පීඩාකාරී varicose vein

දෙසැම්බර් 22, 2023

 

දෙපාවල ඇතිවන නහර ගැටගැසීම සුලභ තත්වයක් වන අතර මැදිවියත් සමඟ මේ තත්ත්වය බොහෝවිට ඇතිවේ. කෙසේ වුවත් නහර ගැට ගැසීම පිළිබඳව සැලකිලිමත් නොවුවහොත් පාදවල වේදනාකාරී, පීඩාකාරී තත්ත්වයන් මෙන්ම ඇතිවන සංකූලතා නිසා ඇතැම්විට මරණය පවා ගෙනදිය හැකිය.

නහර ගැට ගැසීම සිදුවනුයේ හෘදයට ආපසු රුධිරය රැගෙන එන ශිරා වාහිනී ලෙස හඳුන්වන නහර තුළයි. එම නහර තුළ ඇති කපාට විකෘති වීමක් හෝ දුර්වල වීමක් නිසා රුධිරය ආපස්සට ගමන් කිරීම හෝ එකතුවීම නිසා නහර පිටතට ඉලිප්පී දඟර ගැසුණු ආකාරය නහර ගැටගැසීම ලෙස අපට දැකිය හැකිය. මෙය බාහිරව මෙන්ම අභ්‍යන්තරයේද සිදුවිය හැකිය.

නහර ගැටගැසීම ඇතිවීමට විවිධ හේතු තිබේ. මවට හෝ පියාට මේ රෝගී තත්ත්වය ඇත්නම් ඔවුන්ගේ දරුවන්ට මේ රෝගය ඇතිවීමේ ප්‍රවණතාව ඉහළය. වැඩිවේලාවක් සිටගෙන රැකියාවේ නිරතවීම, වැඩිවේලාවක් ඉඳගෙන සිටීම, උසින් වැඩිවීම, තරබාරු වීම, කාන්තාවන්ගේ හෝමෝන වෙනස්වීම්වලදී, ගර්භනී කාලය වැනි කරුණු මෙයට හේතුවිය හැකිය.

වයසට යෑමත් සමඟ නහර ගැට ගැසීම වැඩිවිය හැකි අතර රුධිර නාල පීඩනය වැඩි පාදවල මේ රෝගී තත්වය ඇතිවිය හැක.

ඒ වගේම අභ්‍යන්තර ශිරාවල ලේ කැටි හිරවීම නිසා බොහෝ දරුණු වේදනාකාරී තත්ත්ව ඇතිවීමද, මාරාන්තික වීමද විය හැකිය.

නහර ගැට ගැසීම පාදවල පමණක් ඇතිවන තත්වයක් නොවේ. සමහර කාන්තාවන්ගේ නහර ගැට ගැසීම යෝනි මාර්ගය දෙපස, මුත්‍රා මාර්ග විවරය ආසන්නයේද සිදුවිය හැකිය. පිරිමි පාර්ශ්වයට ඔවුන්ගේ වෘෂණ කෝෂ ආශ්‍රිතව වේදනාකාරී ලෙස නහර ගැට ගැසීම ඇතිවිය හැකිය. මෙලෙස ශරීරයේ බාහිරව හෝ අභ්‍යන්තරව කොතැනක හෝ නහර ගැට ගැසීම සිදුවිය හැකිය.

නහර ගැටගැසීම නිසා ඇතිවන සංකූලතා ලෙස පාද විෂබීජ අසාදනයට නිතර ගොදුරු වීම, තුවාල හට ගැනීම හා සෙලියුලයිටිස් තත්ත්ව ඇතිවීම, සුව නොවීම, වරින් වර මතුවීම සිදුවිය හැකිය. තවද නහර ගැට ගැසීම නිසා ඇතිවන වේදනාව, ඉදිමීම, රුධිරය වහනය වීම, කැසීම, තුවාල හටගැනීම, සමේ විෂබීජ අසාදන තත්ත්වයන්ද, රස්නය දැනීම සහ අවපැහැ ගැනීම ද ඇතිවිය හැකිය.

ඒ මෙන්ම නහරවල රුධිරය එකතුවී එම ස්ථානවල කැටි ඇතිවී එම රුධිර කැටි නහර දිගේ ගොස් මොළය, හෘදය, වකුගඩු වලට රුධිරය සපයන මාර්ග අවහිර වී භයානක ප්‍රතිපල ඇතිවිය හැක.

නහර ගට ගැසීම අවම කර ගැනීම සඳහා දිගු කාලයක් හිටගෙන සිටීම අවම කිරීම, ඉරියව් මාරු කිරීම, නිතර ඉහළ පහල නැගීම අවම කිරීම, නිදියන විට පාද අඩි එකහමාරක් පමණ උසට සිටින සේ කොට්ටා තබා ආධාර කිරීම, ශරීරයේ බර පාලනය කිරීම, ක්‍රේප් බැන්ඩේජ් හෝ මේස් (ඵබධජඬඪදඨඵ ) පැලඳීම, ව්‍යායාම කිරීම හා ලේ පිරිසිදු කරන ආහාරපාන ගැනීම ඉතා වැදගත් ය.

මේ රෝගයට ප්‍රතිකාර ලෙස නහර ගැට ගැසුණුු තැන්වල නහර විද රුධිරය ඉවත් කිරීම, පත්තු ආලේප යෙදීම ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයේදී බහුලව යොදා ගනී. අදාළ ස්ථානයේ කැසීම, දැවිල්ල අවම කර ගැනීම සඳහා බෙහෙත් කොළ, පොතු තම්බාගත් වතුරෙන් කකුල් සේදීම හා දමාගෙන සිටීමෙන් සහනයක් ඇතිවේ. රක්ත මෝක්ෂණ හෙවත් කූඩැල්ලන් ලවා රුධිරය ඉවත් කිරීම මෙහිදී සිදුකරන සුවිශේෂී ප්‍රතිකාරයකි.

රෝගියා මුල් අවස්ථාවේ ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත් වේ.

එමගින් අපහසුතා හා සංකූලවලින් තොරව සුවය ලබාගැනීමට අවස්ථාව උදා වේ.

 

එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා

හෙද නිලධාරිනී

ජාතික ආයුර්වේද රෝහල, කොළඹ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.