අවුරුද්දට නැතිවම බැරි හත් මාළුව

අප්‍රේල් 5, 2024

 

මේ උත්සව සමයේ සෞඛ්‍ය සම්පන්න ආහාර වට්ටෝරුවක් තිලිණ කර දීමට අපි කටයුතු කරමු . ඒ සඳහා මෙවර අපි තෝරා ගත්තේ හත්මාළුවයි. ඈත අතීතයේ සිටම හෙළයන්ගේ ආහාර අතර මුල් තැන ලැබුණු ව්‍යාංජනයක් ලෙස හත් මාළුව සඳහන් කළ හැකිය.

සිංහල අවුරුදු සමයේ අප තෙල්, පැණි, පිටි, මිරිස් ආදී දේ බහුලව අනුභව කරන නිසා අපේ ශරීරයේ කිපෙන වා, පිත්, සෙම් දෝෂවලින් ඇතිවන ලෙඩ රෝග හා ඒ හා බැඳුණු අනවශ්‍ය අපද්‍රව්‍ය ඉවත් කර දුන්නේ මේ හත්මාළුවයි. උත්සව සමයේ අප ගන්නා ආහාරවල ඇති අසමතුලිතතාවය සමතුලිතකරදීමට මේ හත්මාළුවට ඇති හැකියාව පුදුමය දනවන සුලුය. ද්‍රව්‍යයන් හතක් එකට මිශ්‍ර කර හදන මේ හත් මාළුව සඳහා අලුකෙසෙල්, කජු, කිරි අල, කොස් ඇට, මෑ කරල්, වම්බටු මෙන්ම වට්ටක්කා දලු, හෝ සාරන හෝ නිවිති හෝ තම්පලා, මුරුංගා වැනි කොළ වර්ගයක් තමාගේ පහසුව අනුව යොදා ගත හැකිය. විවිධ ප්‍රදේශවල හත්මාලුව පිළියෙල කර ගැනීම විවිධ වේ.

හත්මාළුව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

අළු කෙසෙල් ගෙඩියක්

කජුමද ග්‍රෑම් 50ක්

කිරිඅලයක්

වම්බටු ගෙඩි දෙකක්

කොස් ඇට හයක් හතක්

මෑ කරල් හයක් හතක්

වට්ටක්කා දලු හතරක් පහක් පමණ (ගිරා පලා, කූරුතම්පලා, මුකුණු වැන්නා, අඹරැල්ල දලු, මුරුංගා කොළ, කතුරුමුරුංගා කොළ ආදී ඔබ කැමති කොළ වර්ගයක් භාවිතයට ගත හැකිය.) කහ, ගම්මිරිස්, මිරිස්, බැදපු හා අමු තුනපහ කුඩු ස්වල්පය බැඟින්, ලූණු ,ඉඟුරු, සුදුලූණු, රම්පෙ, කරපිංචා, සේර කැබැල්ලක්, රස අනුව ලුණ, පොල්කිරි

සකසන ක්‍රමය

මුලින්ම මැටි ඇතිළියක් රැගෙන එයට තලා පිරිසිදු කරගත් කොස් ඇට දමන්න. පෙඟෙන්නට දමාගත් කජු සුද්ද කර පොත්ත ගලවා ගන්න. එය ද එකතු කරන්න. කපා ගත් අලු කෙසෙල් ද අතින් කඩාගත් මෑ කරල් ද කිරි අල ද එකතු කරන්න. එයටම කපාගත් රතුළුණු ගෙඩි හතරක් පමණ ද මිරිස් කරල්, රම්පා කැබලි දෙකක්, කරපිංචා, සේර, ඉඟුරු, සුදුලූණු එකතු කරන්න. කුරුඳු පොතු කැබැල්ලක්, උළුහල් ස්වල්පයක්, කහ, මිරිස්, ගම්පිරිස්, අමුතුන පහ බැදපු තුන පහ එකතු කරගන්න. තවද සියඹලා යුෂ ස්වල්පයක්, ලුණු, දියකිරි දමා හොඳීන් තම්බා ගන්න. අවසානයේ මිටි කිරි ස්වල්පයක් එකතු කර ලිපේ ටික වෙලාවක් තබා උතුරුවා උකු වුණු පසු ළිපෙන් බාගන්න. මෙසේ සකසා ගත් ඖෂධීය ගුණයෙන් යුතු හත් මාළුව කිරිබත් සමඟ අනුභවයට ගන්න.

හත්මාළුවේ උපත

ගැමියන් පෝය දින සිල් සමාදන් වී රාත්‍රී කාලය නිරාහාරව සිට උදේ නිවෙසට පැමිණීම සිරිතකි. සිල් සමාදන්වීමට පැමිණෙන උපාසිකා පිරිස් තමන්ට හැකි අයුරින් එළවළුවක් හෝ පළාවක් රැගෙන ආවෝය. පෝය දිනට පසු දින සිල් පවාරණය කොට සියලු දෙනාම ගෙන ආ එළවළු වර්ග එකතු කර හොද්දක් පිස, බතක් පිස බුද්ධ පූජාව තබා දානය දී සැදැහැ සිතින් පිටත්ව ගියෝය. එලෙස දලු, අල, ගෙඩි, කරල්, මද,ඇට, කොළ එකතු කරගන්නා ලද මාළුවට හත්මාළුව ලෙස යයි නම් පටබැඳී ඇත. තවද හත්මාළුව සමන් දෙවියන්ට, සූර්ය දිව්‍ය රාජයාට කරන පුද සත්කාරයක් ලෙසද අස්වනු නෙළන කාලයේ දෙවියන් පිදීමට ගම්මඩුවට, පිරිත් ගෙදරට, සාංඝික දානයට තොයිල්වලට නැතුවම බැරි ව්‍යාංජනයක් වූ ලෙස ද පිළිගැනෙයි. සිංහල අවුරුදු දා පැහෙන කිරිබත සමඟ අනුභව කිරීමට හත්මාළුව සකසා ගනී. මෙසේ සාදාගන්නා හත් මාළුව ලංකා පුරවරයේ පළාත්වල සැකසීම එකිනෙකට වෙනස් වේ. ඒ ඒ පළාතට ආවේණිකව වැවෙන එළවළු පළා වර්ග අනුව හත්මාළුව සකසා ගනී. නමුදු බොහෝ දුරට අමු ද්‍රව්‍යයන් කීපයක් සමානව ඇති මුත් කීපයක් පමණ වෙනස් වෙයි.

හත්මාළුවේ ගුණ

එදා ගෘහණිය තම නිවෙසේ පාරිභෝජනය සඳහා ගස්වල කොළ, ඇට, අල, මුල්, මල්, ගෙඩි, කරල්, දලු මූලිකාංග කොට ගත්තාය. එලෙස ලබාගත් ශාක ද්‍රව්‍ය මැල්ලුම, ආනම, තැම්බුම, බැදුම හා නියඹලාව ලෙස පිළියෙල කරගත්තේ ආහාරයේ ඖෂධී ගුණය මනාව රැකගනිමිනි. මේ අමුද්‍රව්‍යවල ඇති ඖෂධීය ගුණයන් සලකා බැලීමේදී අලු කෙසෙල්වලින් විස බැහැර කිරීමේ විශේෂ ශක්තියක් ද කොස් ඇටවලින් වායුව ඇවිස්සීමෙන් හටගත් විස ඉවත් වීමත් සිදුවෙයි. මෑ කරල් ශරීරය සිසිල් කරන අතර තුවාල සුව කරයි. අජීර්ණ තත්ත්වයක් ඇතිවුව හොත් එය ඉවත් කරයි. කජු අධිපෝෂණ ගුණයෙන් යුක්තයි. ශරීරයේ ඇති සියලුම ආහාරවල ශක්තිය බැහැර නොවී අල්ලා සිටීමට උපකාර කරයි. එමෙන්ම ප්‍රතිශක්තිකරණය ඇති කරයි.

කිරිඅල ඌෂ්ණ වුවත් ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන වන තුවාල ආදිය සමනය කරයි. වට්ටක්කා දලුවලින් ආහාර මාර්ගයේ අභ්‍යන්තරයේ තිබෙන තුවාල සනීප කරයි. අපද්‍රව්‍ය ඉවත් කර මහ බඩවැල සුද්ද කරන්නට කටයුතු කරයි.

 

උපදෙස්-

යුරෝපයේ පුහුණුව ලද

ආයුර්වේද සූපවේදිනී

ඉනෝකා වේලාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.