කැක්කුම් නසන ලස්සන කරන උස යවන චීන කටු චිකිත්සාව

මාර්තු 29, 2024

 

දිනක් මා විසින් පැවැත්වූ චීන කටු ප්‍රතිකාර සායනයකට ඉතා තීව්‍ර දණිස් කැක්කුමක් ඇති කාන්තාවක ඇවිදීමට ද අපහසුවෙන් පැමිණියාය. ඇය වයස 50ක් පමණ වූ නිතර සිටගෙන සිටින තරබාරු කාන්තාවකි.

ඇයගේ දණිස් දෙකේ කැක්කුම මාස 3ක් පමණ තිබී ඇති අතර මීට පෙර දින වේදනාව දැඩි වී ඇත. දණිස් දෙකේ සුළු ඉදිමීමක් දක්නට තිබූ අතර දණිස්වලට මින් පෙර අනතුරක් හෝ සිදුව නොමැත. ඉන්පසු ඇයව පරික්ෂා කළ මම චීන කටු චිකිත්සාව ආරම්භ කළෙමි.

ඊට පෙර ඇගේ ශරීරයේ තිබෙන ලෝහමය දේවල් එනම් ආභරණ ආදිය ඉවත් කිරීමට උපදෙස් දුන් අතර චිකිත්සාව අතරතුර ශ්වසන ව්‍යායාම සිදු කිරීමට ද කියා දුන්නෙමි. ලෝහමය ද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කරන්නේ චීන කටු ද ලෝහ නිසා, එවිට එම කටු මඟින් සිදුවන බලපෑම අවම වන නිසා ය. ගැඹුරු ශ්වසන ව්‍යායාම මඟින් එනම් ගැඹුරු හුස්මක් නහයෙන් ගෙන පපුවේ තබාගෙන කටින් පිට කිරීම මඟින් ශරීරයේ ජීව ශක්තිය වැඩිවේ. ඉහළ ඔක්සිජන් සැපයුමක් ශරීරයට ලැබේ.

අනතුරුව එම කටු මඟින් දණිස් ආශි‍්‍රත නිලස්ථාන හා අනෙකුත් විශේෂ නිලස්ථාන විදීම සිදු කළෙමි. පැය භාගයක පමණ කාලයකට පසු එම කටු ඉවත් කළෙමි. ඒ අතරතුර ඇය ඉඳගෙන සිටින ඉරියව්වෙන් ශ්වසන ව්‍යායාම සිදු කළාය. ප්‍රතිකාරය අවසන් වූ පසු ඇය සතුටින් පැවසුවේ “පුදුමයි ඩොක්ටර්, කැක්කුම ගොඩක් අඩුයි. ගොඩාක් පින්” යනුවෙනි. මා පැවැසුවේ “ඒක මැජික් එකක්” ලෙස ය. ඉන්පසු ඇය මේ චිකිත්සා ක්‍රමය පිළිබඳ මගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවාය. එය වෙනත් රෝගීන් බහුල අවස්ථාවක් නොවූ ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු මම ලබා දුන්නෙමි. එය මෙයින් ඔබට ඉදිරිපත් කරන්නෙමි.

මොකක් ද මේ චීන කටු චිකිත්සාව

මෙය චීන සාම්ප්‍රදායික (දේශීය) වෙදකමේ එක් අංගයකි. මේ වෙදකම අවුරුදු 5000ක් පමණ පැරණිය. ඈත අතීතයේ ලංකාවේ ද මිනිසුන්ට හා අලින්ට විවිධ නිලස්ථාන විදීම මඟින් රෝග සුව කළ බවට එදා පුස්කොළ පොත් සාක්ෂි දරයි. මෙම කටු චිකිත්සාව ලංකාවේ ආරම්භ වී චීනයට ව්‍යාප්ත වූ බවට ද මතයක් පවතියි. එහෙත් මේ ප්‍රතිකාර ක්‍රමය විද්‍යාත්මකව ලෝකයට හඳුන්වා දී ප්‍රචාරය කර ඇත්තේ චීනය විසිනි. මෙය ලොව පුරා වෛද්‍යවරුන්ගේ වෛකල්පිත වෛද්‍ය ක්‍රමයකි. චීන කටු චිකිත්සාව ලංකාවට හඳුන්වාදීමට පුරෝගාමී වී ඇත්තේ මහාචාර්ය ශ්‍රීමත් ඇන්ටන් ජයසූරිය මහතායි. එතුමා කළුබෝවිල ශික්ෂණ රෝහල තුළ සායනයක් ආරම්භ කර නොමිලේම ප්‍රතිකාර කර ඇති අතර විශාල වෛද්‍යවරුන් පිරිසකට මෙය උගන්වා ඇත.

මේ කටුවල බෙහෙත් තියෙනවා ද?

කටු විද්දහම ශරීරයට මොකක්ද වෙන්නේ?

මේ කටුවල කිසිඳු බෙහෙතක් නොමැත. මේවා ලෝහමය ඉතා සියුම් කටු ය. මෙහි සාර්ථකත්වය රඳාපවතින්නේ කටු ගසන පුද්ගලයා (වෛද්‍යවරයා / චිකිත්සකයා) මත ය. ඔහු දක්ෂ නම් නිවැරැදිම නිලස්ථානයට කටුව විදිය හැකි අතර, රෝගියාට දැනෙන වේදනාව ඉතා අවම හෝ නොදැනෙන මට්ටමක වේ. මේ සඳහා චිකිත්සකයා තුළ ශරීර විඥානය (ඩ්භථචද ඒදචබධථර) පිළිබඳ මනා දැනුමක් තිබිය යුතු ය.

ආයුර්වේදයට අනුව වාත, පිත හා කඵ යන ත්‍රිදෝෂ අසමතුලිත වූ විට අදාළ පුද්ගලයා රෝගී වේ. එලෙසම චීන වෙදකමට අනුව පුද්ගලයාගේ ශරීරයේ ජීව ශක්තිය (ඍඪබචත ඥදඥපඨර) අඩු හෝ වැඩි වූ විට රෝගිභාවයට පත් වේ. ජීව ශක්තිය ඔවුන් හඳුන්වන්නේ (Qඪ) (චී) ලෙස ය. මෙය අප දන්නා ශරීරයේ ප්‍රතිශක්තිය වැනි දෙයකි. මේ ලෝහමය කටු අදාළ පථවල (ඛ්ඩචදදඥතඵ / ථඥපඪඤඪධදඵ) පිහිටි නිලස්ථානවලට විදීම මඟින් උත්තේජනය වී, විශ්ව ශක්තිය සමඟ සම්බන්ධ වී, ශක්තිය හුවමාරු වී, ජීව ශක්තිය නියමිත මට්ටමට ගෙන ඒම මඟින් නිරෝගී වීම සිදුවේ. මේ චීන කටු චිකිත්සාවේ විශාලම වාසිය වනුයේ ඖෂධමය භාවිතයක් නොවූව ද රෝග සුව කිරීමේ විශේෂ හැකියාවක් තිබීමයි. බාහිර කන පුරා මුළු ශරීරයේම ඉන්ද්‍රියයන් හා අවයවයන් හා සම්බන්ධ නිලස්ථාන පවතියි. එම නිලස්ථාන උත්තේජනයෙන් අදාළ ඉන්ද්‍රියයන් හා අවයවයන් හා සම්බන්ධ රෝග පීඩා සුව කළ හැකිය. මේ නිලස්ථාන උත්තේජනය මඟින් ස්නායු පද්ධතිය උත්තේජනය වන බවට විද්‍යාත්මකව තහවුරු කර ඇත.

මේ චීන කටු ප්‍රතිකාර ක්‍රමය මොන වගේ ලෙඩවලට ද යොදා ගන්න පුළුවන්?

මෙය ගොඩක් ලෙඩ රෝග සඳහා යොදා ගත හැකිය. සැබැවින්ම මෙය හොඳ වේදනා නාශකයකි. හිසේ සිට දෙපතුල දක්වාම විවිධ ලෙඩ රෝග සුව කිරීමේ හා පාලනය කිරීමේ හැකියාවක් පවතියි. අනෙකුත් වෛද්‍ය ක්‍රම සමඟ (ඇලෝපති, ආයුර්වේද, හෝමියෝපති) මේ කටු චිකිත්සාව සිදු කිරීමෙන් ඉතා ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි බව මාගේ විශ්වාසයයි. කුඩා ශල්‍ය කර්මවලදී හිරිවැට්ටවීම මඟින් එම ශල්‍යකර්ම සිදු කිරීමේ හැකියාව මෙම චීන කටු චිකිත්සාව තුළ පවතී. හිසකෙස් වැවීම, මුහුණ පැහැපත්වීම හා උදරය අඩු කිරීම ආදී නොයෙක් රූපලාවණ්‍ය කටයුතු සඳහා ද යොදා ගත හැක. මත්පැන් පානය, දුම්පානය හා මත්ද්‍රව්‍ය භාවිතය ආදී විවිධ ඇබ්බැහි වීම් පාලනය කිරීමේ හැකියාවක් මෙම ප්‍රතිකාර ක්‍රමයේ පැවතීම සුවිශේෂත්වයකි. විවිධ මානසික රෝග හා ආබාධ පාලනය කිරීමේ හැකියාවක්ද මෙහි ඇත. නිරෝගී අයෙකුගේ වුව ද ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට මෙමඟින් පුළුවන. යෞවන වයසේ දී චීන කටු චිකිත්සාව මඟින් වර්ධක හෝර්මෝනය උත්තේජනය කර උස වැඩි කිරීමේ ක්‍රමයක් ද වර්තමානයේ ප්‍රචලිතය.

චීන කටු ක්‍රමයට සමානකම් ඇති කොරියානු කටු චිකිත්සක ක්‍රමයක් ද ලොව පුරා ප්‍රචලිතව ඇත. සමහර රජයේ ආයුර්වේද රෝහල් තුළ මේ කටු ප්‍රතිකාර සායන පවත්වාගෙන යනු ලැබේ. එහි දී ඔබට නොමිලේ ප්‍රතිකාර ලබාගත හැකිය. බටහිර ඖෂධවල ඇති අතුරු ආබාධ බහුලත්වය නිසා මිනිසුන් මෙවැනි වෛද්‍ය ක්‍රම සොයා ඒම වර්ධනය වී තිබේ. එමෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන් පමණක් නොව බටහිර වෛද්‍යවරු හා භෞතික චිකිත්සකයෝ ද මෙහි සාර්ථකත්වය අත්දකිමින් සිටිති.

 

කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරී

ආයුර්වේද වෛද්‍ය, චීන කටු චිකිත්සක

සඳවරුණ හංසිත

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.