත් “ගෘහණිය” වන ඔබම බව නොකියාම බැහැ.

ඔබ අරපිරිමැස්ම අගයන පවුලේ සාමාජිකයන්ට සැබැවින්ම ආදරය කරන සෙනෙහෙබර මවක්, බිරිඳක් නම් ඔබේ අදිටන විය යුත්තේ පවුලේ සුවසෙත වෙනුවෙන් “උපරිමයෙන් කැපවෙමි” යන සිතුවිල්ල ඇතුව පිරිසිදු ස්වභාවික කෑම බීම දේශීය රසකාරක යොදා ගනිමින් හා නිවසේදී පිළියෙළ කර ඔබේ දරුවන් ඇතුළු පවුලේ සැම පෝෂණය කිරීමයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.