බහු සන්ධි ඉදිමීම

දෙසැම්බර් 18, 2020

සන්ධි පහක් හෝ ඊට වැඩියෙන් පීඩාවීම බහුසන්ධි ඉදිමුම (Polyanrthritis) යනුවෙන් හැඳින්වේ. මෙහිදී සන්ධි ඉදිමීම අත්පා දෙකේ සමානව ඇතිවීද? විශාල සහ කුඩා සන්ධි එක්වර පීඩාවීද? සන්ධිය අවට පීඩාවන් තිබේ ද? සන්ධිය හැර වෙනත් තැනක් පීඩාවීද? යනාදි කරුණු සලකා බැලීමෙන් සන්ධිරෝගයට හේතුව දැනගත හැකිය.

ආයුර්වේද මත අනුව ආමාවාත, සන්ධිගතවාත, වාතරක්ත යන රෝගයන් හිදී සන්ධි කීපයක් ඉදිමියහැකිය. ආහාර නිසි පරිදි නොදිරවීම නිසා හටගන්නා ආමවාත රෝගයේ දී දණහිස් සන්ධි, මැණික්කටු සන්ධිය, වැලමිට, සහ බොලැට (ankle) යන සන්ධි එක සමානව ඉදිමේ. රෝගය ආරම්භයේ දී උණ ඇතිවන මුත් පසුව සන්ධි ඉදිමුව සහ වේදනාව තදබල ලෙස පවතී. බොහෝ විට එක් සන්ධියක ඉදිමුව අඩුවන විට තව තැනක් ඉදිමේ. සන්ධිගතවාත රෝගයේ දී ලොකු සන්ධි මෙන්ම අත්පා ඇඟිලිවල කුඩා සන්ධි ඉදිමී තද වේ. කල්යන විට ඇඟිලි ඇදවේ. වාතරක්ත රෝගයේ දී මුල් කාලයේ දී බොහෝවිට පිඩකා (බිබිලි) හටගෙන පසුව දෝෂ තත්ත්වය වැඩිවත්ම සන්ධි පීඩා හටගනී. පළමුව ඉදිමෙන්නේ අතේ හෝ පාදයේ මාපටැඟිල්ලයි. මෙහිදී වේදනාව නොකඩවා පවතී. නව්‍ය වෛද්‍ය විද්‍යානුකූලව වයිරස ආසාදන නිසා සන්ධි රැසක් පීඩාවේ. මෙහිදී අත්පාවල සමාන (Parallel) සන්ධි රැසක් ප්‍රදාහවත් වේ. සති 6ක් පමණ රෝගය පවතී. මෙහිදී, උණ සමගම සරම්ප හෝ පැපොල වැනි රෝග තත්ත්වයක් ද පවතී. සෙංගමාලය රෝගයේ දී Hepatittis B ආසාදනය නිසා, සන්ධි කීපයක් ඉදිමේ.

සන්ධි පීඩා තදබල ලෙස ඇතිවන රෝගයක් ලෙස Rheumatoid Arthrtis  දැක්වේ. මෙහිදී අත්පාවල සමාන සන්ධි ඉදිමේ. මෙහිදී සන්ධියේ ආවරණ කලාව (Synovial Membrane) ඉදි මේ. දෙපාවල ලොකු සන්ධි අසමානව ඉදිමිම සමඟම කොඳුඇට පෙළෙහි සන්ධින් ද ඉදිමෙන රෝගයක් ඇත. Spondarthritis යනුවෙන් හැඳින්වේ. උකුල් සන්ධි මෙන්ම කොඳු ඇට පෙළ ද ඉදිමෙන Ankylosing Spondidlitis  යනුවෙන් හඳුන්වන රෝග තත්ත්වයක් ද ඇත. මෙහිදී බෙල්ල, පිට සහ තුනටිය යන තන්හි තද බල වේදනාව හටගෙන, කොඳුඇට පෙළ තදවේ. වේදනාව තට්ටම් ප්‍රදේශයට සහ කලවාවලට ද පැතිරේ. උදේට පීඩාව වැඩිය. මෙම සන්ධි සෙල වූ විට පීඩාව අඩුවේ. නමුත් තුනටිය දෙපස වේදනාව වැඩිය. අවුරුදු කීපයකින් මුළු කොඳු ඇට පෙලම පීඩාවේ. අස්ථි දිරායාම නිසා බිඳේ. (Fracture) ශ්වසනයේ දී පපුව දිගහැරීමට බැරිවේ. දණහිස් සන්ධි මෙන්ම උකුල් සන්ධි ද තද වේ.

සන්ධි රැසක වේදනාව සහ ඉදිමුව ඇතිවන Lupus erythematosus නමින් හඳුන්වන රෝගයක් වර්තමානයේ දක්නට ලැබේ. මෙහිදී උදේට සන්ධි වේදනාව වැඩිය. මැණික්කටු සන්ධිවල හටගැනීම වැඩිය. මෙහිදී සන්ධි ඇද නොවේ. මුඛයේ තුවාල හටගනී. මූණෙහි සමනලයෙකුගේ හැඩය ගත් රතුපාට ලපයක් හටගනී. හිසේ ද ලප හටගනී. වකුගඩු ඉදිමේ. මුත්‍රා සමඟ ලේ සහ ප්‍රෝටීන් පිටවේ. පපුවේ වේදනාව හටගනී. මෙයට හේතු ලෙස පෙනහළුවල දියර පිරීම හෝ හෘදය ආවරණය කරන කලාව තුළ දියර පිරීම දැක්වේ. මෙය අසාධ්‍ය රෝගයකි.

සන්ධි ප්‍රදාහයකින් තොරව බොහෝ විට සමාන සන්ධි පීඩාවන රෝගයක් ලෙස Osteoarthritis දැක්වේ. දණහිස වැනි ලොකු සන්ධි මෙන්ම කුඩා සන්ධීන් ද පීඩාවට පත්වේ. උණ ඇතිවන්නේ කලාතුරකිනි. සන්ධි වේදනාව තදබල ලෙස ඇතිවන රෝගයක් ලෙස (Gout) ගවුට් රෝගය දැක්වේ. සෝඩියම් ස්ථටික සන්ධි වල තැන්පත් වී ඉදිමේ. මෙහිදී බොහෝ විට අත් පාවල කුඩා සන්ධි ඉදිමේ. ලේ වල උපඥච වැඩිවේ. තරුණ වියේදී අත්පා වල ලොකු කුඩා සන්ධි ඉදිමෙන රෝග තත්ත්වයක් Iuvenile Idiopathic Arthritis  යනුවෙන් දැක්වේ.

කිටිභ (Psoriasiss) රෝගයේ දී සමෙහි මාළු කොරපොතු මෙන් සම වියළි ගැලවෙන ඇතැම් විට මුළු සිරුරේම ඇතිවනු බහුලව දක්නට ලැබේ. මෙහිදී නියපොතු ගිලේ. දිරයි. සන්ධි ඉදිමුව අත්පාවල හටගනී. අතැඟිලිවල කෙලවර මහත්වීම (Clubbing) ආහාර මාර්ගයේ පීඩාවක් නිසා ඇතිවන සන්ධි ආබාධයන්හිදිත්, පෙනහළු පිළිකා සහ හෘදයේ ඇතුªලත කලාව ඉදිමිම (endocarditis) ඇති විට ද දක්නට ලැබේ.

ඉහතින් දැක් වූ බහුසන්ධි පීඩාවන්ට සාර්ථකව යෙදිය හැකි ආයුර්වේද ප්‍රතිකාර ඇත. පංචාකර්ම ප්‍රතිකාර බහුලව සිදුකරන බෙනාරස් හින්දු විශ්ව විද්‍යාලය, ගුජරාත් ආයුර්වේද විශ්ව විද්‍යාලය, සහ ආයුර්වේද වෛද්‍යශාලා යන ආයතනයන්හි සන්ධිරෝග සඳහා පර්යේෂ ව්‍යාපෘති රැසක් සිදුකරයි. මින් වඩාත් සාර්ථක වී ඇත්තේ අභ්‍යංග (මඳ උණුසුම් තෙල් ගා පිරිමැදීම) ස්වේද කර්ම (ඇට වර්ග, කොල වර්ග ආදිය පොට්ටනි කර තැවීම) පිෂිචිල් (තෙල් රත්කර පිඩාවු සන්ධිවලට වත්කරමින් මසාජ් කිරීම)පිණ්ඩ ස්වේද (ඖෂධ වර්ග යොදා තැනු කිරිබත් පොට්ටනිවලින් තැවීම) වාෂ්ප ස්වේද (තෙල් ගල්වා පිරිමැද, ඔසුදුම් මුළු සිරුරටම වැදිමට සැලැස්වීම) හෝ නාඩි ස්වේද (තෙල් ගල්වා පිරිමදින ලද සන්ධි වලට බටයක් මඟින් ඔසුදුම් ඇල්ලීම) අවභාග ස්වේද (තෙල් සිරුරේ ගල්වා කෂාය පිරවු ටැංකියක රෝගියා තබා දහදිය දැමීමට සැලැස්වීම) පරිෂෙක ස්වේද (තෙල් ගල්වන ලද සන්ධිමත ක්ෂාය වැනි දියර උණුසුම්ව වත්කරමින් පිරිමැදීම) යන ප්‍රතිකාරයන්ය. කෙසේ වුවත් සන්ධි රෝගයන්ට ප්‍රතිකාර ආරම්භයේදී විරේචන කර්ම (මෘදු, මධ්‍ය හෝ තීක්ෂණ විරේචන, - Laxatives, Purgatives) යෙදේ. ප්‍රතිකාර අතරතුර වස්ති කර්ම (කාල වස්ති, කර්ම වස්ති, යෝග වස්ති) වශයෙන් දින 30,15 හෝ 8ක් සුදුසු පරිදි යෙදේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.