රාජගිරිය ආයුර්වේද ජාතික රෝහල අංග සම්පූර්ණ රෝහලක් බවට පත් කිරීමට සැලසුම්

සැප්තැම්බර් 22, 2023

රාජගිරිය ආයුර්වේද ජාතික රෝහල අංග සම්පූර්ණ රෝහලක් බවට පත් කිරීමට අවශ්‍ය හැකි සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගන්නා බව 15 වැනි දින එම රෝහල සංවර්ධනය කිරීම පිළිබඳව පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි ප්‍රකාශ කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා, වර්තමානයේ දේශීය වෛද්‍ය ක්‍රමය මෙන්ම ප්‍රතිකාර පිළිබඳව ජනතාව දැඩි උනන්දුවක් දක්වනවා. එම රෝහල තම රටේ ප්‍රධානතම ආයුර්වේද රෝහල. දෛනිකව රෝගීන් විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර ගන්නවා. අපි ආයුර්වේද පනත තුළින්ම මෙම රෝහල සඳහා නිසි පිළිගැනීමක් ලබා දීමට ආයුර්වේද ජාතික රෝහලක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබුවා. මෙමාඟින් රටටත් ජනතාවටත් සුවිශාල සේවාවක් සිදු කළ හැකි අප සියලු දෙනා ඒ සඳහා එක්ව කටයුතු කළ යුතුයි. අප මෙහි පරිවර්තනීය වෙනසක් කරා යා යුතුයි. දේශීය මෙන්ම විදේශීය ජනතාවගේ ද ආකර්ෂණය දිනා ගනු ලැබූ ස්ථානයක් බවට මේ රෝහල පත් කළ යුතුයි. අප රටේ ආර්ථික තත්ත්වය හඳුනා ගනිමින් අත්‍යාවශ්‍ය සේවා හඳුනාගනිමින් සංවර්ධන කටයුතු සිදු කළ යුතුයි. අනවශ්‍ය ලෙස මහජන මුදල් කා දමන ව්‍යාපෘතිවලට වඩා රටට ඵලදායී රටේ ආර්ථිකය ශක්තිමත් කරනු ලබන ඵලදායී ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. නීරෝගී ජනතාව තම රටේ ශක්තිය අපි මෙහි රෝගී සත්කාර සේවා නංවාලීම සඳහා කැප විය යුතුයි. මා ඒ සඳහා කැප වී සිටිනවා. එමෙන්ම මේ පිළිබඳ ජනපතිතුමන් අගමැතිතුමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර පවතින අඩුපාඩු මඟහරවාලීමට කටයුතු කරනවා. ඒ සඳහා මා මෙන්ම රාජ්‍ය නිලධාරීන් ලෙස ඔබතුමන්ලාත් කැප විය යුතුයි යනුවෙන් ප්‍රකාශ කර සිටියේය.

----------------------------

ගෞරව සම්මානකින් පුද ලබයි

 

දෙහිවල සහ අවට ප්‍රදේශ ගණනාවක විහාරස්ථාන, පාඨශාලා සහ සමාජ සංවිධාන ගණනාවකට සිය ධනය සහ ශ්‍රමය වසර 50 කට වඩා කැපකරමින් අතිවිශාල සමාජ සත්කාර ගණනාවක් කළ ගාමිණී බණ්ඩාර දොඩන්වල මහතාට, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවෙන් එතුමන් කළ සේවය අගයමින් ගෞරව සම්මානයක් හෙට (23) කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ, මහානායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක හිමිපාණන් වහන්සේගේ සුරතින් පිරිනැමීම නියමිතය. මෙම උත්සවය පැවැත්වෙන්නේ කෝට්ටේ රජමහා විහාරස්ථ සිරිමංගල උපෝසථාගාරයේදීය.

----------------------

ආයුර්වේද සායන

අටුලුගම පුරාණ විහාරයේදී ආයුර්වේද සායනයක් මේ මස 27 වැනි දින නොමිලයේ පැවැත්වේ. සියලුම රෝග සඳහා විශේෂ ඖෂධ සමඟ සත්කාරක සේවා සමඟින් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරු විසින් රෝගීන් පරීක්ෂා කර බලා ප්‍රතිකාර කරනු ලැබේ. කැඩුම් බිදුම් ප්‍රතිකාර, අජීර්ණ රෝග, මුත්‍රාගල්, මලබද්ධය, බඩපුරවා දැමීම, ස්නායු රෝග, ආමවාතය, සන්ධි ඉදිමීම, ඇවිදීමේ අපහසුතාවය වැනි රෝගවලට එදින ප්‍රතිකාර කරනු ලබන අතර පනාවල ආයුර්වේද රෝහලින් නොමිලයේ බෙහෙත් සපයනු ලැබේ.

එමෙන්ම ගම්පහ ජයවීර හෙළ වෙද මැදුරේ දේශීය වෛද්‍ය චක්‍රවර්ථි ආචාර්ය අනිල් රණවීර මහතා විසින් මෙහෙයවනු ලබන ආතරයිටීස් හා හෘදරෝග සමඟ පංචකර්ම ප්‍රතිකාර යන සියලුම රෝග සඳහා විශේෂ ඖෂධ සමඟ සත්කාර දේශීය වෛද්‍ය ප්‍රතිකාර සායනයක් මේ මස 20 වැනි දින අම්පාර රජගලතැන්න උළුමෝල විහාරස්ථානයේ කතරගම කාවන්තිස්ස මාවතේ අජිත් ගෙට් ආයතනයේදී මේ මස 19 වන දින නොමිලයේ සායනයක්ද පැවැත්විය.

 

 

ජයන්ති කුරේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.