බෙලහීනතාව දුරුකරන අගනා ඔසුව බිංතල්

සැප්තැම්බර් 25, 2020

ආයුර්වේදයේ දැක්වෙන අංග අට තුළින් එක් වැදගත් තන්ත්‍රයක් වනුයේ වාජීකරණ තන්ත්‍රයයි. නැති වී ගිය, පිරිහී ගිය පුරුෂ ශක්තිය නැවත ඇතිකිරීම සඳහා කළ යුතු කාර්යයන් පිළිබඳව උගන්වන තන්ත්‍රය වාජීකරණ තන්ත්‍රයයි. ලිංගික දුබලතා නිසා වත්මන් සමාජය තුළ පීඩා විඳින බොහෝ තරුණයන් හට එම ලිංගික දුබලතා මඟහරවා ගැනීමට කළයුතු ක්‍රියාවලියන් පිළිබඳව මෙම වාජීකරණ තන්ත්‍රයේ මනාව පැහැදිලි කර ඇත. මේ සඳහා ප්‍රතිකාර කිරීමේ දී යොදනු ලබන ඖෂධ යෝගයන් හඳුන්වනු ලබන්නේ ද වාජීකරණ ඖෂධ නමිනි. 

කෙසේ වුවද වත්මන් සමාජය තුළ අධික මිල ගණන්වලට අලෙවි වන වාජීකරණ ඖෂධවල නියමිත ඖෂධ යෝගයන් පවතින්නේදැයි සැක සහිතය. මෙනිසා වාජීකරණ ගුණ යුතු නියම ඖෂධ ද්‍රව්‍යයන් නිවැරදිව හඳුනා ගැනීම වැදගත් වන අතර එතුළින් වඩාත් සාර්ථක ප්‍රතිකාර ලැබෙනු ඇත.

මෙවන් නිවැරදි වාජීකරණ ඖෂධ ද්‍රව්‍යයන් අතර ප්‍රධාන ස්ථානයක් ගනු ලබන ද්‍රව්‍ය කිහිපයක්ම වේ. එනම් අමුක්කරං ,බිංතල් , කිරිබදුඅල, වඳුරුමස්, හාතාවාරිය අල, වැල්පෙනෙල ආදියයි. මෙම ඖෂධ ද්‍රව්‍ය අතුරින් එක් වැදගත් ද්‍රව්‍යයක් ලෙස ‘බිංතල්’ හැඳින්විය හැකිය. ලිංගික බෙලහීනතා නිසා තරුණ බව ආරක්ෂා කර ගැනීම උදෙසා භාවිත කරනු ලබන විවිධ ඖෂධ යෝගයන් තුළ දක්නට ලැබෙන ඉතා වැදගත්ම ද්‍රව්‍යයක් වශයෙන් බිංතල් හැඳින්විය හැකිය. 

‘භූතාලි‘ යන සංස්කෘතික පදයෙන් බිඳී ආ ‘බිංතල්’ යන්න තල් ගසක රූපාකාරයෙන් බිම හටගන්නා යන අරුත් දෙයි. භූටාත්‍රි (බිං සෙනල්ලි) භූනිම්බ (බිං කොහොඹ) භුලවංශ (බිං ඌරු) ආදි වශයෙන් භූ ශබ්දය පූර්ව කොට සැකසුණු නම් සඳහා බිං යන පදය යොදා අරුත් ගැන්වීමට දේශීය විද්වතුන් සමත් වූහ. 

බිංතල් ඖෂධීය වශයෙන් වැදගත් වන අතරම ආහාරයක් වශයෙන් භාවිත කිරීමට ද ශ්‍රී ලාංකීය ජනතාව පුරුදුව සිටිති. එහෙත් බිංතල් අතිශය පෝෂ්‍ය ගුණයෙන් යුතු බව බොහෝ දෙනා නොදන්නා නිසා අපතේ යන ප්‍රමාණය ද අධික වේ. 

තවද ගැමි ජනතාව ‘බිංතල් වාජීකරණ ඖෂධයක් ලෙස මෙන්ම ශක්තිජනක ආහාරයක් ලෙස පිළියෙල කර ගැනීමට දනිති. එසේම ආර්ථික වගාවක් ලෙස සාමාන්‍යයෙන් ප්‍රයෝජනයට ගැනේ. 

වැවෙන ප්‍රදේශ 

විදේශීය වශයෙන් 

බටහිර හිමාලය, පංජාබි, ගුජරාත්, මධ්‍යම භාරතය ආදි අඩි 2500 දක්වා වූ තෙත් පරිසර තත්ත්වයේ හොඳින් වැවේ. 

දේශීය වශයෙන් :– ශ්‍රී ලංකාවේ ද අඩි 2500 දක්වා තෙත් පරිසර තත්ත්වයේ හොඳින් වැවේ. පේරාදෙණිය උද්භිද උද්‍යානය, නාවින්න ආයුර්වේද පර්යේෂණායතනය, ගිරාඳුරුකෝට්ටේ, බත්ගොඩ, පට්ටිපොල හා පල්ලේකැලේ ඔසු උයන්වල දක්නට ලැබේ. 

බිංතල්වල ස්වරූපය 

ආකන්දීය බහු  වාර්ෂික පැළෑටියකි. මාංශල වූ පාර්ශවීය මුල්දරන කෙටි හෝ දික් වූ අලයක් දරයි. නටුවක් නොමැති හෝ කෙටි නටුවක් සහිත සරල පත්‍ර පොකුරු වශයෙන් කෙටි කඳෙහි හට ගනියි. පත්‍ර රේඛීය හෝ රේඛීය ලන්සාකාර වන අතර බොහෝ විට පත්‍ර කෙළවරින් ආගන්තුක අංකුර හටගනු ලබයි. මෙහි හටගනු ලබන මල් දීප්තිමත් කහ පැහැයෙන් යුක්තයි. මෙහි හටගනු ලබන ගෙඩි තුළ බීජ 1-4 දක්වා පවතින අතර මෙම බීජ කලු පැහැයක් ගනු ලබයි. බිංතල් බීජවලින් හෝ අල වලින් බෝකර ගත හැකිය. 

බිංතල් පිළිබඳව විවිධ භාෂා වලින් හඳුන්වන නාම 

පොදු සිංහල නාමය :– බිංතල් වන අතර 

සංස්කෘත බසින් :– මුෂලි, තෙල මූල, මුශලී, මූසලී, සුවතා, තෙලමූලිකා, ශොධාපනී, හේමපුෂ්පී, භූතාලි සහ දීර්ඝකන්දිකා යන නාම යෙදේ මින් 

තෙලමුලි – තෙල වර්ගයට අයත් නිසා ද  

හේමපුෂ්පී – හේමන්තයේ මල් හට ගන්නා නිසා ද 

දීර්ඝ කන්දිකා – දිගු අල ඇති හෙයින් ද යෙදේ 

හින්දි බසින් – කාලිමූෂලී, සෙළුද් මූෂලී, යනුවෙන්ද 

වංග බසින් – තෙලමූලි යයි ද 

දෙමළ බසින් – කන්නිර්වට්ටංග යනුවෙන් ද යෙදේ 

ඉංගී‍්‍රසි බසින් - Black Musale යනුවෙන්ද යෙදේ 

බිංතල්වල උද්භිද විද්‍යාත්මක නාමය Curuligo orchioidesgaerth

කුලය Hypoxidaceae  හෙවත් තෙලමූලි කුලය වේ 

මෙම මුල සහ අලය ඖෂධ යෝග සඳහා ගනු ලැබේ. 

මෙහි ප්‍රභේද 2 කි 

1.සුදු බිංතල් 2. කළු බිංතල් වශයෙනි 

බිංතල් අල සංරක්ෂණය කිරීම 

හොඳින් මේරූ බිංතල් අල උදුරා පිරිසුදු කර වේලා රුද්ධ භාජනයන්හි වියළි ගබඩාවල තැන්පත් කරයි. ඉතා ඉක්මනින් දිරාපත්වන නිසා අලුත් අවස්ථාවේ දීම ප්‍රයෝජනයට ගත යුතුයි. ගුල්ලන්ගෙන් ආරක්ෂා කිරීම වැදගත් වේ. 

බිංතල්වල අඩංගු රසායනික උපාදාන 

 සුදු බිංතල්වල එස්පෙරපිස්, ඇලිබියුමින් බෙල්සුල් ද්‍රව්‍ය සහ පෙල්‍යුලෝස් ද මුල් චූර්ණයේ 77 1/2% ක් ජලයෙහි දියවෙන සුළු කොටස් ද අන්තර්ගත වේ. 

කළු බිංතල් වල දුම්මල ටැනින් වසා පිෂ්ට යනාදිය ද භෂ්ම 8 1/2% ක් ද භෂ්මයෙහි චූර්ණය කර පදාර්ථ ද අන්තර්ගතය. 

බිංතල්වල ඖෂධීය ගුණ කර්ම සැලකීමේදී 

රසයෙන් මධුර හා තිත්ත වන අතර 

ගුණයෙන් ගුරු හා ස්නිග්ධ වේ. 

වීර්යයෙන් උෂ්ණ වන අතර 

විපාකයෙන් මධුර වේ 

දෝෂ අනුව සැලකීමේ දී 

මෙය තුන්දොස් නසන ගුණ යුතු අතර, විශේෂයෙන් වාපිත් සමන ගුණ ඇත. එනිසා මෙය තිදෝෂ ජනිත රෝග වල විශේෂයෙන් වාත පිත්ත රෝගවලදී යෙදෙයි. බිංතල් මුල සෙම් රෝග සංශෝධන ගුණ යුතු අතර බලකාරක ද වේ. මෙය අර්ශස්, ධ්වජ භංග හා ශාරීරික දුබලතා සඳහා හිතකාරි වේ. 

ශාරීරික ව්‍යුහ ක්‍රියා සැලකීමේ දී 

අභ්‍යන්තර වශයෙන් 

ප්‍රජනන ව්‍යුහාවේ දී 

බිංතල් වෘෂ්‍ය වන අතර ශුක්‍ර ගුණ ද ඇත. එනිසා ශුක්‍රමේහ හා ධ්වජ භංගය සඳහා යොදනු ලබයි. 

මුත්‍රා ව්‍යුහාවේ දී 

කළු බිංතල් මුත්‍ර මාර්ගය ආශි‍්‍රතව විශේෂයෙන් ක්‍රියාකරන අතර මෙය මූත්‍රල ගුණ යුතු වේ. මෙනිසා මුත්‍ර කෘච්ඡ්‍රය සහ පූයාමේහයේ දී බොහෝ සෙයින් ප්‍රයෝජන වේ. එසේම බලකාරක වෘහෙන හා රසායන ගුණ යුතු අතර, දුබලතා හා කෘශතාවයට යෙදේ. තවද ඉක්ෂුමේහය යුක්ත වන අයට පථ්‍ය ස්වරූපයෙන් යෙදිය හැකිය. 

බිංතල්වල ඖෂධීය මාත්‍රා 

චූර්ණඛය අත්තිකා 18-30 දක්වා වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.