මාර්තු මාසයේ මුල් සතියේ උපන් ඔබ

මාර්තු 1, 2024

මාර්තු මාසයේ සූර්යයා හෙවත් රවි ග්‍රහයා ගමන් කරන්නේ මීන රාශියේ වන බැවින් මෙම මාසයේ උපන් ඔබ ඔබගේ පෞද්ගලික අංකය හිමි ග්‍රහයාගේ බලපෑමට මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට ලක්වේ. පොදුවේ ගත් කල ඔබ මාර්තු මාසයේ උපන් අයෙකු නම් ඔබට යම් යම් දේ වටහා ගැනීමේ හැකියාව හෙවත් ඉව ශක්තිය හොඳින් පිහිටා ඇත. ලස්සන කඩවසම් ආකර්ශණීය බවක් ඔබ සතුය.

එ නිසාම ඕනෑම අයකුගේ අවධානයට ඔබට යොමුවේ. ආදරය සම්බන්ධයෙන් ඉතාමත් සංවේදි වන අතර, ඒ සඳහා ලොකු ගරුත්වයක් ලබා දීම ඔබගේ ක්‍රමය වේ. අන් අයට උදව් කිරීමට කැමැති අතර, ඒ නිසාම සමාජයෙන් ආදරය, ගෞරවය හිමිවේ. මිතුරු මිතුරියන් සමඟ කාලය ගත කිරීමට කැමතිය. විමෝද ගමන් යන්න සංචාර සඳහා වැඩි කැමැත්තක් ඇත. අධ්‍යාපනයට ඉතාමත් දක්ෂ වන අතර ප්‍රතිපත්තියක් වශයෙන් වැඩිහිටියන්ට ගරු කරයි.

 

මාර්තු මාසයේ 01 වෙනි දින

මෙ දින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 1 වන අතර, එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූ මාසය මාර්තු නිසා ඔබ රවි, යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. දියුණු මනසක් මෙන්ම අන්තර් ඥානමය හැකියාවක් ඔබ සතු වන අතර, එසේම ඉතාමත් ධෛර්යවත් කෙනකු වේ. නිර්මාණශීලි කටයුතු වල නියලීමෙන් ඉදිරියට යාමට අවස්ථාව ඔබට හිමිය. නමුත් මෙහිදී උවමනාවට වඩා ධනාත්මකව කටයුතු කිරීමෙන් ඔබ වැළකිය යුතුය. එසේ නොමැති නම් නොයෙකුත් දුෂ්කරතාවලට නිරන්තරයෙන් මුහුණ දීමට සිදු වේ. පෞද්ගලික අංකය 1 නිසාද හොඳ සංවිධාන ශක්තියක් මෙන්ම හොඳ නායකත්ව ගුණාංගත් ඔබ සතුවේ. නමුත් යම් යම් ක්‍රියාමාර්ගයන්වලදී අපරික්ෂාකාරිව කටයුතු කිරීමෙන් වැළකිය යුතුය. එසේම ආර්ථික වශයෙන් ඉතාමත් සාර්ථක වන අතර, ඔබ තුළ පවතින අන්තර් ඥානමය හැකියාවක් මෙහිදී ප්‍රයෝජනය ගත හැකිය. නමුත් රැකියාවල වෙනස්වීම්වලට නිරන්තරයෙන් ඔබට මුහුණ පෑමට සිදු වේ. සෞඛ්‍ය තත්ත්වය උත්පත්තියෙන්ම යහපත් වේ. නමුත් නිරන්තරයෙන් වැඩ කිරීම නිසා සෞඛ්‍යය තත්ත්වය දුර්වල වීමට පැහැදිලි ඉඩකඩක් තිබේ. එම නිසා විවේකය සම්බන්ධව දෙසැරයක් සිතිය යුතුය.

 

මාර්තු මාසයේ 02 වෙනි දින

මාර්තු මාසයේ 2, වෙනි දින උපන් ඔබෙ පෞද්ගලික අංකය අංක 2 වන අතර, එය සඳු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මාර්තු මාසයේ නිසා ඔබ සඳු, නෙප්චූන් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. එම නිසාම කලාව සහ නිර්මාණකරණය පිළිබඳ හැකියාවන් උපතින්ම ඔබ සතුවන අතර, එයින් ප්‍රයෝජන ගැනීමට අදිටන් කර ගත යුතුය. ආත්ම විශ්වාසයේ දුර්වල කමක් ඔබ තුළ දැකිය හැකි බැවින් සෑම කටයුක්තක් සඳහාම බාහිර පාර්ශ්වයේ උදව් ලබා ගැනීමට පෙළඹේ. එම නිසා නිශ්චිත ඉලක්කවලට යාමට නොහැකි තත්ත්වයක් උදාවේ. එම නිසා තමන් විසින්ම ආත්ම විශ්වාසය ඇති කර ගත යුතුය. ජීවිතයේ මුල් කාලයේ දුෂ්කරතා ඇති විය හැකිය. එයට හේතුවන්නේ ජීවිතයේ මුල් කාලයේ ලෞකික දෙය මඟහැර සිටීමයි. මුදල් සම්බන්ධයෙන් හැඟීමක් ඇතිකර ගත යුතුය. විශේෂයෙන් ඕනෑම අවස්ථාවක උපයාගත හැකි බවට ඔබගේ විශ්වාසයෙන් මිදිය යුතුය. මානසිකව දුර්වල හෙයින් ඉක්මනින් රෝගාබාධයන්ට ගොදුරු වීමට ඉඩ ඇති බැවින් මානසිකව සතුටින් හැකිතාක් සිටීම කායික රෝගවලින් මිදීමට හේතුවක් වනු ඇත.

 

මාර්තු මාසයේ 03 වෙනි දින

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 3 වන අතර, එය ගුරුට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා ගුරු ග්‍රහයාගේ ද්විත්ව බලපෑමට යටත් වේ. ඔබට නායකත්ව ගුණාංග උපරිමයෙන් පිහිටා ඇත. එම නිසා හොඳ සංවිධාන ශක්තියක් ඔබ සතුය. පිරිස් පාලනය ඔබට සාර්ථකව කළ හැකි බැවින් ඒ ආශ්‍රිත රැකියා ඉතා යහපත් වේ. ඕනෑම දෙයක් වෙනුවෙන් ඉදිරිපත් වීමේ ගුණාංගය නිසා සමාජය තුළදී ඔබ කැපී පෙනේ. ඉඩම් වැඩි දියුණු කිරීම, පතල් කර්මාන්ත ශාලා, නාවික කටයුතු ආර්ථිකමය වශයෙන් දියුණුවට යහපත් වේ. නමුත් කුමන ක්‍ෂේත්‍රයක සිටියද ඔබට ක්‍රමයෙන් ඉහළට ගමන් කිරීමේ හැකියාව පවතී. ඉතා හොඳ ශාරීරික නිරෝගිතාවයකට හිමිකම් කියන නමුත් එක දිගට පැමිණෙන මානසික පීඩාවන් නිසා අංශභාගයට හෝ හෘද අශ්‍රිත රෝගාබාධයන්ට ලක්වීමේ ඉඩකඩක් තිබේ. එම නිසා මේ කෙරෙහි අවධානය යොමු කළ යුතුය. විවාහය සාර්ථක නොවේ. මෙයට හේතු වන්නේ විවාහය තුළ ද දැඩි නීති පැනවීමයි. එම නිසා නම්‍යශීලිව කටයුතු කිරීම විවාහය සාර්ථක කර ගැනීමට හේතු වේ.

 

මාර්තු මාසයේ 04 වෙනි දින

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 4 වන අතර, එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මාර්තු මාසයේ නිසා ඔබ රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.

එම නිසා ළමා කාලය එතරම් සාර්ථක නොවේ. දෙමාපියන්ගේ ආදරය අහිමිවීම, අධ්‍යාපනය බිඳ වැටීම, ආනාරක්ෂිත වීම වැනි දුෂ්කරතාවලට බහුලව ඔබට මුහුණ දීමට සිදුවේ. ප්‍රබල විවේචනයන්ට ලක්වීම නිරන්තරයෙන් සිදු වේ. පවුලේ නෑදෑ හිතවතුන් නිසා පීඩාවට පත්වේ. නමුත් ජීවිතයේ දෙවන භාගය වන විට මේ තත්ත්වයන් වෙනස් වේ. ඔබට ගුප්ත්‍ර ශාස්ත්‍ර හැදෑරීම අධ්‍යයනය කිරීම වැනි කාරණාවන් සම්බන්ධයෙන් විශේෂ දක්ෂතාවයක් ඇත. හොඳ ඉවසීමේ ගුණයක් ඔබ සතුය. මුදල් කටයුතුවලදි ප්‍රවේශම්කාරි ලෙස කටයුතු කිරීම හොඳ ලක්ෂණයකි. ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා කිසිවෙකු විශ්වාස නොකර කටයුතු කළ යුතු බොහෝවිට ආර්ථිකය උරුමයක් ලෙස ඔබට ලැබෙනු ඇත.

 

මාර්තු මාසයේ 05 වෙනි දින

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 5 වන අතර, එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මාර්තු මාසයේ නිසා ඔබ බුධ ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. මෙ දින උපන් අය පූර්ණ දුර්වලතාවයන්ට පත්වූ සහ ඉතා සාර්ථක පුද්ගලයන් ලෙස වර්ග දෙකක් යටතේ හඳුනාගත හැකිය. මෙය තීරණය වන්නේ ඔබ ඔබගේ ශක්තිය වර්ධනය කර ගන්නා ආකාරය මතයි. ඔබගේ ස්වකීය ශක්තිමත් පාර්ශ්වය දියුණු කරගෙන ඉදිරියට පැමිණෙන්නේ නම් සෑම දුර්වලකමක්ම ඔබගේ වාසියට හරවා ගත හැක. මුදල් සම්බන්ධ කටයුතු වලදි අවදානම් භාර ගැනීමේ ස්වභාවයක් ඔබ වෙත පවතී. තවද සූදු සහ ඉක්මනින් මුදල් සෙවීමේ ක්‍රමවේද කෙරෙහි සොයා බලනු ඇත. නමුත් ආර්ථිකය ඉතා ප්‍රබල ලෙස දෝළනය වෙන බැවින් ප්‍රවේශම් විය යුතුය. පදිංචි නිවස නිතර නිතර වෙනස් වීමට ඉඩ ඇත. සංචාරයන් සඳහා විශේෂ කැමැත්තක් ඔබ තුළ පවති. විවිධ ප්‍රදේශ සහ ඒවායේ ඉතිහාසය පිළිබඳව ඉතා හොඳ දැනීමක් ඔබ සතුවේ. විශාල ව්‍යාපෘතින් සඳහා මුදල් යෙදවීම කළ හැකිය. නමුත් පූර්ණ බලය තමා අතින් ගිලිහී ගිය හොත් ගැටලුවලට මුහුණ පෑමට සිදු වේ.

 

මාර්තු මාසයේ 06 වෙනි දින

මාර්තු මාසයේ 6 දින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 6 වන අතර, එය සිකුරුට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා ගුරු ග්‍රහයාගේ ද බලපෑමට යටත් වේ.

මෙදින ඔබ ඉතාමත් හැඟීම්බර වන අතර, අසරණ දුක්විඳින සහ ආබාධිතයන් පිළිබඳව දැඩි කරුණාවක්, ආදරයක් දක්වනු ඇත. එසේම විශේෂයෙන් එවැනි පුද්ගලයන්ට උදව් උපකාර කිරීම ඔබ අතින් සිදුවේ. බොහෝ යහලුවන් පිරිසක් ඔබ වටා රොක්වන අතර, සමාජශීලි භාවය ඉහළින්ම දැකිය හැකිය. කලා කටයුතුවලට විශේෂ හැකියාවක් දක්වන අතර, හොටෙල් කේටරින් සේවාවන් සහ ආහාර සැපයීම සම්බන්ධ සියලුම අවස්ථාවලට ඔබ රුචි වෙති. ආදරය සම්බන්ධ කටයුතුවලදී ගැටලු මතු වේ. ප්‍රේම සම්බන්ධතා කිහිපයක් ඇතිවිය හැකිය. එසේම එක් විවාහයකට වඩා සිදුවිය හැකිය. බලාපොරොත්තු නොවන ධනලාභ ලැබීමේ වසනා ගුණයක් උත්පත්තියෙන්ම ඔබට උරුමය. ජීවිතයේ ආරම්භයේ සිටම හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවතින නමුත් සුඛෝපභෝගි ජීවිතය නිසා සෞඛ්‍ය අවධානමකට ලක් වේ. මෙහිදී ක්‍රමයෙන් කොලොස්ටරෝල් ඉහළයාම අධික රුධිර පීඩනය සහ හෘද්‍යාබාධවලටත් තුඩු දෙනු ඇත.

 

මාර්තු මාසයේ 07 වෙනි දින

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 7 වන අතර, එය නෙප්චූන් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මාර්තු මාසයේ නිසා ඔබ සඳු, නෙප්චූන් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ප්‍රබල නිර්මාණශිලි හැකියාවක් සහිතව උත්පත්තිය ලබන ඔබ සම්ප්‍රදාය ප්‍රිය නොකරන අතර ඉතා ස්වාධින ජීවිතයක් ගත කිරීමට ප්‍රිය කරයි. එසේම තම නිර්මාණ කුසලතා තුළින් ඉහළ ධනවත් භාවයකට යාමට ඔවුනට හැකියාව තිබේ. ආගම සම්බන්ධ කාරණාවලදී වෙනස් මතවල ක්‍රියාකිරීම දක්නට ලැබේ. විවාහය සම්බන්ධ ගැටලු ඇතිවිය හැකිය. ප්‍රමාද වී විවාහ දිවියට ඇතුල් වීම හෝ ඔබ්ගේ කටයුතු දෙස සානුකම්පිතව බලන අයකු සමඟ විවාහය වන්නේ නම් යම් සාර්ථකත්වයක් ඇති කර ගත හැකිය. මුදල් පසු පස මොවුන් හඹා යන්නේ නැත. මනස මෙහෙයවා කරන කටයුතුවලින් ආර්ථිකය කළමනාකරණය කරන අතර, ආනයන අපනයන කටයුතුවලින් මුදල් ඉපයිය හැකිය. නමුත් මුදල් සම්බන්ධ කටයුතු වලදී ප්‍රවේසම් විය යුතුය.

ජීවිතයේ ආරම්භයේ හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවතින ක්‍රමයෙන් කොලෙස්ටරෝල් ඉහළයාම අධික රුධිර පීඩනයත් හෘදයාබාධවලටත් තුඩු දෙනු ඇත. මානසික ආතති තත්ත්වයන්ද ඇති විය හැකිය. එම නිසා ප්‍රවේසම් විය යුතුය.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ, නාඋල

බී. ඒ. ජයවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.