දේශීය වෛද්‍ය ක්‍රමය

ජනවාරි 6, 2023

සෑම රටකම එරටට ආවේණික සුවිශේෂ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ඇත. ඒ සඳහා බොහෝ විට භාවිත කරන්නේ සිය පරිසරයේ වැවෙන ගහකොළ පැළෑටි සහ වෙනත් ඛනිජ ද්‍රව්‍ය ආශි‍්‍රතව සකස් කර ගන්නා ඖෂධයි. එය ආයුර්වේදයේ “දේශ සාත්ම්‍ය” යනුවෙන් හඳුන්වා ඇත.

ශ්‍රී ලාංකිකයන් වූ අප හට සෑම අංශයකින්ම පරිපූර්ණ වූ දේශීය වෛද්‍ය ක්‍රමයක් ඇත. කැඩුම් බිඳුම් වෙදකම පිලිස්සුම් වෙදකම සර්ප විෂ වෙදකම, ගෙඩි වණ, පිළිකා වෙදකම ග්‍රහණි, මාන්දම් වෙදකම ජල භීතිකා ( පිස්සු බලු වෙදකම) මානසික රෝග වෙදකම අතීසාර වෙදකම ආදී වශයෙන් විවිධ චිකිත්සා ක්‍රම අතීතයේ සිට අද දක්වා ප්‍රචලිතව පවතී. මෙම වෙද පරම්පරාවලින් පැවත එන දක්ෂ දේශීය වෛද්‍යවරුන් අදත් අප රටෙහි නිහඬ සේවාවක යෙදෙයි.

 

 

රෝග ප්‍රතිකාරයට වඩා රෝග වළක්වාලීම කෙරෙහි වැඩි අවධානයක් දැක්වීම දේශීය වෙදකමෙහිද විශේෂ ලක්ෂණයක් වේ. සරල වූ ජීවන රටාවක් ක්‍රමවත්ව පවත්වා ගැනීම මඟින් බොහෝ රෝග වළක්වා ගත හැකිවේ. එමඟින් කාලය, ධනය හා ශ්‍රමය ඉතිරි කර ගෙන සැපවත් දිවි පෙවතක් ගත කිරීමට පුළුවන.

දේශීය වෙදකමෙහි රෝග ප්‍රතිකාරයේදී පිළියම් කරනුයේ රෝග ලක්ෂණයට නොව රෝග නිධානයටය. එනම් රෝගයට මූලික වූ හේතුවටයි. රෝග හේතුව හෙවත් මුල සිඳ දැමීමෙන් රෝගය මුලිනුපුටා දමයි. ගසෙක මුල උදුරා ඉවත් කළ පසු එහි වැඩි වීමක් ඇති නොවන්නා සේ රෝගයේද මුල ඉවත් කළ පසු නැවත හට ගැනීමක් ඇති නොවේ. දේශීය වෙදකමේද ප්‍රතිකාරයට තරමක කාලයක් ගතවුවද එයින් ස්ථීර සුවයක් ලබාගත හැකි වේය යන විශ්වාසය අදත් ජනතාව තුළ පවතී.

දේශීය වෛද්‍ය ක්‍රමය යනු හෙළ වෙදකමයි. මෙම වෛද්‍ය ක්‍රමයෙහි ආරම්භය කවර කලෙක ඇති වී දැයි නියත වශයෙන් කිව නොහැකි නමුත් ලක්දිවෙහි මනුෂ්‍ය වාසය ඇති වූ තැන් සිට පැවතියේ යැයි සිතිය හැකිවේ. එමෙන්ම මෑත කාලයේදී කරගෙන යන පුරා විද්‍යාත්මක කැණීම් තුළින් ප්‍රාග් ඓතිහාසික මානවයාද සිය ලෙඩ රෝග සුවකර ගැනීම පිණිස සිය පරිසරයේ පැවති ගස් කොළන් ඖෂධ වශයෙන් භාවිත කරන්නට ඇතැයි අනුමාන කරනු ලැබේ.

අපේ සෞරග්‍රහ මණ්ඩලයේ පවතින වායුව ඉර, හඳ හා සමානව මිනිස් සිරුර තුළ පවතින වා, පිත්, සෙම් යන තුන්දොස සිරුරේ පැවැත්මට මෙන්ම ලෙඩ රෝගවලටද බලපාන බව දේශීය වෛද්‍ය මතයයි.

‘ඊලය’ නමින් හඳුන්වනු ලබන ඇදුම රෝගය දරු ප්‍රසූතිය ආදි අවස්ථාවන්හිදී සඳුගේ බලපෑම පැහැදිලිව පිළිබිඹු කෙරේ. එමෙන්ම සියලු අවස්ථාවන්හි ශීත, උෂ්ණ, අව්ව, වැස්ස, සුළඟ ආදී පාරිසරික තත්ත්වයන් ගේ වෙනස්වීම් පිළිබඳව ද සැලකිලිමත් වීම අවශ්‍ය වේ.

දේශීය චිකිත්සාවේද රෝග ප්‍රතිකාර සඳහා යොදා ගනු ලබන්නේ තම අවට පරිසරයේ වැවෙන ගහ, කොළ, මල්, පොතු ආදියයි. එදා ගැමියෝ තම ගෙවත්තෙහි දිනපතා ආහාරයට අවශ්‍ය වන එළවළු, පලතුරු මෙන්ම ලෙඩ දුකේදී අවශ්‍ය විය හැකි ඔසු වර්ග වවා ගැනීමට පුරුදුව සිටියහ. එයින් ඕනෑම හදිසි ආපදාවකදී ප්‍රථමාධාරයක් කර ගැනීමටද ගමේ වැඩිහිටියෝ පුරුදුව සිටියහ. අද මෙන් සුළු අසනීපයකට පවා වෛද්‍යවරුන් සොයා යෑමේ අවශ්‍යතාවයක් එදා ගැමියනට ඇති නොවීය.

පැරණි දේශීය වෙදකමෙහි ශල්‍ය කර්ම, විදුම් පිලිස්සුම් හා කටු චිකිත්සාවද ඇතුළත් විය. කටු උල් ආදිය ඇනුණු අවස්ථාවන්හි දී ශරීරය තුවාල නොකර ඒවා පිටතට ගැනීම ඇනුණූ තැනින් සිරුරේ වෙනත් තැනකට ගෙන ගොස් ඉවත් කිරීම වැනි විස්කම්ද දක්වා ඇත. සර්ප විෂ වෙදකමෙහි දී දූත ලක්ෂණ අනුව වෙදකම් කිරීම අතුරු වේදනාව නැති කිරීම, ලේ ගැලීම නැවැත්වීම මෙන්ම භාවනා ක්‍රම මඟින් ඇතැම් මානසික ආබාධ සුව කිරීම, කෙම් ක්‍රම, බලි තොවිල් ආදියෙන් රෝග සුව කිරීමේ ක්‍රමද එකල ප්‍රචලිතව පැවතියේය.

දේශීය චිකිත්සාවෙහි කෂාය, ගුළි, කල්ක ලේහ, පත්තු, මැල්ලුම් මෙන්ම නස්න ඇස් ගැල්වුම් ආදී විශේෂ බෙහෙත් ක්‍රමද ව්‍යවහාරයේ පවතී. මෙම චිකිත්සාවෙහි මිනිසුනට පමණක් නොව සතුනටද විශේෂ වූ ප්‍රතිකාර විධි පැවතියේය.

එම චිකිත්සාවන් අතරින් ගව වෙදකම හා ඇත් වෙදකම වඩාත්ම ප්‍රචලිත විය.

දේශීය වෙදකමෙහි වෙද මහතාගේ කාර්යභාරය රෝගියා පරික්ෂා කර බලා බෙහෙත් සීට්ටුව ලියා දීම පමණක් ම නොවේ.

රෝගියා වෛද්‍යවරයා කරා එන්නේ ගතෙහි ඇති රෝගයට බෙහෙත් ලබා ගැනීමට වුවද සිරිත් පරිදි නාඩි පරීක්ෂා කරන අතර තුරදී කෙරෙන කතා බහ ඔස්සේ රෝගියාගේ මනසෙහි ඇති බරද කෙමෙන් සැහැල්ලු කරනු ලැබේ. රෝගියා හා වෛද්‍යවරයා අතර විශ්වාසයක් හා සමීප සබඳතාවයක් ඇති වීම චිකිත්සාව සාර්ථක වීමට පිටිවහලක් වේ.

දේශීය ඖෂධ පාවිච්චි කරන රෝගියාට පථ්‍යාපථ්‍ය හෙවත් ගුණ අගුණ දේ පිළිබඳව දැනුම ද අත්‍යවශ්‍ය වේ. රෝගයට සුදුසු ආහාර විහරණ මෙන්ම කළ යුතු නොකළ යුතු දේ සවිස්තරව කියා දීමද දේශීය වෙදකමෙහි ඇති විශේෂ ලක්ෂණයකි.

දේශීය වෛද්‍යවරයා තමන් චිකිත්සාවේදී යොදා ගනු ලබන ඖෂධ තමාම සකස් කර ගනී. ඒ සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍යයන්ද තමා විසින්ම හෝ නැතහොත් විශ්වාසවන්ත සහායකයකු ලවා රැස්කරගනී. බොහෝ විට තමා වෙත එන රෝගියාට අවශ්‍ය ඖෂධ තම දෑතින්ම දීමට හෙළ වෛද්‍යවරු පුරුදුව සිටිති.

එපමණක්ද නොව රෝගියාට ආශිර්වාදාත්මක සෙත් පැතීමද දේශීය වෛද්‍යවරයාගේ උතුම් ගුණයකි. මේ සියලු කටයුතු සඳහා කිසිදු මුදලක් නියම නොකිරීමද එහෙත් රෝගියා විසින් බුලත් අතක තබා සතුටින් දෙන තුටු පඬුරක් පමණක් උපේක්ෂාවෙන් යුතුව පිළිගැනීමට එදා වෛද්‍යවරයා පුරුදුව සිටියේය. මෙසේ රෝගියාගේ ගත මෙන්ම සිතද සැනසූ බොහෝ දේශීය වෛද්‍ය පීතෘන් තුළ අත්ගුණය ඇතැයි කීමේ සත්‍යතාවයක්ද පවතී.

එදා එසේ වුවත් වර්තමාන සංකීර්ණ සමාජයේ දේශීය වෛද්‍යවරයාට සිය ඖෂධ සකස් කර ගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මුදලට ලබා ගැනීමට සිදුවේ. ඒ නිසා ඖෂධ සඳහා මුදලක් අය කර ගැනීමටද අද සිදු වී ඇත.

 

උපදෙස්

වෛද්‍ය දේවපි‍්‍රය අභයවර්ධන

වෛද්‍ය ස්වර්ණා චන්ද්‍රලතා

දේශීය වෛද්‍යක්‍රම පිළිබඳ

ජාතික ආයතනයේ හිටපු

අධ්‍යක්ෂක

 

සටහන ජයන්ති කුරේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.