ධනු ලග්නය හිමි කාන්තාව

සැප්තැම්බර් 2, 2022

ලග්නය හා කාන්තාව

මෙය කියවන ඔබ ධනු ලග්නයෙන් උපන් අයෙක් නම් ඔබගේ නවාංශකයට අනුව ඔබට සුබපල මෙන්ම අසුබ පලද අත්කර දෙන ග්‍රහයන් පිළිබඳ හඳුනාගන්න.

ධනු ලග්නය සංකේතවත් කරනුයේ ඉනෙන් පහළ අශ්වයකුගේ රූපයකින්ද, ඉනෙන් ඉහළ දුන්නක්, ඊතලයක් දමා විදින්නට සැරසී සිටින්නා වූ පුරුෂයකුගේ රූපයකින්ද වේ. එය පිටින් උදාවන රාශියක් ලෙස හඳුන්වන අතර අශ්වයාගේ පසු භාගය පළමුව උදාවන සේ සටහන් කර තිබේ.

ධනු රාශි චක්‍රයේ නවවන රාශිය වන අතර එයට අයත් මුල් නවාංශක තුන වනුයේ මේෂ, වෘෂභ, මිථුන යන නවාංශකයන් වේ.

සමාජයේ ප්‍රමුඛස්ථානය ගෙන කටයුතු කිරීමට හැකි අය වන අතර, මෘදු කරුණාවන්ත ගතිපැවතුම් ඇති අය වනු ඇත. රවි බුධ මහ දශා අතුරු දශාවලදී සුබපල ලැබෙන අතර, ත්‍රිකෝණ ගතව එනම් ලග්නය, පහ, නවය, ස්ථානයක මෙම යෝගය යෙදී ඇත්නම් වඩාත් යෝග්‍ය වේ.

ලග්න කේන්දරයේ අටවැන්න අධිපති සඳු ග්‍රහයා 22 දෙර්කාණාධිපති වීම නිසා සුබපල ලැබීම අවම කරවන අතර සඳු 6,8,12 යන ස්ථානයක සිටී නම් අයහපත්ය. සඳු අටවැන්නේ සිටීමෙන් ජලයෙන් විපත් හෝ බෙල්ල මහත්වීම බාලක පක්ෂාගාතය, ග්‍රහණි රෝග, බඩේ කැක්කුම්, වලිප්පුව සන්නි රෝග සෑදීමට ඉඩ ඇති අතර, ධනු ලග්නය හා වෘෂභ නවාංශකය ඇති කතුනට දණහිසේ නිතර පවතින ආබාධයක් හේතුවෙන් පීඩා අත්කරයි.

සඳු හත්වැන්නේ සිටීමෙන් යුගදිවිය සාර්ථක කරගැනීමට නොහැකි වනු ඇත. එවැනි අයගේ කාම ශක්තිය හා ශරීර ශක්තිය දුර්වලය. හත්වැන්නේ කුජ ශනි වැනි පාප ග්‍රහයන් ඇති අයකු විවාහ වීම ඔබට අවාසිදායකය. යුගදිවියේ නියම පී‍්‍රතිය විදීමට නොලැබෙනවා පමණක් නොව මරණය පවා අත්විය හැකිය. සඳුදා දිනය අයහපත් දිනයක් වන අතර, බදාදා, ඉරිදා සුබ දිනයන් වේ.

විවාහක කාන්තාවන්ට හා පෙම්වතියන්ට විශේෂයෙන් ගුරු ග්‍රහයා ගෝචර ගමනින් සඳු සිටින භාවයේ ගමන් කරන කාලය අයහපත්ය.

ධනු ලග්නයේ දෙවන කොටස අයත් වන්නේ කටක, සිංහ, කන්‍යා යන නවාංශකයන්ය. මෙම අයගේ ආත්ම විශ්වාසය අඩුවන අතර, සඳු සුබපල අත්කර දෙන ග්‍රහයකු වනු ඇත. උපතේදී සඳු 11 වැන්නේ හෝ 10 වැන්නේ සිටීනම් එය ඉතාම සුබ පිහිටීමකි. මෙම අයට කුජ ග්‍රහයා සුබපල අත්කර නොදෙන ග්‍රහයකු වන අතර කුජ 22 වැනි දෙර්කාණාධිපතියා වීම මත ධෛර්යය හා ශක්තිය අඩු, පිරිස් නායකත්වයට හා පාලන බලය අතරට පැමිණියත් ක්‍රියා කිරීමේ හැකියාව අඩු අයෙක් ලෙස දැක්විය හැකිය. නිතර ශරීරයේ දාහ ගතියක් බලපවත්වන අතර, හදිසි අනතුරුවලට මෙන්ම බරපතල තුවාලවලටත් භාජනය වෙයි.

දරු ප්‍රසූතියේදී ශල්‍යකර්මවලට වුවත් භාජනය විය හැකිය. ආගිය තැන සුළු කරුණක් නිසා හෝ කලකෝලාහල අත් කර ගනී. සමාජ රෝග බෝවීමට ද ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි.

ලග්නයේ තුන්වැන්නේ කුජ සිටිනම් පවුලේ බාලයා වීමටද පුළුවන. කුජ සිව්වැන්නේ සිටීමෙන් දරුණු හිතක් ඇති බවත්, මවුපිය උරුමයෙන් හිමිවී ඇති ගේ දොර ඉඩකඩම් ක්‍රමයෙන් අහිමිවීමට වුවත් ඉඩ තිබේ. කුජ හත්වැන්නේ සිටීමෙන් භෞමදෝෂය යෙදෙන අතර, විවාහ බාධක ඇති කිරීමට එය ප්‍රධාන හේතුවක් වේ. කුජ 7,8,12,01,02,04 යන ස්ථානයක සිටීනම් ඊට සමාන ග්‍රහ පිහිටීමක් ඇති අයකු සමඟ විවාහ විය යුතුය. එසේ නොමැති නම් විවාහ ජීවිතයේ ගැටලු මතුවීමට ඉඩ තිබේ.

හදිසි අනතුරු, ලේ අඩු රෝග, වලින් ස්වාමියාට හෝ භාර්යාවට මරණය ගෙන දීමට ඉඩ ඇති අතර, 06 වැන්නේ නම් දරුවන් ලැබීමේදී තදබල අමාරු, ඔසප් රෝගවලට ලක්වීමටද ඉඩ තිබේ.

ධනු ලග්නයෙන් තුන්වන කොටස තුලා,වෘශ්චික, හා ධනු නවාංශකවලට අයත් වන අතර, 22 වැනි දෙර්කාණාධිපති වන්නේ ගුරු ග්‍රහයාය. එම අයට සඳු හා කුජ, ඒ ඒ පිහිටීම් අනුව සුබපල දුන්නේ වී නමුත් ඉහත සඳහන් අයට මෙකී විශේෂ අසුබපල ගෙන නොදෙයි.

මෙම අයට රවි බුධ යෝගය හා සඳු 10 වැන්නේ හෝ 11 වැන්නේ සිටීමෙන් එම ග්‍රහයන්ගේ මහදශා අතුරුදශා වලදී ඉතා සුබපල අත්කර දෙනු ඇත.

ගුරු තුන්වැන්නේ නම් අකල්මරණ වලට පවා ඉඩ ඇති අතර 6 වැන්නේ හෝ 8 වැන්නේ නම් කල් අල්ලන උණ රෝග මෙන්ම ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වල ගෙඩි, බිබිළි ආදිය ඇතිවීමෙන් පීඩාගෙන දීමටද ඉඩ තිබේ. ගුරු අසුබ ආකාරයෙන් ලග්නයේ සිටීනම් ඔළුවේ අමාරු සිහිවිකල්වීමේ රෝග පවා සෑදීමට ඉඩ ඇති අතර 7 වැන්නේ නම් විවාහය කඩාකප්පල්වී යාමට වුවත් කරුණු යෙදේ.

 

ඡ්‍යොතිෂවේදිනී

ගීතිකා සමරතුංග

 

සටහන

ධම්මිකා රාජපක්ෂ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.