වෙළෙඳාම දියුණු කරගන්නේ කොහොමද?

දෙසැම්බර් 15, 2023

උපත ලබා සිටින සෑම කෙනෙකුට සෑම මොහොතකම මුදල් අවශ්‍ය වේ. අද මුදල් නැතිව එක තත්පරයක් වත් ජීවත්වීමට නොහැකිය. කුඩා දරුවෙකු හැර තරුණ වියට පා තබත්ම රැකියාවක නිරතවීම හෝ වෙළඳ ව්‍යාපාරයක යෙදීම අනිවාර්ය වන්නේය.

අතමිට සරුසාර නම් ඕනෑතරම් නෑ හිතවතුන්ගෙන් අඩුවක් නැත. කජු පුහුලන් වාරෙට වවුලන් එන්නාසේය.

යාන්තම් අතපය වෙහෙසා වැඩ කරන එදිනෙදා මිල මුදල් සෙවීමත් රැකියාවක් කර මාසය අන්තිමේ පඩියක් ලැබීමත් එසේ නැත්නම් වෙළඳාමක් ව්‍යාපාරයක් අරඹා අතට මුදල් ලබා ගැනීම අද වන විට විද්‍යුත් දුරකතන මාර්ගයන් හරහා විවිධ අන්දමට මිල මුදල් සෙවීමට මිනිසා දියුණු තත්ත්වයකට පා තබා තිබේ.

මෙහි මුඛ්‍යමය පරමාර්ථය වන්නේ අතට සල්ලි ලැබෙන මාර්ග පාදා ගැනීයි. බොහෝ අය තම කේන්ද්‍රය පරික්ෂා කරවා බලන්නේ අත මිට සරු සාරවේවි ද එය වන්නේ කවර දිනයක ද යන්නයි. විශේෂයෙන්ම ලොතරැයි දිනුම් ජයග්‍රහණ ගැන සිහින මවන අතර, එය ලැබෙන කාලය ගැනද විමසීම් කරනු ලැබේ. එදා ශත 50 අරඹන ලද ආරෝග්‍යශාලා ලොතරැයි (පත) අද වන විට රුපියල්වලට පරිවර්තනය වී ඇත. ලොතරැයිපත් ලැබුණ එකී සම්පත්ධාරීන්ගේ කේන්ද්‍ර ගැඹුරින් පරීක්ෂා කිරීමේදී එවැනි මිල මුදලක් අතට පත්වන බව නම් සනිටුහන් නොවී තිබුණ බව පැහැදිලිය. සමහර ලොතරැයි දිනුම්ලාභීන්ගේ කේන්ද්‍රවල ධන ලාභ ලැබීමට යෝග පිහිටා ඇති බැව්ද පරීක්ෂා කරන විට පැහැදිලි විය. මේ කාරණාව කෙසේ වෙතත් හදිසි ධනය ලැබෙන ආකාරය ගැන ග්‍රහ යෝග පිහිටි ආකාරය ගැන පිරික්සා බලමු.

ගුරු හංස යෝගය

මාලවී යෝගය, සස යෝගය, සිංහාසන යෝගය, රුචක යෝගය, භද්‍ර යෝගය, ගජකේෂරී වැනි යෝග සිය ගණනක් ඡ්‍යොතිෂයේ දක්වා ඇත්තේය. මේ වන විට විශාල පිරිසක් අසන එක්තරා ප්‍රශ්නයක් වනුයේ වෙළඳාම් ව්‍යාපාර අරඹන විටදී ඉතාම සුබ මිල මුදල් අතට එන පාඩුනොවී ක්‍රමයෙන් විශාල ලෙස ව්‍යාපාරයක් දියුණු වන අන්දමේ නැකත් නොමැතිද යන්න ගැනයි.

ව්‍යාපාර අරඹා එය විශාල ලෙස අනාගතයේ දියුණුවීම අදාළ ඉතාම සුබ ප්‍රශස්ත නැකත් සෑදිය යුත්තේ තමාගේ කේන්ද්‍රය මැනවින් විග්‍රහකර බලා දශා අනු දශා තොරතුරු සොයාගෙන විශේෂයෙන්ම 1,2,11,8 සහ 9 වැන්න ගැනත් ගැඹුරින් නිරීක්ෂණය කර ඉතාම සුබ අනාගතයේ මූල්‍යමය සම්පත් ලැබෙන ආකාරයට ප්‍රශස්ත නැකතක් යොදා ගැනීමයි.

නැකත් ලෙස මුල, සියාවස, දෙට, උත්‍රපල්, උත්‍රසල, උත්‍රපුටුප, රෙහෙන, හත, පුනාවස, පුෂ, අස්විද, පුවපල් වලින්ද අද, විසා, මා , රේවතී, මුවසිරි නැකත්වලින්ද යෝග 7කින් එක් ශුභ යෝගයක් පුද්ගලයාට ලැබේ. බදාදා, සඳුදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා යන දිනවලින් පැමිණ සිටි කාලයට අනිෂ්ඨ වූ (රික්තා, ජලවක, නවවක, තුදුස්වක) දුරුකර ඉතාම සුබ තිථියක් ගෙන මීන, සිංහ, වෘශ්චික,

වෘෂභ, තුලා, කන්‍යා ලග්න යොදා ගනිමින් ශුභ හෝරා අංශකද යෙදීම හරහා ඉතාම සුබ මුහුර්තියක් සිත් ලෙස යෙදුනහොත් (වෙළඳාමෙහි වාණිජමය) මනාව උසස් ලෙස භාණ්ඩ අලෙවි වේ. විකිණේ, ලාභ ලැබී අනාගත විශාල දියුණුවක් ලැබේ. කෝටි ප්‍රකෝටි ධනයක් අතට ලැබෙන බැව් ඡ්‍යොතිෂයේ දක්වා තිබේ.

කේන්ද්‍රයක ඉතාම ගැඹුරින් බලා පුද්ගලයාට ධන සම්පත් ලැබීමේ වාසනාව තිබේද එනම් කෙදිනකද මොන අන්දමටද ආදී විවිධ තොරතුරු දැන ගැනීමට උත්සාහ කළ යුතු වේ.

කේන්ද්‍රයේ ලග්නය 5 - 9 - 2 -11 වැනි ස්ථාන ගැන බැලිය යුතුවේ. කොතෙක් උත්සාහ කළත් පෙර කරන ලද පුණ්‍යකර්ම බලවේගය අඩුවී ඇත්නම් මෙලොව ධන සම්පත් ලැබීම් ද අඩුවේ.

කොතරම් ධනය ඇතත් වෙන පැත්තකින් වැටෙනු ඇත. ශරීරයේ බෙල්ල, උරහිස, පපුව, උදරය, කළවා , දණහිස් සහ වළලුකර යන ස්ථානයන්ට ආධාරක තහඩුවේ තිබෙන අයෙකු හමුවිය. ඔහු සතු කෝටි ප්‍රකෝටි ධන සම්පත් හිමිය. මුළු රාත්‍රි කාලය පුරාම නිදි නැතිව වේදනාවෙන් සිටී. කේන්ද්‍රයේ උත්පත්ති ග්‍රහ හැසිරීම එයට මනාව පාදක වේ.

තමා සතුව ඇති දේපළ ඉඩකඩම්වලින් තමාට සැප සම්පත් විඳීමට නොලැබී ඇති අතර ඒවායේ ඵලය වෙනත් අය ලබයි. මේ කේන්ද්‍ර හිමි අය දකින විට ඕනෑම කෙනෙකුට මහා වේදනාවක් දැනෙනු ඇත. මෙවන් කායික හා මානසික පීඩාවන්ට ගොදුරු වූ අයගේ ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමෙන් අප ඉපිද කුමක්ද මේ කරන්නේ. ‘කුමන නැටුම් කෙළිකවට සිනාවන්’ ලෝවැඩ සඟරාවේ කවිය මතක් වේ.

ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු ටී.හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.