ඔබේ නිවසේත් ජ්‍යෙෂ්ඨ පුරවැසියකු ඉන්නවාද?

නොවැම්බර් 3, 2023

වියපත් වීමේ ක්‍රියාවලිය හා බැඳුණු ශාරීරික හා මානසික හේතු නිසා වැඩිහිටි පුරවැසියන් කෙරෙහි තම පවුලේ මෙන්ම සමාජයෙහි අවධානය අඩු වීම, රෝගී වීම, ආර්ථික අතින් දුර්වල වීම, පිළිගැනීමක් නොමැති වීම, ආදරය කරුණාව අහිමි වීම හා තනිකම හා කාංසිය වැනි ගැටලුවලට වැඩිහිටියන්ට මුහුණ දීමට සිදුවේ.

ඒ හේතුවෙන් පෝෂණය, ආරක්ෂාව, විවේකය හා නින්ද, මානසික සුවය, ශාරීරික නිරෝගීතාව හා සාමාජීය අවශ්‍යතාවයන් කෙරෙහි ඔවුන්ගේ සමීපතමයන් විසින් වැඩි අවධානයක් යොමු කළ යුතුය.

වයසට යාමත් සමඟ රසය හා සුවඳ පිළිබඳ හැඟීම අඩුවී යාම ආහාර රුචියට හා ආහාර රස විඳීමට බලපාන අතර එය පෝෂණයට සෘජුවම බලපායි. දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය ආදී බෝනොවන රෝග වැලඳීමේ ප්‍රවණතාවද වැඩි බැවින් හොඳ සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා ප්‍රෝටීනවලින් පරිපූර්ණ අත්‍යවශ්‍ය විටමින් සහ ඛණිජ ලවණ අඩංගු ආහාර වේලක් ලබාදිය යුතුය.

ප්‍රමාණවත් තරම් ආහාර නොගැනීමත්, ජලය නිසිලෙස පානය නොකිරීමත් චලන අඩුවීමත් හේතුවෙන් මළබද්ධය ඇතිවිය හැකි අතර එය වැළැක්වීම සඳහා වැටකොළු, පතෝල, කොහිල, කෙසෙල්මුව, නිවුඩ්ඩ සහිත බත්, ධාන්‍ය සහ පළා ආදී තන්තු බහුල ආහාර ගැනීමටත් ජලය හොඳීන් පානය කිරීමටත් උනන්දු කල යුතුය.

අස්ථි ඝනත්වය අඩුවී බිඳී යාමේ තත්ත්වය වන ඔස්ටියෝපොරෝසිස් රෝගය වැඩිහිටියන් කෙරෙහි බහුලව බලපායි. අස්ථි පද්ධතිය නිරෝගීව පවත්වා ගැනීම සඳහා කිරි සහ කිරි නිෂ්පාදන ද සැමන් වැනි ආහාරයට ගත හැකි අස්ථි සහිත කුඩා මාළුද ඔවුන්ගේ ආහාර වේලට දෛනිකව එකතු කිරීම සුදුසු වන අතර විටමින් ච් පෝෂක අතිරේක මඟින් සහ ස්වාභාවිකව ලබාගත හැකි උදෑසන ඉර එළියෙන් එය ලබාගැනීමටත් උනන්දු කළ යුතුය.

අත් පා වේදනාව, හිරිය, වෙව්ලීම වයසත් සමඟ දැකිය හැකි පොදු ලක්ෂණ වේ. මේ සඳහා සර්ෂපාදී, ශූලහර වැනි වේදනා නාශක තෙල් වර්ගයක් මෘදුව අභංග කර මඳ උණුසුමෙන් තැවීම මඟින් සහනයක් ළඟාකර ගත හැකිය.

පවුලේ සාමාජිකයකු හෝ සමීපතම අසල්වැසියකු වෙන්වීමේ වේදනාව ඔවුන්ගේ දෛනික ජීවිතයට බලපෑම් ඇති කළ හැකිය. තනිවීම පිළිබඳ හැඟීම සමඟ මානසික අවපීඩනය මත ඔවුන් තව දුරටත් දුර්වල භාවයට පත්වේ.

වියපත් මව්පියන් දෙපසට වීමෙන් ඔවුන්ගේ මානසික සංහිඳීයාව, බෙදා හදා ගැනීම අහිමි විය හැකි ය. දරු මුණුබුරන්ගේ සෙවණේ විසීමට ඔවුහු වැඩි කැමැත්තක් දක්වති. ඔවුන්ගේ ජීවිතයේ අවසාන අදියර ගත කිරීම සඳහා ඔවුන් බලාපොරොත්තු වන්නේ සෙනෙහසක්, සැලකිල්ලක් සහ ගෘහ පරිසරයක් පමණි.

මානසික තත්ත්වය හීනවී සමාජයෙන් වෙන් වී සිටින්නට ප්‍රිය කරන විශාදය තත්ත්වයට බොහෝ වැඩිහිටියන් ගොඳුරු වේ. උදාසීන බව, ශාරීරික ශක්තිය දුර්වල වීම, අනික් පුද්ගලයින් සැක කිරීම, නිතර අසුභවාදීව සිතීම ආදී ලක්ෂණ ඔවුන් පෙන්නුම් කරන අතර මානසික තත්ත්වය ඉහල නැංවීම සඳහා මනෝ චර්‍යාත්මක හා මනෝ චිකිත්සක ප්‍රතිකාර ලබාදෙන අතරම මොළයේ රසායනික සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා ඖෂධ ලබාදිය යුතුය. ඒ වගේම ලුණුවිල, රතු දණ්ඩ සහිත ගොටුකොළ, අමු නෙල්ලි, ගිතෙල් වැනි මොළයට ගුණදායක ආහාර ලබාදීම යෝග්‍ය වේ.

දරුවන්ගේ ලොව ගොඩනැගුමට දහඩිය හෙලා ජීවිතේ සැදෑ සමය ගෙවනා වැඩිහිටි ප්‍රජාවට සෞඛ්‍ය සම්පන්නව හා නිදහස් මනසකින් යුතුව සිටීමට ඉඩ ලබාදීම වැදගත් සදාචාර ප්‍රතිපත්තියකි.

 

එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා

හෙද නිලධාරිනී

ජාතික ආයුර්වේද රෝහල

කොළඹ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.