නිරෝගී සුව ගෙනෙන තුනපහ ගුණාගුණ

පෙබරවාරි 9, 2024

එළවළු මාළු රස කරන  තුනපහවල ඖෂධීය ගුණ

දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙන්ම ආයුර්වේදයේ ඖෂධාලය හෙවත් ෆාමසිය ලෙස හඳුන්වන්නේ මුළුතැන්ගෙයයි. බටහිර වෛද්‍ය ක්‍රමයේ ප්‍රථමාධාර ලෙස හඳුන්වන වෛද්‍යවරයකු හෝ රෝහලක් වෙත රෝගියා ගෙන යන තුරු දිවි බේරා ගැනීමට යොදන ක්‍රම දේශීය වශයෙන් හඳුන්වන්නේ අත් බෙහෙත් යනුවෙනි. රොබට් නොක්ස් එදා හෙළ දිව කෘතියේ ලංකාවේ සියලු ජනයා, විශේෂයෙන් කාන්තාවන් වෛද්‍යවරුන් යනුවෙන් හැඳින්වූයේ යම් ලෙඩකට දුකකට අත්බෙහෙතක් කිරීමට ඔවුන් සතුව තිබූ දැනුම නිසාය. ඒ අත්බෙහෙත්වලට යොදා ගත් ඖෂධ අතර තුනපහ නැතහොත් කුළුබඩුවලට හිමි වන්නේ සුවිශේෂ තැනකි. එවන් ඖෂධීය ගුණ රැගත් තුනපහ ඇතුළු තවත් ද්‍රව්‍ය රැසක් අපගේ ආහාරවල

රස සුවඳ මෙන්ම ගුණ වැඩීමට හේතු වෙයි.

තුනපහ යන වචනය පිළිබඳ මත දෙකක් පවතී

1. ග්‍රාමීයව තුන පහ යන්නෙන් අර්ථවත් වන්නේ කුළුබඩු වර්ග කීපයකි.

එයින් තුන යන්නෙන් හඳුන්වන්නේ රෝග දුරු කිරීමට යොදාගන්නා ප්‍රධාන ඇටවර්ගවලින් යුතු දුරු වර්ගයි. සූදුරු, මහදුරු සහ කොත්තමල්ලි යන වර්ග,

තුන් වර්ගයට අයත් අතර ව්‍යංජන රසවත් කිරීමට වඩා ඖෂධ ලෙස

වැඩියෙන් භාවිත කෙරෙන කළුදුරු ද මේ ගණයට අයත් වේ.

පහ යන්නෙන් සියලු රෝග පහ කිරීම අර්ථවත් කෙරෙන අතර ආහාරයේ සුවඳ වඩවන ප්‍රධාන කුළුබඩු වර්ග පහක් මෙයට අයත් වේ. කුරුඳු, එනසාල්, කහ, කරදමුංගු, කරපිංචා මේ කුළුබඩු වර්ග පහය.

2. දේශීය හා ආයුර්වේද වෛද්‍යවිද්‍යාත්මකව මෙන්ම පෝෂණවේදීන්ගේ බෙදීම් අනුව තුනපහ ලෙස නම් කෙරෙන්නේ පහත ද්‍රව්‍යයන්ය.

තුන - ලුණු, මිරිස්, ඇඹුල්

පහ - සූදුරු, මහදුරු, කොත්තමල්ලි, කහ, උළුහාල්

මේ තුන් වර්ගයේදී මිරිස් රස සඳහා බොහෝ විට අතීතයේ සිට භාවිත කළේ ඖෂධීය ගුණ පිරි ගම්මිරිස් වුවද මේ වන විට කරල් මිරිස් හෙවත් වියළි මිරිස් ආහාරයේ දැවිල්ල ගතිය ඇති කිරීම සඳහා යොදා ගැනේ.

ඇඹුල් වර්ග ලෙස ගොරකා, සියඹලා සහ දෙහි යොදා ගැනෙන අතර

ස්වාභාවික පොල් විනාකිරිද ඇඹුල් ගණයට ගැනේ.

මේ තුනපහ අතුරින් තුනේ වර්ගයට ගැනෙන ලුණු, මිරිස් සහ ඇඹුල් වෙන වෙනම රස අනුව යෙදූව ද පහේ වර්ගයට අයත් ද්‍රව්‍ය සම ප්‍රමාණවලින් ගෙන අඹරා හෝ කොටාගෙන ඒ මිශ්‍රණයෙන් කොටසක් ව්‍යංජන සඳහා යොදනු ලැබේ.

මීට අමතරව අබ, උළුහාල්, කරාබු නැටි, ඉඟුරු, රම්පේ, සේර, සාදික්කා, වසාවාසි, පෙරුම්කායම්, කංසා, සුදු ළූනු, රතු ළූනු, කොත්තමල්ලි කොළ, මිංචි කොළ, අබකොළ, මුරුංගා කොළ, සැල්දිරි, සීනි, මීපැණි ආහාර රසවත්, සුවඳවත් සහ ගුණදායක කිරීම සඳහා යොදා ගැනීම පෙරදිග රටවල පුරුද්දයි.

(ඉහත න්‍යායාත්මක බෙදීම්වලට අමතරව ඇතැම් විට විවිධ අය ප්‍රාෙයා්ගික භාවිතයේදී මේ සංයෝග වෙනස් කරගන්නා අතර එහි කිසිදු වරදක් දැකිය නොහැකිය)

තුනපහ සකසා ගන්නා ක්‍රම

අමු තුනපහ

කොත්තමල්ලි ග්රෑම් 300

සූදුරු ග්රෑම් 100

මාදුරු තේ හැදි 1 හෙවත් ග්රෑම් 5

රම්පේ අඟල් 4ක පමණ කැබැල්ලක්

සේර අඟල් 4ක පමණ කැබැල්ලක්

කුරුඳු අඟල් 4ක පමණ කැබැල්ලක්

වියළි කහ අඟල් කාලක පමණ කැබැල්ලක්

කරදමුංගු කරල් 5ක්

කරාබු නැටි 10ක්

හාල් තේ හැඳි 6ක්

කරපිංචා ඉති 3ක්

මේ සියල්ල වෙන වෙනම ගෙන පවනේ වේළා හෝ තෙත ඉවත් වන තුරු යන්තම් ළිපේ රත් කර කොටාගැනීමෙන් / අඹරා ගැනීමෙන් නියමාකාරයෙන් අමු තුනපහ කුඩු සකස් කරගත හැකිය.

බැදපු තුනපහ

වියළි කහ හැර අනෙක් සියල්ල ඉහත ප්‍රමාණවලින්ම ගත යුතු අතර රම්පේ කැබැල්ල අමු තුනපහවලට වඩා තරමක් ලොකුවට (අඟල් 5ක පමණ) ද මාදුරු ග්රෑම් 10ක් ලෙස ද ගෙන ඒ සියල්ල කර නොකරගෙන රන්වන් පාටට වඩා දුඹුරු වන සේ වෙන වෙනම බැද ගත යුතුය. නිවුණු පසු එකට යොදා කොටා ගැනීමෙන් බැදපු තුනපහ සාදාගත හැකිය.

(මෙහිදී ග්රෑම් වෙනුවට තේ හැඳි හෝ මේස හැඳි භාවිත කරන්නේ නම් තේ හැන්දක් යනු මිලි ලීටර් නැතහොත් මිලි ග්රෑම් 5ක් ලෙස ද මේස හැන්දක් යනු මිලි ලීටර් හෝ මිලි ග්රෑම් 15ක් ලෙස ද ගණනය කරගත යුතුය.)

අමුතුනපහ සහ බැදපු තුනපහවලට අමතරව මස් සහ මාළු සඳහා තුනපහ සකසන විට සූදුරු මහදුරු කොත්තමල්ලි ග්රෑම් 50 බැගින් ද, උළුහාල්, අබ ග්රෑම් 10ක් බැගින්, කරදමුංගු, කරාබු නැටි 10 බැගින්, කුරුඳු අඟල් 2ක පමණ කැබැල්ලක්, සේර අඟල් 3ක පමණ කැබැල්ලක්, කරපිංචා ඉති 4ක්, කහ අඟල් භාගයක පමණ කැබැල්ලක්, හාල් මේස හැන්දක් සමඟ මිරිස් කරල් ග්රෑම් 80ක් යොදා ගැනීම විශේෂ වේ. ඒවා වෙන වෙනම රන්වන් පාට වනතුරු බැදගෙන එකට කුඩුකර ගත යුතුය.

ග්‍රාමීය වර්ගීකරණය අනුව

සූදුරු, මහදුරු සහ කොත්තමල්ලි (අවශ්‍ය නම් කළුදුරු ද යොදාගත හැකිය)

එකතු කිරීමෙන් ලැබෙන ඖෂධීය ගුණ

කෑම රුචිය වඩවයි. ආහාර දිරවීම පහසු කරයි. මළ බද්ධය නැති කරයි. අජීර්ණය, බඩ පිපුම, බඩේ කැක්කුම්, පණු අමාරු සමනය කරයි.

මවු කිරි වඩවයි. ලේ පිරිසුදු කරයි. හෘද රෝගවලට (කළුදුරු) ඉතා ගුණයි.

මිනිසාගේ උපතේ සිට මරණය දක්වා ශරීරයේ ඇතිවන සියලු රෝග දෝෂ නසාලීමට හැකියාව ඇති ඖෂධීය ගුණයෙන් යුතුය.

එසේම ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතු බැවින් දුරුවර්ග ප්‍රතිශක්තීකරණය වැඩීමට හේතු වේ.

සූදුරු

කබලේ බැද කුඩුකර කෝපි මෙන් බීමෙන්

අජීර්ණය, අතීසාරය, ග්‍රහණි රෝග සමනය වේ.

(මෙය කිහිප වරක් පානය කිරීමෙන් මළ පිට කිරීමේ අපහසුතාවක් ඇති විය හැකි බැවින් බොහෝ විට වැඩිහිටියන් සඳහා නවරත්න කල්කයෙන් තිබ්බටු ගෙඩියක පමණ ප්‍රමාණයක් මිශ්‍ර කර දීමට කටයුතු කරයි. වයස අවුරුදු 5-12 පමණ දක්වා දරුවන්ට ඉන් භාගයක් පමණ ද, අවුරුද්දක් පමණ වන දරුවන්ට කොත්තමල්ලි ඇට දෙකක් පමණ ද වන ලෙස නවරත්න කල්කය එක් කළ යුතුය)

ලේ යන අර්ශස්වලදී කොහිල අල, ගොටුකොළ දඬු, රතු ළූනු, සූදුරු කොටා පොට්ටනි සදා වණ්ඩුවේ තම්බා මිරිකා එන ඉස්ම මී පැණි සමඟ හිස්බඩ දීමෙන් ගුණ ලැබේ. සූදුරුවලට විරේකවලදී වන බඩ කැක්කුම සමනය කිරීමේ හැකියාව ඇත.

කොත්තමල්ලි

අලුත උපන් බිලිඳුන්ට මවුකිරි දීමට නොහැකි වන හේතු මතු වූ විට ඊට ප්‍රධානම ආදේශකය ලෙස දේශිය වෙදකමේ හඳුන්වන්නේ කොත්තමල්ලි වතුරය.

කුඩා දරුවන්ට රත කල්කය ලබා දෙන්නේද මවුකිරි හෝ

කොත්තමල්ලි වතුරේ දිය කිරීමෙනි.

කොත්තමල්ලිවල ප්‍රෝටීන, විටමින්, මේදය අඩංගු වේ.

පිපාසය අඩු කරයි. ඩාදිය පිට කරන නිසා උණ රෝගීන්ට ගුණයි. වෙළෙඳපොළෙන් ගන්නා කොත්තමල්ලි පමණක් තම්බා පානය කිරීම සෙම වැඩීමට හේතු වන අතර එය බැද කුඩු කර කෝපි මෙන් බීමෙන් සෙම සමනය වේ.

කෑම රුචිය වඩවයි. මූත්‍ර පිට කිරීමට හේතු වෙයි.

පණු අමාරු නැසීමට හොඳයි.

කොත්තමල්ලි කොළ සම්බෝලය - කැස්ස, හතිය අඩු කරයි.

කොත්තමල්ලි ඇල්දියෙන් අඹරා පිටතින් ගෑම මඟින් ඉදිමුම් වේදනා සමනය කරයි.

බඩගිනි නැති විට කොත්තමල්ලි ඇට කබලේ බැද කුඩුකර හෝ අග්ගලාවලට මිශ්‍රකර දීමෙන් බඩගිනි වැඩේ.

කුඩා දරුවන්ට ආහාර රුචිය වැඩීමට කොත්තමල්ලි කබලේ බැද කුඩුකර කිතුල් හකුරු සමඟ කොටා අළුවා සකසා දීම සුදුසුය.

බඩ එළිය යෑම අධික වූ විට හා එයින් විජලනය වීමෙන් ඇති වන පිපාසයට කබලේ බදින ලද කොත්තමල්ලි තැම්බූ වතුර බීම සුදුසුය.

බඩ පපුව දැවිල්ලට (ගැස්ට්‍රයිටීස්) සඳහා කොත්තමල්ලි මඳක් තලා කළයේ සීතල වතුරට දමා රැයක් තබා පෙරාගෙන එයට සීනි දමා බීම සුදුසුය.

කල් ගත වූ තුවාල සේදීමට කොත්තමල්ලි ඇල්වතුරෙන් අඹරා බැඳීම සුදුසුය.

මහදුරු

අධික පිපාසය සමනය කිරීමට මහදුරු යන්තම් තලා මැටි කළයේ සීතල වතුරට දමා පෙරා සීනි තේ හැඳි භාගයක් පමණ එක් කොට පානය කිරීමට දිය යුතුය.

මාදුරු කොළ සම්බෝලය ගොටුකොළ සම්බෝලය මෙන් සකසා ගැනීමෙන් ආහාර රුචිය වැඩේ. වමනය, අජීර්ණය සමනයට සුදුසුයි.

මවුකිරි වඩවන නිසා කිරිදෙන මවුවරුන්ට ගුණයි.

කළුදුරු

සූදුරු සහ මහදුරුවල ගුණවලට අමතරව ලේ කැටි දිය කිරීමේ ගුණය ඇත. කළුදුරු ඇටවලින් ගන්නා තෙල් හෘද රෝග සඳහා විශේෂයෙන් ගුණදායකය.

දුරු වර්ගවලින් වැඩිපුරම ඖෂධ සඳහා යොදා ගන්නේ කළුදුරුය.

කරදමුංගු / එනසාල්

කරදමුංගු කුළුබඩුවල රැජන ලෙස සලකයි. ප්‍රබල ලෙස සුවඳ ඇති කරයි. උත්තේජක ගුණයෙන් යුක්තයි. වාත නාශක ඖෂධයකි. ආමාශ රෝගවලට සුදුසුයි. මූත්‍ර අඩු වන විට එය ප්‍රමාණවත් කරදෙයි.

එනසාල් යනු කරදමුංගුවල වේ ඇටයි - මේවා ආහාර සුවඳකාරක ලෙස යොදයි. රසකාරක මෙන්ම ඖෂධීය ගුණයෙන් යුක්තයි. හෘදය වස්තුවට ගුණදායකයි. මූත්‍ර අඩස්සිය, කැස්ස, ක්ෂය රෝගය, අර්ශස් සඳහා ගුණදායකයි. වමනය සමනය කරයි. පිත් රෝගීන්ට ගුණයි.

කහ

විෂ නාශක ගුණයෙන් යුක්තයි. සුවඳ රස ගුණ මෙන්ම

ආහාරයේ වර්ණය ඇති කිරීමට හැකියාව පවතී.

ගර්භාෂ ශෝධක ගුණය ඇත. ගර්භාෂ බිත්ති ඝන වීම පාලනයට සුදුසුයි. දියවැඩියාව වැනි ප්‍රමේහ රෝග පාලනයට සුදුසුයි.

ආහාරවලට යෙදීමෙන් රුචිය වඩවයි.

ඇදුම, පීනස, කුෂ්ඨ රෝග, වන, තුවාල, ඉදිමුම්වලට ගුණ දෙයි.

සමට යහපත් නිසා සම පැහැපත් කර ඡවි කල්‍යාණය වඩවයි.

කුරුඳු

පිත වඩවයි. වාතය සහ සෙම නසයි. ශරීරයේ උෂ්ණය ඇති කරයි. බඩගින්න ඇති කරයි. සිරුරේ වාතය නිසි අයුරින් යාමනය කරයි. අක්මාව, හෘදය, උත්තේජනය කරන බැවින් ඒ ඉන්ද්‍රියයන් ආශ්‍රිත රෝගවලට ගුණයි. වකුගඩු ක්‍රියාකාරීත්වය යහපත් කරවයි. මූත්‍ර ඇති කරයි.

ලිංගික ශක්තිය වඩවයි. ස්නායු දුබලතා, පක්ෂාගාත රෝග, කැස්ස, ඇදුම,

බඩ පිපුමට, අතීසාරයට ගුණයි.

කරපිංචා

නැතිවම බැරි ආහාර රසකාරකයකි.

සර්ප විෂ ඇතුළු ශරීරගත සියලු විෂ, ලේවල විෂ අවම කරයි. සර්ප දෂ්ඨනයකදී කරපිංචා පන්චාංගය කොටා තුවාලයට තැබීමෙන් විෂ ඇදීමට යොදයි. ශරීරගතවන ඕනෑම විෂකට කරපිංචා කිරිකැඳ ගුණදායකයි. අජීර්ණය, අරුචිය, බඩගිනි අඩුකම, බඩේ කැක්කුම, බඩ පුරවා දැමීම සඳහා ගුණයි.

කරපිංචා කොළ ඇල්වතුරෙන් අඹරා ගෑමෙන් උකුණන් වඳ වී යන අතර ඉස්හොරි අඩු වේ. කරපිංචා දල්ල සමඟ වේළා කුඩුකර තේ හැන්දක් එළඟි තෙල්වලින් අනා හිස්බඩ කෑමෙන් කෙස් වර්ධනය වේ.

අකලට හිසකෙස් වැටීම, කෙස් සුදුවීම අඩුවේ.

මේදය අඩු කරයි. කොලෙස්ටරෝල් පාලනය කරයි. හදවතට ගුණයි. ස්නායු දුබලතා, අර්ශස්, හිසරදය සමනය කරයි.

කරපිංචා මිටක්, සුදුළූනු බික් 5ක්, ගොරකා බිකක්, ගම්මිරිස් ඇට 4-5ක්, අඹරා දෙහි ඇඹුල් බින්දු දෙකතුනක් දමා තේහැඳි 2 බැගින් දවල් වේලක් සමඟ ගැනීමෙන් කොලෙස්ටරෝල් අඩු වේ. ධමනි පවිත්‍ර කරයි.

ලුණු

ශරීරයේ ජලීය පදාර්ථ හෙවත් තරලමය ගතිය වැඩි කරයි. ආහාර පාන රසවත් කරයි. අවශ්‍ය ප්‍රමාණයට පමණක් ගත යුතුයි. වැඩිපුර ලුණු ගැනීමෙන් ශරීරයේ දියර ප්‍රමාණය වැඩි කර ලේවල පරිමාව වැඩි කරයි. එවිට අධි රුධිර පීඩනය ඇති වේ. එය හෘදයාබාධ, පක්ෂාඝාතය ඇති වීමට හේතු වේ. වැඩි ලුණු හෘදය වස්තුවේ වම් කෝෂිකාවේ මාංශ පේශිවල අසාමාන්‍ය වර්ධනයක් ඇති කිරීමට හේතු වන බැවින් හෘදයාබාධවලට ගොදුරු වීම සහ හෘදය අකර්මණ්‍ය වීම සිදුවිය හැකිය.

 

ලුණු අඩුවීම නිසා ලේවල ඝනකම වැඩි වේ. රුධිර පීඩනය වැඩිවේ. ලේ කැටි ඇති විය හැකිය. ශරීරයේ දියර ස්වභාවය අඩු වීමෙන් කෙණ්ඩ පෙරළීම වැනි මස්පිඩු පෙරළීම් ඇති විය හැකිය.

මිරිස් කරල් /කුඩු

ශරීරයේ උෂ්ණ ගතිය වැඩි කරයි. පිත වැඩි කරයි. සෙම වාතය අඩු කරයි. ආයුර්වේදයට අනුව දාහය හෝ දැවිල්ල ඇති කරන ද්‍රව්‍ය අතරින් ප්‍රධානම ද්‍රව්‍යයකි. මිරිස් වැඩිපුර ගැනීම නින්ද ඇති කරයි. බඩගිනි ඇති කරයි.

ශරීර දැවිල්ල ඇති කරයි. හෘදය උත්තේජනය කරයි. මූත්‍ර වර්ධනය කරයි,

ලිංගික ශක්තිය ප්‍රබල කරයි. හිසේ ආබාධ, ආම වාත, කටීවාත හෙවත්

කොන්ද කැක්කුමට, ඩාදිය වැඩීමට හොඳයි.

 

ගම්මිරිස්

කටුක රසය ඇත, උෂ්ණාධිකයි, සෙම වාතය අඩු කරයි, පිත වැඩි කරයි. බඩගින්න වඩයි. පණුරෝගවලට හොඳයි. උගුරේ වේදනාවන් ඇති විය හැකිය. නස්නාරං, ජපන් දෙහි හෝ ඇඹුල් දොඩම් යුෂ වැනි දෑ ගම්මිරිස් සමඟ දීමෙන් උගුරේ, මුඛයේ, දිවේ සෙම කැපී යයි. මූත්‍රාශය උත්තේජනය වේ. ගම්මිරිස්, උළුහාල්, සුදු ළූණු තම්බා බීමෙන් කොන්දේ කැක්කුම්, බඩ පිපුම, ඇඟ රිදුම වැනි වාත ආබාධ සුව වේ.

 

ඇඹුල්

1. සියඹලා - වාත සමනය කරයි. ආහාර රුචිය වඩවයි. අජීර්ණයට සහ මළබද්ධයට හොඳයි. අර්ශස්වලට ගුණයි. රුධිර නාළ, හෘදය ආදිය පිරිසුදු කරයි. කොලෙස්ටරෝල් අඩු කරයි. හමේ රෝගවලට ගුණදායකයි.

තැම්බුම් හොද්දේ ප්‍රධාන ද්‍රව්‍යයකි.

2. දෙහි- සෙම වාතය සමනය කරයි. ආහාර රුචිය වැඩි කරයි. ජීර්ණය හොඳින් සිදු කරයි. විටමින් සී ඇති නිසා දත්, විදුරු මස් ශකිත්මත් කරයි. ආමාශයේ ඇතිවන අහිතකර බැක්ටීරියා විනාශ කරයි. (දෙහි ඇඹුල් මේස හැන්දයි,

මී පැණි මේස හැන්දයි මිශ්‍ර කර කෑමෙන් තරබාරු බව අඩු කරයි.

පිළිකා සෛල නසයි.

3. ගොරකා - මාළු ඇඹුල්තියල් වැනි කල්තබා ගැනීමේ ක්‍රම සඳහා යෝග්‍යයි. රසකාරකයක් ලෙස සුදුසුයි. ආහාර රුචිය අඩු කරයි. දිරවීම ඉක්මන් කරයි.

මළ බද්ධය, බඩ පුරවා දැමීම සමනය කරයි. සෙම අඩු කරයි. මේදය තැන්පත් වීම අඩු කරන අතර දහනය ඉක්මන් කරයි. එනිසා ලේවල අධික කොලෙස්ටරෝල් අඩු කර හෘද රෝගවලින් මිදීමට අවස්ථාව සලසයි. ශරීරයේ බර අඩු කරයි.

වණ තුවාල වැනි දේ සේදීමට, කටේ තුවාලවලට

ගොරකා තැම්බූ වතුර භාවිත කරයි.

තැල්මට බඳින ප්‍රධාන ඖෂධයකි.

 

උළුහාල්

කඨී වාතය හෙවත් කොන්දේ රුදාවට හොඳ බෙහෙතකි. බඩගින්න වැඩි කරයි.

වා, පිත්, සෙම් තුන්දොස් පැසවීමට හෙවත් මර්දනයට උපකාර කරයි.

ආහාර රුචිය වඩවයි. අධිකව ගැනීමෙන් රත් පිත් කෝප කරවයි.

ලිංගික ශක්තිය වැඩි කිරීමේ බලය ඇත. ආමාවාතයට ගුණයි.

වැදූගේ සන්නිය වැනි සූතිකා රෝගවලට ගුණදායකයි.

 

අබ

බඩගින්න වඩවයි. වාත රෝගවලට හොඳයි. පණු රෝගවලට ගුණයි. උෂ්ණ නිසා වැඩිපුර ගැනීම පිත්රෝගවලට හේතුයි. වාතරක්ත, රත්පිත් රෝග ඇති කරයි.

කුෂ්ට රෝගවලට අගුණයි. හෘද උත්තේජනය ඇති කරයි.

ආහාර රසවත් කරයි. සැලකිල්ලෙන් භාවිත කළ යුතුයි.

අබතෙල් -අච්චාරු, කොස් මැල්ලුම් ආදියට යොදා ගනී. බඩගින්න හා ආහාර රුචිය වඩවයි. තනිකර අබතෙල් හිසේ කැක්කුමට, කනේ කැක්කුමට, කැසීම්, කුෂ්ඨරෝග, පණුකැවිලි, වාතරෝග සඳහා බාහිර අලේපයට ගන්නා විශිෂ්ට ඖෂධයකි.

දත් කැක්කුමේදී අදාළ දතට තැබීමෙන් කැක්කුම සමනය වේ.

මූත්‍ර ආබාධ, වකුගඩු රෝග ඇති අයට අගුණයි.

එළ අබ - වැඩි වශයෙන් ඖෂධ සඳහා යොදා ගනී

අබ කොළ මැල්ලුම - ආහාර රුචියට, ලේ පිරිසුදු කිරීමට,

කාටිලේජ වර්ධනයට යෝග්‍යයි.

ආහාරයක ප්‍රභාව

ආයුර්වේදයේ ඕනෑම ආහාරයක රස, ගුණ, වීර්ය, විපාක සහ ප්‍රභාව යනුවෙන් ස්වභාව පහක් ගැන හඳුන්වයි. එක් එක් ආහාරයට ඇත්තේ වෙනස් වූ ස්වභාවයන්ය. ඒවා වෙන වෙනම සකසා ගැනීමේදී එන රස ගුණ සුවඳ ආදියට වඩා මිශ්‍ර කර පිස ගැනීමෙන් එන විශේෂිත ස්වභාවය ප්‍රභාව නමින් හඳුන්වයි. එය බටහිර විද්‍යාවේ එනර්ජි හෙවත් ශක්තිය යන්නට ඔබ්බෙන් වූ ගුණයකි. නිදසුනක් ලෙස පොළොස් ඇඹුලක් පිසීමේදී සියලු තුනපහ වර්ග සහ පොල්කිරි යොදා මඳ ගින්නේ හින්දා ගත් විට එන

ව්‍යංජනයේ ස්වභාවය දැක්විය හැකිය.

එබැවින් තුනපහ සහ අනෙකුත් කුළුබඩු වර්ග මිශ්‍ර කර පිසගන්නා ව්‍යංජනයක ප්‍රභාව තුනපහ ආදිය නොයොදන ආහාරයකට වඩා වෙනස්ය.

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය,
වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.