පාරම්පරික වෛද්‍ය ක්‍රම සුරක්ෂිත කිරීමට විශේෂ කාර්යංශයක්

ජනවාරි 19, 2024

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා විසින් සිදුකරන ලද විශේෂ ඉල්ලීම් මත ඉදිරිපත් කරන ලද පාරම්පරික වෛද්‍ය ක්‍රම සුරක්ෂිත කිරීමේ විශේෂ කාර්යංශයක් පිහිටුවීමේ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. රාජ්‍ය දිවයින පුරා විසිරී සිටින පාරම්පරික වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය. ප්‍රශ්න, ගැටලු මඟහැර විධිමත් කරලීමට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ මේ පාරම්පරික වෛද්‍ය ක්‍රම සුරක්ෂිත කිරීමේ කාර්යාංශය පිහිටුවා තිබේ.

මේ කාර්යාංශයේ අරමුණ පාරම්පරික වෙදකම සුරක්ෂිත කිරීම සඳහාත් පාරම්පරික වෛද්‍ය සේවයේ යෙදී සිටින අය සඳහා නිසි පිළිගැනීමක් ලබා දීමත් පාරම්පරික වෙදකම අධ්‍යයනයට මතු පරපුරට අවස්ථාව සලසා දීමයි.

*********************

පිනකල් සම්මානය ඡ්‍යොතිෂවේදී මියුරු සම්පත් ලියනගේට

පිනකල් ශ්‍රී ලංකා සම්මාන උලෙළේදී ශ්‍රී ලංකාවේ වඩාත් පිළිගැනීමක් සහිත ඡ්‍යොතිෂවේදියා ලෙස සම්මානය දිනා ගැනීමට විශ්ව ශාස්ත්‍රඥ මියුරු සම්පත් ලියනගේ මහතා සමත් විය. එම සම්මාන උලෙළ ඉකුත් 6 වැනිදා කොළඹ, ගෝල්ෆේස් හෝටලයේදී උත්සවාකාරයෙන් පැවැති අතර එහිදී මියුරු සම්පත් එම සම්මානය ලබාගත් අවස්ථාව මෙහි දැක්වේ. ලේක්හවුස් ප්‍රකාශනයක් වන සිළුමිණ පුවත්පතෙහි ඉසිවර ඡ්‍යොතිෂ අතිරේකයෙහි ‘ඔබේ ඡ්‍යොතිෂ ගැටලුවට විසඳුම්‘ මැයෙන් පාඨකයන්ගේ ඡ්‍යොතිෂ ගැටලුවලට ඡ්‍යොතිෂ විග්‍රහයෙන් පිළිතුරු සපයන ඔහුගේ සතිපතා විශේෂාංගය පාඨකයන් අතර අතිශයින් ජනප්‍රියය. එමෙන්ම සුබසෙත පුවත්පත සඳහාද මියුරු සම්පත් ඉදිරිපත් කරන ඡ්‍යොතිෂ ලිපිද පාඨකයන් අතර ඉමහත් ප්‍රසාදයට ලක්ව ඇත. හිටපු මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, ප්‍රවීණ කලාකරු සුදත් රෝහණ ඇතුළු සම්භාවනීය ආරාධිතයන් ගණනාවක් එම උත්සව අවස්ථාවට එක්ව සිටියහ.

********************

වන්නිලෑ ඇත්තන්ගෙන් පණිවිඩයක්

හෙළ වෙදකමේ ප්‍රතිකාර මඟින් මෙරට ජනතාව නීරෝගී භාවයට පත්කරමින් ආදි මුතුන් මිත්තන් පණ මෙන් ආරක්ෂා කළ හෙළ වෙදකම අනාගත පරපුරටද පණමෙන් ආරක්ෂා කර දිය යුතුයි. එය සාර්ථක කර ගැනීම නම් ප්‍රමුඛවම කළ යුත්තේ පෙර පාසලේ සිට සියලු දරුවන්ට මේ දැනුම ලබා දීම මඟින් යැයි ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ පැවසීය. වන්නියලැත්තන් මෙසේ පැවසුවේ ඉකුත්දා (3) බදුල්ල කන්දකැටිය පුරාණ කිරි වෙහෙර භූමියේදී පැවති දේශීය වෛද්‍ය සායනයේ හා ලේ දන් දීමේ වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයකු ලෙස එයට එක්වෙමිනි.

මෙහිදී විදෙස් ආක්‍රමණිකයන් හා අභීතව සටන්කර රට දැය වෙනුවෙන් ජීවිතය පූජා කළ වීර කිවුලේගෙදර මොහොට්ටාල ශ්‍රේෂ්ඨ රණවිරුවා ඇතුළු රට දැය වෙනුවෙන් ජීවිත පූජා කළ අතීත රණවිරුවන් අනුස්මරණය කිරීම, මහා සංඝරත්නය උදෙසා අෂ්ටපරිෂ්කාර පූජාවක්, දානමය පින්කමක් සිදුකිරීම, සර්වඥධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් පැවැත්වීම, ඔසු පැළ රෝපණය කිරීම, අතීත රජ දවසේ විදෙස් සංක්‍රමණිකයන් සිදු කළ ජන සංහාරයට අදාළ ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීම, පැරණි රාජකීය ජාතික හා පළාත් කොඩි ප්‍රදර්ශනයක් , ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්වුණු අතර, ජයලත්ආරච්චි සමාජසේවා පදනම, විහාරස්ථ දායක සභාව, කිවුලේගෙදර මොහොට්ටාල පදනම, දේශීය පාරම්පරික වෛද්‍යවරුන්ගේ එකමුතුව, සොබාදහම් පදනම හා ඔසු උයන් නිර්මාණය සංවිධානය, සමස්ත ලංකා හෙළ වෙද සභාව එක්ව මෙය සංවිධානය කර තිබිණි.

කුරුවිට කේ.ඒ.සුනිල්

***********************

පොඩිත්තන්ගෙන් ලොකු වැඩක්

“දිවි රකින හෙළ ඔසු” නමින් කෑ/දෙහි මොරලිය කනිෂ්ට විදුහලේ විදුහල්පතිනි ධම්මිකා අභයවික්‍රම ඇතුළු ගුරු මණ්ඩලය, දෙමාපියන් හා දරුවන් එක්ව පාසල තුළ ඔසු උයනක් යන තේමාවෙන් ඔබ්බට ගොස් මුළු පාසල් භූමියම ඔසු බිමක් කිරීමේ ආදර්ශමත් මූලික අඩිතාලම පසුගියදා ආරම්භ කළහ.

ආයුර්වේද වෛද්‍යවරුන්ගේ දේශන හා පාසල් දරුවන්ගේ ගීත ගායනා හා නැටුම් ගැයීම්ද මෙයට ඇතුළත් විය. මෙය විදුහල්පතිනිය ඇතුළු ඩබ්.පී.පී ස්වර්ණලතා, පී.ජී.ඒ.එම් චන්ද්‍රසිරි යන ගුරු මහත්මීන්ගේ සංකල්පයකට අනුව ගුරු මණ්ඩලය හා දෙමව්පියන්ගේ දායකත්වයෙන් සිදු කෙරුණු අතර රුවන්වැල්ල ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍යාචාර්ය චන්දන සේනාරත්න නන්දදේව මහතාගේ දේශනයකින්ද සමන්විත විය.

වෛද්‍යාචාරිනී ගුණවතී එදිරිසිංහ

****************

සරම්ප යළිත් හිස ඔසවයි

මේ දිනවල සරම්ප රෝගය ලෝකයේ බොහෝ රටවල ශීඝ්‍රයෙන් පැතිරෙන බවත් ශ්‍රී ලංකාවේ දරුවන් අතරද මේ රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිනිගේ මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.

ඒ මහතා වැඩිදුර අදහස් දක්වමින් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ යන දිස්ත්‍රික්කවල සරම්ප රෝගය ව්‍යාප්ත වී ඇති බවත් පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ දරුවන් මේ රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සහ රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාප කර්යාලය සහ ජිනීවා කාර්යාලය සමඟ සාකච්ඡ කර ඔවුන්ගෙන් අදහස් ලබාගනිමින් මෙරට සරම්ප නිවාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවත් පැවසීය. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා අදහස් දක්වමින් මාස 06 - 09 ත් අතර දරුවන් සඳහා අමතර සරම්ප මාත්‍රාවක් ලබාදීමේ ජාතික වැඩසටහන මේ මස මුල දිවයිනේ තෝරාගත් දිස්ත්‍රික්ක නවයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදී පැවැත්වෙන බවත් ලංකාවේ දරුවන් මේ රෝගයෙන් ආරක්ෂා කර ගැනීමත් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට ජාතික මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් පැවසීය.

ජයන්ති කුරේ

*******************

කෝටියක් දෝෂ භංග කරන ශ්‍රී මහේෂ්වර සම්පත්ති මහා යමකාල ජය මුහුර්තය

ජනවාර් 21 වෙනි රවි දින පෙරවරු 11.41 සිට පස්වරු 01.27 දක්වා කාල පරාසය ඇතුළත නැඟෙනහිර දිශාව බලා කාර්මික කෘෂිකාර්මික නිර්මාණශීලී භෞතික අධිභෞති මානව හිතවාදී සියලු ක්‍රියාකාරකම් සඳහා යහපත් මුහුර්තයක් උදා වනු ඇත. මෙහි ප්‍රශස්ත ගුණ ලැබෙන්නේ අ, ආ, ඇ, ඈ, අ, ක, ජ, ඩ, ධ, භ, ව අක්ෂරයන් හිමි නාමධාරීනට මෙන්ම අස්විද, බෙරණ, කැති, රෙහෙණ, මුවසිරස, හිමි ජම්ම ලාභීනටද සූර්ය නවාංශක උදා නැකතට සහ සියුම් චක්‍රයටද සමතුලිතව රෙහෙණ, හත, සුවණ, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප, අස්විද, මා, මුල, බෙරණ, පුවපල්, පුවසල, ජන්ම නැකැත්ලාභී ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ටය.

මෙය සෙන්පති භූමිපුත්‍ර අඟහරු හිමි මේෂ රාශි උදාවට, ගුරු කුජ හෝරාවනට, පුර පක්ෂයට, නත්‍රතිථියට, පුර පක්ෂ එකොළොස්වකට, ග්‍රහාධිපති බ්‍රහස්පතිට, ශ්වේත වර්ණයට, නැඟෙනහිර දිශාවට, විෂ්ණු දෙවිඳුට, මධුර රසයට, ද්විපාදයනට, පුරුෂ ලිංගික, පඨවි භූත, බ්‍රාහ්මණ වංශික, චන්ද්‍රයා හිමි රෙහෙණ නැකතට අදාළ සුබසෙත පාඨක සැමට තිලිණ කෙරෙන සුවිශේෂී විජයග්‍රාහී මහා යම කාල මුහුර්තයකි.

මුහුර්තය ප්‍රයෝජනයට ගැනීම සඳහා පෙර සූදානම සහ පෙර නිමිත්ත ලෙස

හිසට රක්තවර්ණ මොට්ටැක්කිළියක් ද (රතුපාට ජටාවක් බැඳ) ඉනට සුදුපාට වස්ත්‍රයක් ද දකුණු අතට රන් තැඹිලි පොල් මලක් ද පොරවක් ද කරඳ නැතහොත් කදුරු කෙවිටක් ද (කදුරු ලීයෙහි හැර මිටියක් ද) රන්වන් පාට රෙදි කැබැල්ලක් ද වම් අතට හබරල අත්තක් ද කළු වස්ත්‍රයක් ද, රත් මල් ගොටුවක් තල තෙල් විලක්කුවක්ද (පන්දමක්ද) රැගෙන පුටුවකට සුදක් එළා වාඩිගෙන ඇත් ශක්තියෙන් රාක්ෂ වාහනයක් මත නැඟී යනවායයි අරමුණු කොට (සිතාගෙන) නැඟෙනහිර දිශාව බලා පිටත්විය යුත්තේ ය.

ගමනට පෙරාතුව පහත දැහැන 07 වරක් දෝතට ගත් වතුර පතට කියා පා සඟලට ඉස ගන්න. බාධක අවහිර දුෂ්කරතා ඇස්වහ කටවහ හෝවා දෝෂ දුරුවෙයි.

ඕං හී‍්‍රං රවි බ්‍රහ්ම උලාඩි ශරගිනි දේහේනුවරයමකාල හිරත්‍රිංචි අග්නිශර යමදේවතාවා ඔහුට මර වීසි වරඩ්ඩු ගිනි කළුංබු මුච්චරංඩ හුදගිනි වෙළාගන් මරුචලිත අග්නි ශරපෙරළුම් වාර 7 කීය.

පෙර නිමිති ලෙස දරුවකු වඩාගත් වනිතාවක් හෝ ගැබිනි මාතාවක් හෝ කුලහීන වයස්ගත පුරුෂයෙකු හෝ ගවදෙනක සමඟ සැටවෙදකු ඇතුළු හෝ තමන් ඉදිරියට එනු දැකිය හැකිය. අරමුණු සියල්ල ඉටුවන පෙර නිමිත්තකි.

 

මේ මුහුර්තයෙහි ගුණාත්මකබව

ගුප්ත විද්‍යා, ගුප්ත විද්‍යා වෛද්‍ය ඡ්‍යොතිර්විද්‍යා ආශි‍්‍රත තෙල් බෙහෙත් කල්ක චූර්ණ ආසව අරිෂ්ට සම්පාදනය. නව ආයතන සමාරම්භයට ගෙවදීමට ලිප ගිනිමෙළවීම්, කිරි ඉතිරිවීම්, පොත්පති ලිපි ලේඛන සම්පාදනයට. අමනාපවූවන් පැන ගියවුන් ගෙන්වීමට මනාප කර ගැනීමට සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට. දේශපාලනික ක්ෂේත්‍රයෙහි කටයුතු සඳහා ධනය බලය ළඟා කර ගැනීමට නිලතල නම්බු නාම ග්‍රහණයට ශුභවාදීය.

 

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.