ඩාදිය දුඟද නසන සැවැන්දරා

පෙබරවාරි 23, 2024

 

ආයුර්වේද විද්‍යාලයේ අවසාන වසරේ ඉගෙනුම ලබන ශානිකා සහ සුරනි ඉදිරි දිනවල පැවැත්වෙන අවසාන විභාගය සදහා පාඩම් කරමින් සිටියහ. එහිදි සුරනි පැවසුවේ මේ දිනවල පවතින අධික උණුසුම් තත්ත්වය නිසා පිපාසය අධික ව දැනෙන බවයි.

ශානිකා බලන්නකො තියෙන රස්නය.ඇඟ දාඩියෙන් තෙමෙනවානේ.’”යනුවෙන් සුරනි කිය.

ඔව්. මේ කාලෙට එහෙම තමයි. ඒ නිසා වතුර හොඳට බොන්න ඕන. ඒ වගේම ඉරමුසු, සැවැන්දරා, කොත්තමල්ලි වගේ ජාති තම්බල වැඩිපුර බොනව නම් හොඳයි යනුවෙන් ශානිකා පිළිතුරු දුන්නාය.

එතකොට සැවැන්දරා ත් බොන්න හොඳයි ද. යනුවෙන් සුරනි ඇසූවිට

ඔව් සැවැන්දරා කියන්නෙ සුවඳ වගේම පිපාසය. දැවිල්ල අඩු කරන හොඳ ඖෂධයක් “ යැයි ශානිකා පිළිතුරු දුන්නාය. සැවැන්දරා වැඩිපුරම බොන්නේ කොත්තාමල්ලිත් එක්ක සැවැන්දරා තනිකර බොන්නත් පුළුවන්. මේවා බිව්වම විශේෂයෙන්ම පිත අඩු වෙනවා. ඒ වගේම පිපාසය අඩු කරනවා. ඇඟ සිසිල් කරනවා. සෙංගමාලය. පාණ්ඩුව ගැස්ට්‍රයිටිස්වලට හොඳයි යනුවෙන් ශානිකා නැවතත් කීය.

ඒ වගේම තමයි ආයුර්වේදයේ දැක්වෙන තුන් දොස්වලින් පිත නිසා ඇති වන රෝග 40 ක් ගැන කියවෙනවා. මේ රෝගයන් සමනයට වගේම පිත නිසා ඇති වන සියලුම තත්ත්වයන් මැඬ පැවැත්වීම සඳහා යොදනු ලබන ඖෂධ යෝග රාශියක් ආයුර්වේදයේ දක්නට ලැබෙනවා. ඒ යෝගයන් අතර සැවැන්දරා සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් “ යැයි ශානිකා සැවැන්දරා ගැන තවත් කරුණු රාශියක් ගෙනහැර දැක්විය .

එතකොට ශානිකා සැවැන්දරා ලංකාවේ විතරක් ද හැදෙන්නේ.” යනුවෙන් සුරනි විමසීය

නැහැ සුරනි. සැවැන්දරා ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවෙත් හැදෙනවා.

ඉන්දියාවේ දකුණු කොටසෙත් ..බෙංගාලය සහ රාජපුතානා. ආදි ප්‍රදේශවලත් සාර්ථකව වැවෙනවා. ඒ වගේම ලංකාවේ තෙත් කලාපයේ පහත් ප්‍රදේශවලත් එසේම උස් ප්‍රදේශවලත් වැවෙනවා. ඒ අතර බොහෝ සෙයින් වගා කිරීමත් කරනු ලබනවා. සැවැන්දරා කියන්නේ .ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට දේශීය පැළෑටියක් ලෙස හඳුන්වනු ලබනවා .

මෙය පඳුරු වශයෙන් පවතින තෘණ ශාකයක්.මේවායේ පත්‍ර මීටර් 1ක් හෝ ඊට වඩා උසට වැවෙනවා. මේ පත්‍ර තණකොළ වගේ සිහින් හා දිගයි.

ඒ වගේම මේවායේ දිගැටි ගැට සහිතයි මෙවායේ කඳ හා පස යට වැවෙන රසෝමයකින් යුක්තයි.

එසේම විශාල වශයෙන් අතු බෙදීල තියෙනවා. ඒ වගේම ඒවා සෘජු ව පිහිටනවා. එසේම සිහින් කටු සහිත පොතු වලින් යුක්තයි. ඒ වගේම අනෙකුත් තෘණ කුලයේ ශාක වල වගේ සැවැන්දරාවලත් මල් හටගනු ලබනවා. මේ මල් සෘජුව පිහිටන අතුවල පොකුරු ලෙස පිහිටනවා. ඒ වගේම සැවැන්දරා පඳුරුවල මුල්වල ඖෂධීය ගුණය ඉතා ඉහළයි. ඒ වගේම මේ මුල් මනා සුවඳකිනුත් යුක්තයි.

යනුවෙන් ශානිකා සැවැන්දරා ගැන හොඳ විස්තරයක් සුරනි වෙත දක්වා සිටියාය .

මම අහල තියෙනවා ශානිකා සැවැන්දරාවලට තවත් නම් කිහිපයක් ම තියෙනවා කියල. මොනවාද ඒ නම් කියන්න පුළුවන් ද “ යනුවෙන් සුරනි නැවතත් ඇසීය.

ඔව් සැවැන්දරා නාමයට අමතරව සුවඳහොට. සුවදොට වගේ නම් සිංහලෙන් යෙදෙනවා. සංස්කෘත භාෂාවෙන්

උශිර..නලද.. සෙව්‍ය...අමෘණාල. ජලවාස...වීරතර...වාරීතර.. සුගන්ධී...ලාමජ්ජක...ශිශිර. සමගන්ධික ආදි නම් රාශියක් යෙදෙනවා.

හිංදි භාෂාවෙන්

ගාණ්ඩරකීජර් යන නාමය යොදනු ලබනවා.

දෙමළ භාෂාවෙන්

වෙට්ටිවේර් ලෙස හදුන්වනවා. ඉංග්‍රීසි භාෂාවෙන්

Vetiveriya grass.....khus khus....khaskhas  යන නම් යෙදෙනවා. සැවැන්දරාවල උද්භිද විද්‍යාත්මක නාමය

Vetiveria zizaniodes (Linn) Nash  වන අතර කුලය වනුයේ GRAMINEAE  හෙවත් යව කුලයයි යනුවෙන් ශානිකා විස්තර කර දුන්නාය.

ඒ වගේම මේ සැවැන්දරාවල විවිධ රසායනික උපාදාන රාශියක් අඩංගුයි. මේ පැළෑටියේ වියලි මුල් වල ඖෂධීය ගුණ බහුලයි. විශේෂයෙන්ම මේවායේ වාෂ්පශීලී තෛල ( essential oil )සහ දුම්මල පදාර්ථයක් තියෙනවා. ඊට අමතරව වර්ණකාරක ද්‍රව්‍ය ..චූර්ණකර පදාර්ථ සහ ලෞහ ආදිය අන්තර්ගත වෙනවා “යනුවෙන් ශානිකා තවත් විස්තර ඉදිරිපත් කලේය

අපිට සැවැන්දරා ගැන අවබෝධයක් තියෙන්නේ ඒවායේ තියෙන විශේෂ සුවඳ නිසා .ඒ වුණාට ගුණයෙනුත් සැවැන්දරා ඉතා විශිෂ්ටයි නේ. අපි සැවැන්දරාවල ගුණ ගැනත් කතා කරමු නේද ශානිකා” යනුවෙන් සුරනි නැවතත් කීය.

ඔව් සුරනි සැවැන්දරා කියන්නේ අගනා ඔසුවක්. මේවායේ මුල් සහ සම්පූර්ණ පැළෑටියම ඖෂධ සදහා යොදා ගනු ලබනවා .

සැවැන්දරා

රසයෙන් තික්ත හා මධුර රසයි.

ගුණයෙන් රූක්ෂ හා ලඝු යි.

වීර්‍යයෙන් ශීතයි.

විපාකයෙන් කටුකයි

මේ තික්ත රසයත්..රූක්ෂ හා ලඝු ගුණත් නිසා සෙම සමනය වෙනවා .ශීත වීර්‍යය නිසා පිත සමනය වෙනවා .මේ නිසා සෙම් හා පිත් රෝග වලදි බොහෝ සෙයින් ප්‍රයෝග කරනු ලබනවා “ යනුවෙන් ශානිකා තවත් තොරතුරු ඉදිරිපත් කලේය

එතකොට ශානිකා සැවැන්දරා ඖෂධ සදහා යොදා ගන්නා ආකාරය ගැනත් පැහැදිලි කළොත් හොඳයි නේද “යනුවෙන් සුරනි පැවසූ විට ශානිකා කීවේ ඒ පිළිබඳ ව බොහෝ තොරතුරු ඇති බවයි.

ඔව් සුරනි සැවන්දරා අඩංගු ඖෂධ ප්‍රයෝග රාශියක් තියෙනවා “යනුවෙන් පැවසූ ශානිකා ඒවා විස්තර කරන්නට විය

මෙහිදී දැවිල්ල නසන සමේ රෝග නසන සහ ඩාදිය අඩුකරන ගුණ සැවැන්දරාවල තියෙන නිසා දැවිල්ල සමේ රෝග සහ අධික ලෙස දහඩිය ගැලීම ආදි තත්වයන්ට සැවැන්දරා මුල් අඹරා ආලේපයෙන් ගුණ ලැබෙනවා .ඒ වගේම මෙයින් දහඩිය ගඳත් නැතිවෙනවා “ යනුවෙන් ශානිකා ඖෂධ යෝග විස්තර කිරීමට පටන් ගත්තේය .

ඒ වගේම අභ්‍යන්තර වශයෙන් වැදගත් ඖෂධ යෝග රැසක් ම තියෙනවා.

පිත මූලිකව හටගත් මද .. මූර්චා.ආදී රෝග වලට යොදන්න පුළුවන් ..ඒ වගේම මොළයේ ක්‍රියා වැඩි කරන සහ ආක්ෂේප නිවාරණ ගුණයෙන් ද යුක්තයි..

එසේම මෙහි තික්ත රස ඇති නිසා දීපන සහ පාචන ගුණ ද ශීත නිසා පිපාසා සහ වමන නසන ගුණද ඇති බැවින් බඩගිනි අඩුකම. අජීර්ණ ..පිපාසා..වමන සහ අතීසාර අවස්ථාවන්හිදි බොහෝ සෙයින් ප්‍රයෝග කරනු ලබනවා. ඒ වගේම සංග්‍රහ ග්‍රහණියේදී බෙහෙවින් ගුණදායකයි.

ඒ වගේම තික්ත රස නිසා සෙම පිටකරන ගුණ සහිත බැවින් කාස ශ්වාස හික්කා ආදියේදී මෙය චූර්ණය ලෙස සහ ධූමය ලෙස යොදනු ලබනවා එසේම සිගරැට් ආකාරයට සකස් කර දුම් බීමෙන් හිසේ බර බව සහ හිසරදය නසනු ලබනවා .

එසේම ලේ පිරිසිදු කරන ගුණය සහ ලේ නතර කරන ගුණයද මෙහි පවතිනවා. ඒ වගේම හදවත් සමන හා බලකාරක ගුණයද සැවන්දරා වල තිබෙනවා. මෙනිසා හදවත් දුබලතා සහ අති කම්පනයේදී උපයෝගි කරගනු ලබනවා. මේ අතර රත්පිතේ දී ඉතා ප්‍රශස්තයි.

තවද හෘද කම්පන.. හෘද දුබලතා සහ මූර්චා සදහා

සැවැන්දරා තම්බා පානය සහ එහි සුවද ආඝ්‍රාණය අතිශයින් යෝග්‍යයි.

විශේෂයෙන් රත්පිතේ දී සැවැන්දරා සුදු හදුන් සමඟ සමව ගෙන සහල් සේදූ වතුරින් (තණ්ඩුලෝදක) අඹරා සීනි දමා බීමත් ඉතා ප්‍රශස්තයි.

ඒ වගේම සැවැන්දරා වල තියෙන තවත් විශේෂ ගුණයක් තමයි මූත්‍ර වඩන ගුණය. ඒ නිසා මූත්‍ර කෘච්ජ්‍ර රෝගයට විශිෂ්ට ගුණ ගෙන දෙනවා.” යනුවෙන් ශානිකා සැවැන්දරා වල ඖෂධීය වටිනාකම ගැන හොද විස්තරයක් ඉදිරිපත් කලේය.

ඒ වගේම සැවැන්දරා අඩංගු සංස්කාරික ඖෂධ යෝගයනුත් කිහිපයක් ම තියෙනවා .

ෂඩංග පානය

උශිරාදී ක්වාථය

උශිරාදි තෛලය

උශිරාසවය ඒඅතරින් ප්‍රධානයි.

එසේම සැවැන්දරා අඩංගු කෂාය වර්ගත් රැසක්ම තියෙනවා.

ඒ වගේම ඖෂධීය තෙල් වර්ග ..අරිෂ්ඨ .ආසව.කල්ක. චූර්ණ ආදිය සෑදීමේදී යොදනු ලබන කල්ක වලට බොහෝ සෙයින් සැවැන්දරා යොදනු ලබනවා යනුවෙන් සැවැන්දරා ගැන තවත් කරුණු ශානිකා විසින් සුරනි හට පෙන්වා දුන්නේය

එතකොට ශානිකා සැවැන්දරා වල ඖෂධීය වටිනාකම හැර වෙනත් ප්‍රයෝජනත් තියෙනවාද “ යනුවෙන් සුරනි නැවතත් ප්‍රශ්න කල විට ශානිකා කීවේ සැවැන්දරා වලින් තවත් ප්‍රයෝජන තිබෙන බවයි.

සමහර ගම් පළාත්වල අය ඇදුම් ආරක්ෂා වීමට සහ සුවදවත් වීමට සැවැන්දරා මුල් ඇදුම් සමඟ 5 ලබනවා. ඒ වගේම අඟල් අසල සෝදා පාළුව වැලැක්වීමට සැවැන්දරා පඳුරු පේළි වශයෙන් වවනු ලබනවා. එසේම බෙංගාලයේ නිවෙස්වල කොළරා ප්‍රතිශෝදකයක් ලෙස සැවැන්දරා මුල් එල්ලා තබනවා. මේ ආදි ප්‍රයෝජන රාශියක් සැවැන්දරාවල තියෙන නිසා සැවැන්දරා අප සියලු සියලු දෙනාටම ප්‍රයෝජන ගෙන දෙන අගනා ඔසුවක් යැයි ශානිකා නැවතත් ප්‍රකාශ කර සිටියාය.

ශානිකා ඔයාට ගොඩක් ස්තුතියි. සැවැන්දරා ගැන මමත් නොදන්න කරුණු රාශියක් තිබුණා. ඒ හින්දා ඇඟේ උෂ්ණය අඩුවෙන්න සැවන්දරා කොත්තමල්ලි ත් එක්ක තම්බලා නිතර බොමු යැයි සුරනි කීය. ඔව් ඒ අදහස ගොඩක් හොඳයි. මේ පායන කාලෙට සැවැන්දරා කොත්තමල්ලි තම්බල බිම හොඳ ඔසුවක් යනුවෙන් පැවසූ ශානිකා තම කතාව අවසන් කළේය.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.