එඩිතර ගති ඇති මිථුන ලග්න හිමියෝ

මැයි 24, 2024

 

චර ගුණයත් ස්ථිර ගුණයත් දෙකින් සම්මිශ්‍ර වූ උභය රාශියකි. වායු භූත බලය එහි ගැබ්ව පවතී. මෙහි ඇති පියවි ගුණය ඔබේ ජීවිතයේ සෑම කරුණක් සඳහාම බලපානු ඇත. කේන්දරයේ භාව දොළසින් ජීවිතයේ ගත කිරීමට ලැබෙන දුක සැප ජයග්‍රහණ ඇතුළු සියලුම කරුණු විග්‍රහ කරන්නේ ඒ ඒ භාවයන්හි ග්‍රහයන් සිටි දුටු ආකාරය අනුව වේ. ලෝකයාට ඔබේ ඇති සම්බන්ධය ඇතුළු සෑම කරුණක් ගැනම තොරතුරු පවසන්නේ උපන් ග්‍රහ තත්ත්වය සහ ගමන අනුවය.

මිථුන ලග්නය සඳහා දී තිබෙන්නේ ස්ත්‍රී පුරුෂ දෙදෙනකුගේ රූපසටහනකි. ඔබේ දෘෂ්ටිය. දැනුම තියුණුය. හැම දෙනාම සහෝදරත්වයෙන් සැලකීමට කැමතිය, කරුණාවන්තය, ඉක්මනින් කම්පාවට පත් වේ, සිතේ ද්වි ස්වභාව අදහස් දරයි. බොහෝම සැපසේ සතුටින් වාසය කිරීමට ආශා කරයි, කලකෝලාහලවලට මුරණ්ඩුවැඩවලට කැමති නැත, ඉතා සැණෙන් කලබලයට පත් වේ. අයුතු අසාධාරණකම් ඇතිවූ විට වහා කෝපයට පත්වේ.

මෙහි අධිපතිකම දරන්නේ බුධ ග්‍රහයා වෙයි. ස්මරණ ශක්තිය එනම්, මතක තබා ගැනීම ඉතා හොඳින් පවතින අතර, කතාවට ද දක්ෂය. උපක්‍රමශීලිකම තදින් බලපවත්වයි. වාද විවාදවලට දක්ෂ වන අතර, ගුප්තභාවයන් සහ ශාන්ත බවක්ද පවතී. හිත එඩිතරය. ක්‍රියාශූරය. එහෙත් දෙපැත්තට වැනෙන අදහස් ඇති හෙයින් අන්‍යයන්ගේ සිතැඟි අදහස් අනුගමනය කිරීමට පෙලඹෙයි. හරි වැරැද්ද තේරුම් ගන්නේ කල් ගොස්ය. එවිට කිසිවකුට එයින් වැඩක් නැත.

මිථුනයෙන් දෙවැනි ස්ථානය වන්නේ කටක රාශියයි. එය සඳු හෙවත් චන්ද්‍රයාට අයිතිය. ගුරුගේ උච්ච රාශියයි. මේ කරුණු හේතු කොට ගෙන මිල මුදල් අඩු වැඩි වීමත් පවතී. කොටස් වෙළෙඳ ව්‍යාපාර, සමාගම්, ආහාරපාන, තේ, රබර්, පොල් වැනි ව්‍යාපාර මුදල් ඉපයීම සඳහා යෝග්‍ය වේ. පාලන, ආරක්ෂක ගුරු වෘත්තිය වැනි දෙයින්ද ධනය ඉපයිය හැකිය. කාමුක සිතිවිලි ක්‍රියාත්මක කිරීමට යාමෙන් පිරිහීමට පත් වේ. එයින් තුරන් වීමෙන් සරුසාර ජීවිතයක් ගොඩනැඟිය හැකිය.

මිථුන රාශියෙන් තුන්වැන්න සිංහ රාශියයි. එය රවිට අයත් වේ. ජන්මියාගේ වික්‍රමය ප්‍රකාශ වන්නේ මේ ස්ථානයෙනි. උත්සාහවත් වුවහොත් සාහිත්‍ය කටයුතුවලින් උසස් නමක් දිනාගත හැකිය. කලා ශිල්ප, ගමනාගමන කටයුතුවලට දක්ෂය. අලුත් අදහස් පහළ වෙයි. අවවාද අනුශාසනා ඇසීමට කැමති වුවත් පිළිපදින්නේ නැත. සහෝදර සහෝදරියන් රජයේ සේවයට සම්බන්ධ අය විය හැකිය. කෙසේ වුවත් ඔවුන් උසස් ජීවිත ගත කරන අය වෙති. ඔවුන් අතර පවතින සම්බන්ධය අඩුය. නැතිනම් දුරස්ථව ජීවත් වෙති. බේද හට ගැනීමට ඉඩ ඇති හෙයින් දුරස්ව වාසය කිරීම වඩාත් යෝග්‍ය වන්නේය. ඔබගේ ගුප්ත අදහස් නිසා පවුලේ අඬදබර හට ගැනීමට හේතු වේ.

මිථුන රාශියෙන් සතර වැන්න කන්‍යා රාශියයි. එය අයිති වන්නේ බුධටය. රාහුටද හිමිකම් ඇත. බුධගේ උච්ච රාශියද මෙය වේ. ගමේ අහල පහළ වටපිටාවේ අයගෙන් බාධා කරදර හිරිහැර විවේචන එල්ල වේ. කනස්සලු ගතිය නිතර රජ කරයි. එනිසා සිත්තැවුල් අමනාපකම් ඇති වේ. ඔවුන් සමඟ නොගැටී සිටීමට වගබලා ගත යුතුය. ඔබේ සියලුම වැඩකටයුතු කල්පනාවෙන් කළ යුතුය. ලියකියවිලිවලට අත්සන් තැබීමේදී කල්පනාවෙන් යුතුව කළ යුතුය. නැතිනම් අමාරුවේ වැටී අනාගතයේ කරදර ගෙන දීමට ඉඩ තිබේ. පියා කෙරෙහි පවතින සම්බන්ධය අඩුය.

මිථුන රාශියෙන් පස්වැන්න තුලා රාශියයි. එය සිකුරුට අයත් වේ. සෙනසුරුගේ උච්ච රාශියයි. සංගීතයට කලාවට පි‍්‍රය වන අතර, මුදල් අතින් දියුණු වීමට එය යෝග්‍ය නොවේ. සිත්ගන්නා හැම දෙයක්ම දියුණුවට හේතු නොවන බැවින් සිතා බලා කටයුතු කළ යුතුය. රේස් සූදු වැනි දෙයින් මුලදී ලාබ ඇති වුවත් පසුව එයින් අන්තිම පාඩු සිදු වේ. එයින් නොවැළකුණ හොත් පසුතැවිලි වීමට සිදු වේ. රූපයට වසඟ වී පේ‍්‍රමයෙන් අන්ධ වී විවාහය සිදු වුවහොත් අභාග්‍ය සම්පන්න දිවියක් ගෙවීමට සිදු වේ. එනිසා ඉතා කල්පනාවෙන් යුතුව තමාට ගැළපෙන විවාහයත් කරගත යුතුය. දූ දරුවන් ක්‍රමානුකූලව ඇති දැඩි නොකළහොත් වැරදි මඟ ගොස් පිරිහීමට ලක්වන හිතුවක්කාර අය වෙති. කෙසේ වෙතත් දරුවෝ ඉඩම් ගෙවල් හිමි අය වෙති.

මිථුන රාශියෙන් හයවැනි රාශිය වෘශ්චික රාශියයි. එය කුජට අයත් වේ. රාහු කේතු දෙදෙනාගේ උච්ච රාශිය වේ. රෝගස්ථානය වශයෙන් මේ හය වැන්න සලකයි. උෂ්ණාධික රෝග මුත්‍රාශයේ රෝග මළ බද්ධය පෙණහලු රෝග සහ නහර දුර්වලත්වය යන රෝග සෑදීමට ඉඩ තිබේ. කල්ගත නොවී මේ රෝගවලට ප්‍රතිකාර කළ යුතුය. මිථුන රාශියෙන් හත්වැනි රාශිය ධනු රාශියයි. එය ගුරුට අයිතිය. මේ නිසා යහපත් භාග්‍යසම්පන්න විවාහ ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබේ. එහෙත් එය ක්‍රමානුකූලව විමර්ශන බුද්ධයෙන් යුතුව ඡ්‍යොතිෂය අනුව සොයා බලා කළ යුතුය. එවිට උසස් වැදගත් පවුලකට සම්බන්ධ වීමේ භාග්‍ය ලැබේ. ගුරු වෘත්තියේ යෙදෙන අයකු විවාහයට ලැබේ. දෙවරක් විවාහ වීමේ බලයක්ද පවතී. විදේශිකයන් හා අන්‍ය ජාතිකයන් සමඟ සම්බන්ධය ඇති වේ. කාම තෘෂ්්ණාව නිසාම විදේශිකයන් හා බැඳීමේ සිතක් පවතී. එය ඔබට විපත්තිදායක වේ. බලවත් සතුරන් ඇති වේ. පිට පළාත්වලදී ද සතුරන් ඇති වේ. පූජක පක්ෂයෙන්, නීතිය සම්බන්ධ කටයුතු කරන අයගෙන් කරදර ඇතිවීමට ඉඩ ඇති හෙයින් කල්පනාවෙන් යුතුව ඒ අය ආශ්‍රය කරන්න.

මිථුන ලග්නයෙන් අටවැන්න මකර රාශියයි. එය සෙනසුරුට අයත් වන අතර ‘කුජගේ උච්ච රාශියයි. අන්‍යයන්ගෙන් වස්තු ලාභ ලැබීම පිළිබඳ හිමිකම් අඩුය. අන්‍යයන්ගෙන් ලැබේ යයි සිතා සිටීම පසුතැවිල්ලට හේතු වේ. විවාහයෙන් ධනය දේපළ ලැබීම සහ හවුලේ කරන කටයුතුවලින්ද පල ලැබීම උගහටය. අන් අයගේ මරණ හේතු කොට ගෙන පොරොන්දු පත්‍ර වැනි දේවලින් දේපළ ලැබීමට හිමිකම් ඇතත් මහලු වැඩිහිටි අයගෙන් විරෝධතා ඇතිවේ. දීර්ඝායුෂ ඇතිවන අතර, මරණය අහම්බෙන් සිදු නොවේ. හොඳ සිහියෙන් යුතුව මරණය සිදු වන අතර, එය පිටපළාතකදී සිදු වෙයි. හොඳින් ජීවත් වුවහොත් බලවතකුගේ ආධාර උපකාර ලැබේ. ප්‍රවේසම් ගතිය මඳකම නිසා හෝ රැකියා අනුසාරයෙන් පෙණහලු ආබාධ ඇති වේ. එය මරණයට හේතු වේ.

මිථුන රාශියෙන් උපන් අයගේ කේන්දරයේ නව වැනි රාශිය වන්නේ කුම්භ රාශියයි. එය සෙනසුරුට අයිති වේ. ගුප්ත විද්‍යා ඡ්‍යොතිෂ ශාස්ත්‍රය න්‍යාය ධර්ම පැරණි ඇදහිලිවලට සිරිත්විරිත්වලට සිතුවිලි නැඹුරු වෙයි. ඇල්මක් ඇති වේ. බුද්ධිය සහ නිපදවීමේ ශක්තිය ඇති හෙයින් ප්‍රගතිශීලි ලෙස ඉදිරියට ගොස් පැරණි සිතුම් පැතුම් ඇදහිලි ක්‍රම සොයා බලා එමඟින් පී‍්‍රතිය සතුට භුක්ති විඳියි. හොඳ ඉගෙනීමක් ලැබුණහොත් ඉන් අභිවෘද්ධිය සැලසේ.

මිථුන රාශියෙන් දසවැනි රාශිය වන්නේ මීන රාශියයි. එය ගුරුට අයත් වේ. සිකුරුගේ උච්ච රාශියයි. කේතුටද හිමිකමක් ඇත. යහපත් සමාජ තත්ත්වයක් ලබන අතර, සිත්ගන්නා රැකීරක්ෂාවල යෙදීමෙන් පී‍්‍රතිය සතුට වර්ධනය වේ. නීතිය සම්බන්ධ වැඩවලට දස්කම් පවතින අතර, ඒ සම්බන්ධ ප්‍රසිද්ධිය සහ යසස, කීර්තියද ලබයි. ඔබ භාග්‍යවන්තයෙක් වන අතර, දියුණුව සඳහා ක්‍රම දෙකක් ඇත. ඉන් එකක් විනෝදය සඳහා කරයි. ඒකමතික තීරණ ගැනීම අපහසුය. ඉන් මිදී දියුණුව සලසාගත යුතුය. නීතිය, ගුරු වෘත්තිය, තැපැල් සේවය ආදිය රැකියාවලට බලපවත්වන අතර ගමනාගමනය වෙළෙඳාම ලිවීම ආදියට ද සමත් වේ.

මිථුන රාශියෙන් එකොළොස්වැන්න මේෂ රාශියයි. එය අඟහරු හෙවත් කුජට අයත් වේ. රවිගේ උච්ච රාශියයි. යුද පොලිස්, නාවික, ගුවන් සේවා, වෛද්‍ය වෘත්තීන්වල නියුතු අය යහළු මිත්‍රයන් වීමට ඉඩ ඇති හෙයින් ප්‍රවේසමෙන් ඒ අය ආශ්‍රය කළ යුතුය. ඔබට හොඳ අධිෂ්ඨාන ශක්තියක් ඇත. අන්‍යයන්ට ණය දීම, ඇප දීම ආදියෙන් ප්‍රවේසම් වීම ගුණදායක වේ.

මිථුන ලග්නයෙන් දොළොස්වැන්න වෘෂභ රාශියයි. එය සිකුරුට අයත් වන අතර, සඳුගේ උච්ච රාශියයි. මේ ග්‍රහයන් දෙදෙනාම ස්ත්‍රී ග්‍රහයන් වන බැවින් ඔබට කරදර අඩුලුහුඬුකම් ඇති වන්නේ ස්ත්‍රීන් නිසාය. ඔබ නිවැරැදි වුවත් රහස් කුමන්ත්‍රණ මඟින් ඔබ වැරදිකරුවෙක් වීමට ඉඩ තිබේ. රහස් සතුරන් ඇති වේ.

උප්පත්ති ග්‍රහ තත්ත්වය අනුව ගුණ අගුණ යහපත අයහපත සිදු වේ. උත්සහ කිරීමෙන් දියුණු තත්ත්වයට පත්වීමට ඉටා ගත යුතුය. ඇක්මා මැරින් හෝ ළා නිල් මැණික් පලඳින්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.