ක්‍රිෂ්ණ මුර්ති පද්ධතියෙන් එතෙරට සුබ මුහුර්ත කියන විශ්‍රාමික හමුදා නිලධාරියා ලෙස්ලි ජයසිංහ

පෙබරවාරි 23, 2024

ලෙස්ලි ජයසිංහ යන නාමය මෙරට වැසියාට හුරුපුරුදුය. ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරියකු එමතුනොව ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයකු, මාධ්‍යවේදියකු යනාදී ලෙස ක්ෂේත්‍ර ගණනාවක් කරා සිය භූමිකාව පැතිරූවකු ලෙස ඔහු කා අතරත් ප්‍රසිද්ධියට පත්ව තිබේ.

ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙහි නිරත වෙමින් විදෙස් රටවල් සඳහා සුබමුහුර්ත සහ විදෙස් කේන්දර සැකසීම සඳහා නිපුණයකු වූ ඔහු තම ඡ්‍යොතිෂ දැනුම පුවත්පත් ගණනාවක් ඔස්සේ ජනතාවට බෙදා හදා දෙන්නේ මහත් වූ කැපවීමකිනි. ලෙස්ලි ජයසිංහයන් පිළිබඳ කතා කිරීම සැමට ප්‍රයෝජනවත් වනු ඇත. මේ ලියවෙන්නේ ඔහු නියැළුණු ක්ෂේත්‍ර අතරින් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය වෙනුවෙන් කළ සහ කරමින් සිටින සේවය පිළිබඳවයි.

උපත

මහනුවර දිස්ත්‍රික්කයේ උපත ලබන්නට වාසනාවන්ත වූ ලෙස්ලි ජයසිංහයන්ගේ ළමා කාලය ගතවූයේ තමා උපන් නුවර ගම් පියසේ නම් නොවේ. මව්පියන්ගේ රාජකාරි මත කුඩා කල සිටම ඔහුට හැදී වැඩෙන්නට වූයේ කොළඹ පරිසරයේය. කොළඹ හැදුණු වැඩුණු ඒ යටගිය අතීතයේ මතකය පිළිබඳ ඔහු මෙලෙස ගෙනහැර දක්වයි. ‘මගේ සම්පූර්ණ නම චන්ද්‍රසේකර ආරච්චිගේ ලෙස්ලි ජයසිංහ. මගේ අම්මා මේරී නිල්වලආරච්චි. මගේ පියා ජෝර්ජ් ජයසිංහ. මා උපන්නේ 1944 ජනවාරී 17 දායි. මගේ පවුලේ බාලයා මම. මට වැඩිමහල් සොහොයුරියන් දෙදෙනෙක් සිටිනවා. මගේ පියා වෘත්තියෙන් පොලිස් පරීක්ෂකවරයෙක් අම්මා රැකියාවක් කළේ නැහැ. එනිසා බාල විය අම්මාගේ තුරුලේ ගත කරන්නට මට වාසනාව ලැබුණා.

අම්මාගෙන් මගේ ජීවිතයට වගේම සොහොයුරියන්ගේ ජීවිතවලට විශාල ආදරයක් වගේම රැකවරණයක් ලැබුණා. තාත්තා ඉගෙනීමෙන් අපි ඉහළට යන හැටි බලන්නට නිරතරම කටයුතු කළා. මට මතකයි කුඩා කාලයේ ඉඳන්ම අම්මා මාව පන්සලට රැගෙන යනවා. අපි සිල් ගන්නවා කොටින්ම කිව්වොත් ඇය බණට, දහමට මගේ ජීවීතය හුරුකළා. ඒ කාලේ සැම ඉරිදාවකම උදේ 8.00 ට අම්මත් එක්ක බණ අහන්න මම අමතක කළේ නැහැ. ඒ අප නිවෙසේ රේඩිෆියුශන් එකෙන්.

අධ්‍යාපනය

අධ්‍යාපනයෙන් ඉහළ දක්ෂතා දක්වන්ට සමත් වූ ශිෂ්‍යයකු ලෙස ඔහු ගත කළ පාසල් විය පිළිබඳ ලෙස්ලි ජයසිංහ පවසන්නේ මෙලෙසිනි.

මම ඉගෙනීම ලැබුවේ කොටහේන කුමාර මහා විදුහලෙන් සහ ශාන්ත පීතර විදුහලෙන්. මා ඉගෙනුම ලැබූ කාලවකවානුවේ අ.පො. ස. සා.පෙළ විභාගය වෙනුවට තිබුණේ ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර විභාගය. ඒ විභාගයට මම ඉදිරිපත් වුණේ 1961 වසරේ දී එයින් මම සමත් වුණේ ඩී( විශිෂ්ඨ සම්මාන) 4 කුත් සී ( සම්මාන) 5 කුත් ලබාගෙනයි. ඉන්පසුව උසස් අධ්‍යාපනය සඳහා ඉංග්‍රීසි භාෂාව , ශුද්ධ ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව යන විෂයන් යටතේ 1963 වසරේ දී ලන්ඩන් ඒ ලෙවෙල් විභාගයට ඉදිරිපත් වුණා. එයින් භෞතික විද්‍යාව, ශුද්ධ ගණිතය, රසායන විද්‍යාව විෂයන්වලට විශිෂ්ට සම්මාන 3ක් ලැබුවා.

මෙලෙස අධ්‍යාපනයෙන් ඉහළට ගිය ලෙස්ලි ජයසිංහයන් තම උසස් අධ්‍යාපන කටයුතුවලින් පසුව හමුදා සේවයට එක්වන්නේ කුඩා කල සිටම හමුදා සේවය කෙරෙහි පැවැති නොතිත් ආශාව නිසා වන්නට ඇත. තමා හමුදා සේවයට එක් වූ අතීතය ඔහු මෙලෙස සිහිපත් කරන්නේය.

රැකියාව

සම්මුඛ පරීක්ෂණ ගණනාවකින් අනතුරුව 1965 වසරේ නොවැම්බර් මස 24 දින ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයට එක් වුවා. ඉන් පසු දියතලා කදවූරේ ද චීනවරාය කදවුරේදී ද හමුදා පුහුණුව ලබා කටුනායක ගුවන් හමුදා රෝහලට අනුයුක්තව මාස 8 ක පුහුණුවක්ද ලැබුවා. එය මගේ ජීවිතයේ අමතක නොවන සුන්දර කාල වකවානුවක්.

පසුව විකිරණවේදය සම්බන්ධව වැඩි දුර ඉගෙනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්තව සේවය කළා. ඒ අනුව මගේ වෘත්තියේ පුහුණුවීම් 1971 වසරේ දී අවසන් වූවා. එතැන් පටන් මගේ සේවය රට ජාතිය වෙනුවෙන් ලබා දුන්නා. මේ අතර කටුනායක ගුවන් හමුදා රෝහලේ වෛද්‍ය පාරිපාලන තනතුරට උසස් වීමක් 1979 වසරේ දී මට ලැබුණා. 1982 වසරේදී එංගලන්තයේ සායනික මනෝ විද්‍යා ඩිප්ලෝමා සහතිකය ලබාගත්තා. එම වසරේදීම එවකට සිටි ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිතුමා අතින් දක්ෂතම නිලධාරියාට පිරිනමන හමුදා උත්තම සේවා පදක්කම මට හිමි වුණා. එය මගේ හමුදා සේවයේදී මම ලද ගෞරවයක්. 1983 වසරේ දී ප්ලයිට් ලෙෆ්ටිනන්ට් (ජ්තඪඨඩබ තඪඥභබඥදචදබ) වරයෙකු වශයෙන් එවකට සිටි ජනාධිපති තුමා විසින් උසස් වීමක් මට ලබා දුන්නා. මේ කාලසීමාවේ පටන්ම මට ඡ්‍යොතිෂ පිළිබඳවත් යම් දැනුමක් තිබුණා. විශේෂයෙන්ම ඒ කාල වකවානුවේදී උතුරේ යුද්ධය පටන් ගත් අවධිය. මට මතකයි එල් .ටී ටී ඊ එකෙන් චාවකච්චෙරී පොලීසීයට දරුණු ප්‍රහාරයක් එල්ල වූණා. ඒ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරින් රැසක් මියගියා. එම නිලධාරින්ගේ දේහයන් ගුවන් මඟින් කටුනායකට ගෙන ආපසු භාර ගත්තේ මමයි. ඇත්තටම ජීවිතේ ගැන බොහෝ දේ හමුදා සේවයේදී අත්දකින්නට මට හැකි වුණා. ශී‍්‍ර ලංකා ගුවන් හමුදා රෝහලේ පාලක වෛද්‍ය වශයෙන් සේවය කර විශ්‍රාම ලබා සිටියදී චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපති තුමිය කළ පත්වීමක් මත සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ පාලන අධ්‍යක්ෂ ලෙස කලක් කටයුතු කරන්න මට හැකිවුණා.

විවාහය

1976 වසරේ අප්‍රේල් 25 දින ගුවන් හමුදා රෝහලේ හෙදි නිලධාරිනියක වූ මෙරිටා ප්‍රනාන්දු සමඟ විවාහ දිවියට අතුළත් වන ලෙස්ලි ජයසිංහයන් දුවක හා පුතකුගේ ආදරණීය පියා වන අතර මේ වන විට මිනිබිරියන් දෙදෙනකුගේ සහ මුණුපුරන් දෙදෙනකුගේ ආදරණීය මුත්තණුවකු වේ. ඔවූහු මේ වන විට එංගලන්තයේ ජීවත් වෙති.

ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හැදෑරීම

තරුණ කාලයේ සිටම ගුවන් හමුදා වෘත්තියට මෙන්ම ඡ්‍යොතිෂ අංශයටත් මම වැඩි ඇල්මක් දැක්වූවා. මම හිතන විදිහට ඡ්‍යොතිෂ ශාස්ත්‍රය මට උරුම විය යුතුව තිබූ දෙයක්. මට ඡ්‍යොතිෂය පිළිබඳව ඉගෙනීමේ ආසාවක් ඇති වුණේ 1970 වසරේ දී පමණ. මගේ පියාගේ සහෝදරයෙක් තමයි එවකට ඉන්දීයාවේ බහුජන විහාරයේ ධම්මානන්ද නායක හාමුදුරුවන් වහන්සේ. උන්වහන්සේට භිර්ගු නාඩි ඡ්‍යොතිෂය සම්බන්ධයෙන් උසස් දැනුමක් තිබුණා. එමෙන්ම උන්වහන්සේ ඡ්‍යොතිෂයේ ඇති වටිනාකමත් එමඟින් එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරුණු ගණනාවක් මට කියලා දුන්නා. මම එයට කොතරම් ආශා වුණා ද කිව්වොත් එම කරුණු කරණා මගේ හිතට තදින්ම කා වැදුණා. එනිසාම ඡ්‍යොතිෂය සම්බන්ධව ලියැවී තිබුණු පොත් පත් තුන හතරක් අරන් කියෙව්වා. එක් දවසක් පත්තරයක තිබු ලිපියක් කියෙව්වාම ක්‍රිෂ්ණ මුර්ති ක්‍රමය ගැන හදාරන්න හිත් වූවා. එම ලිපිය ලියා තිබුණේ ධනන්සුරිය නැමති මහත්තයෙක්. ඒ දර්ශනය සියුම් දෙයක් කියලා මට තේරුණා. පසුව ඒ මහතා යටතේ ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය සම්බන්ධයෙන් පාඨමාලාවක් හැදෑරුවා. ඉන්පසුව පත්මානන්ද සේනාරත්න මහතාගෙන්ද බදුල්ලේ පියතිලක හේරත් මහතාගෙන්ද ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය පිළිබඳව ඉගෙන ගත්තා. පසුව ඉන්දියාවේ චෙන්නායිහි ක්‍රිෂ්ණ මුර්ති පඩිතුමාගේ වැඩිමහල් පුතකු වන මහාචාර්ය කේ. සුබ්‍රාමනියම් සහ බාල පුතකු වන මහාචාර්ය කේ. හාරිහරන්ගෙන් ක්‍රිෂ්ණ මුර්ති පද්ධතිය ඉගෙන ගත්තා. ඉන්පසුව ඉන්දියාවේ ක්‍රිෂ්ණ මුර්ති ආයතනය මඟින් පවත්වනු ලැබූ ඡ්‍යොතිෂ විශාරද විභාගයෙන් උසස් ලෙස සමත් වන්නට මට හැකි වුණා. පසුව ක්‍රිෂ්ණ මුර්ති ඡ්‍යොතිෂ වාච්‍යස්පති සම්මානය ද හිමි වූවා. මෙහිදී විදෙස් රටවල් සඳහා සුබමුහුර්ත සහ විදෙස් කේන්දර සාදන ක්‍රම හැදෑරීමට දිල්ලි විශ්ව විද්‍යාලයේ ආචාර්ය රාම ක්‍රිෂ්ණන් මැතිතුමා යටතේ ඉගෙන ගත්තා . ශ්‍රී ලංකාවේ දී ඡ්‍යොතිෂ ප්‍රභාශ්වර උත්තමාචාර සම්මානය 2014 දී ලබා ගන්නට මට හැකි වූවා.

ක්‍රිෂ්ණ මුර්ති සිද්ධාන්ත අනුව ලබාගත් පලාපල අඩංගු ලිපි සුබසෙත, රිවිරිසි, සම්පත, ඉරහද, වැනි පුවත්පත් වලට ලියා ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් කරන්නට මට හැකි වුණා. මෙතෙක් මා විසින් ඒ ආකාරයට ලියා පළකර ඇති ඡ්‍යොතිෂ ලිපි විශාල ගණනක් තියෙනවා යනුවෙන් තමා ඡ්‍යොතිෂය වෙනුවෙන් කරන ලද සේවය ජයසිංහ මහතා පවසන්නේ මහත් භක්තියෙන් යුතුවය.

සංස්කෘතික අමාත්‍යංශය හා අනුබද්ධ ශ්‍රී ලංකා ඡ්‍යොතිෂ සංගමයේ යාවජීව සාමාජිකයකු ලෙසත් 2005 පළමු වරට ඉංග්‍රීසි භාෂාවෙන් ඡ්‍යොතිෂ ලිපි 4ක් සුබසෙත ඇතුළු පුවත්පත්වල පලකරමින්, විදෙස් රටවල පදිංචි ශ්‍රී ලාංකිකයන්ට වසර 19 ක සිට නොකඩවා සතිපතා සුබ වේලාවන් හා රාහු කාලය දන්වා සීටීම මෙන්ම විදෙස් කේන්දර සාදන ක්‍රම පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමට ලෙස්ලි ජයසිංහයන් කටයුතු කරන අන්දම පැසැසිය යුතුය.

ඡ්‍යොතිෂය පිළිබඳව සාමාන්‍ය ජනතාව දක්වන උනන්දුව දිනෙන් දින වැඩිවන බව දක්නට ලැබෙන කාලයක් මෙය. ඡ්‍යොතිෂය සම්බන්ධ අල්ප මාත්‍ර අවබෝධයක් නැති අය පවා අද මේ ක්ෂේත්‍රයට එක් වෙලා තිබෙනවා. මේ අය සේවාදායකයන් රවටා මුදල් ලබා ගන්නා බවත් නොරහසක්. සමහර ඡ්‍යොතිෂවේදීන් තම සේවාදායකයන්ට බියකරු චිත්‍රයක් මවා එම අශුභ තත්ත්වය දුරු කීරීමට ශාන්ති කර්ම සඳහා විශාල මුදලක් ඉල්ලා සිටිනවා. එනිසා තම ගෞරවය රැකගෙන කටයුතු කිරීම ඡ්‍යොතිෂවේදීන්ගේ යුතුකමක් වෙනවා. එසේ නොවුණහොත් වසර දහස් ගණනක් පැවත එන මේ විෂය පරිහානියට ලක්වන බව නම් පැහැදිලිව කිව හැකියි. යනුවෙන් ජයසිංහයන් පවසන්නේ ආධුනිකයන් වෙත වටිනා පණිවුඩයක් දෙමිනි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.