උඳුගොව්වන් කෑම

දෙසැම්බර් 22, 2023

 

ඉස්ම ගැනුම තිප්බොටු පල මැඬගෙන
අසවිද පලමක් කුඩු එහි යොදමින
රැස් කර මෙම මීතෙල් සමඟින
රශ්මි යෙනුත් රිවිහෙල පිස අරගෙන

 

ඉසේ මෙතෙල ගල්වා දසක් හැර
එසේම යළි ඉස සෝදා තෙල හැර
මෙසේ කළොත් ඉස්හොරි ලෙඩ දුරු කර
විශේෂයෙන් තුබ විදා නසයි කර

 

ඉන්ද්‍රලුප්ත රෝගය නමින් හඳුන්වන උඳුගොව්වන් කෑම මහත් සේ මානසික පීඩනයට පත් කරනු ලබන රෝගයකි. කෙස් කළඹ ආශි‍්‍රතව හට ගනු ලබන මේ රෝගයේ දී කෙස්ගස්වලින් පිරුණු හිසේ තැනින් තැන කොටස් වශයෙන් කෙස් අඩුවීමක් පෙන්නුම් කෙරේ. නිරෝගී කෙස් කළඹක් ඇති කාට වුව ද හිසකෙස් රොදවල් මේ අයුරින් ගැලවී යාම, හෝ කොටස් වශයෙන් ගැලවීයාම මානසික වශයෙන් ද මහත් පීඩාවට පත් කරවන්නකි. උඳුගොව්වන් කෑම හිසේ යම් යම් කොටස් විනාශ කිරීම නිසා සිදුවේ.

වර්තමාන සමාජයේ වැඩිහිටියන් යෞවන යෞවණියන්ද බොහෝ විට කොණ්ඩය සකස්කර ගැනීම සඳහා යම් යම් ආලේපන වර්ග හිසේ ගෑමට පුරුදුව සිටිති. රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපන හා ෂැම්පූ වර්ග හිසට මෙන්ම හිසකෙස්වලටද සමහරවිට විෂ විය හැකිය. මේ නිසා හිසකෙස්වල පවතින ශක්තිමත් භාවය වර්ණවත්භාවය හා කෙස් ගස්වල වර්ධනයට ද හානිවිය හැකිය.

උඳුගොවුවන් කෑම හිස්හොරි හට ගැනීම අකලට කෙස් පැසීම කෙස් ගැලවීයාම, තට්ටය පෑදීම ආදී තත්ත්වයන් ඇතිවන්නේ කෙස් නිසිලෙස රැක නොගැනීමේ ප්‍රතිඵලයක් වශයෙනි. විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු සබන් හා ෂැම්පූ වර්ගත් කාලයක් පුරා හිසට ආලේප කිරීමෙන් හා විවිධ මෝස්තරවලට කෙස් හසුරුවමින් කොණ්ඩය වර්ණවත් කිරීම වගේ කෙස් ගස්වලට විවිධ ඉටිවර්ග ගෑමෙන් හා ලෝහ උපකරණ විද්‍යුත් මඟින් ක්‍රියාත්මක කිරීම ද කෙස් රත්කරමින් විවිධ මෝස්තරවලට හැසිරවීමද කෙස් ගස්වලට වද දෙමින් කරනු ලබන ක්‍රියාකාරකම් නිසාද හිසකෙස්වලට පමණක් නොව සමටද මහත්සේ හානි විය හැකිය.

වේලාවක් අවේලාවක් නොබලා ස්නානය කිරීම හා හිස පමණක් සෝදා විද්‍යුත් උපකරණ අල්ලා හිස වේලා ගැනීමට පුරුදුව සිටීමත් හිසේ රෝගවලට බෙහෙවින් බලපායි. මෙවැනි ක්‍රියාවන් හේතු කොටගෙන ශරීරයේ සමතුලිත භාවයන් පාලනය කෙරෙන තුන්දොස් අතර පිතත් සෙමත් ප්‍රකෝපවීමෙන් හිසේ රෝග හටගැනීම සිදුවේ. හිස කෙස්වලට වැලඳෙන රෝග අතර සමාජයට යෑමට ලජ්ජාවන මානසික පීඩනයක් ඇති කරවන රෝග ද වේ.

හිසෙහි දූවිල්, කුණු තැම්පත්වීමෙන් ද රෝම කූප අහැරී උඳුගොව්වන් හටගෙන කෙස්මුල් ටික ටික විනාශ කිරීමට ද ක්‍රියාත්මක කෙරේ. එය දැක ගන්නට හැකිවන්නේ කෙස් රොදවල් තැනින් තැන අඩුවීමෙනි. එවැනි තත්ත්වයක් දැනගත් වහාම ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය සුවකර ගත හැකිය.

අද සමාජයේ බෙහෙවින්ම දක්නට දෙයක් කාන්තාවන් මෙන්ම පුරුෂයන්ද කොණ්ඩය වවාගෙන සිටීම නිරෝගී කෙස් කලඹක දක්නට ලැබෙන කරුණු අතර හිසකෙස් අලංකාරව දිලිසෙන ගතියකින් පැවතිම හිසකෙස් තෙල් ගතියෙන් පැවතීම කෙස්ගස් බෙහෙවින් පැවතීම හිසකෙස් ප්‍රාණවත් ගතියෙන් පැවතීම ඒ අතර වේ. හිසෙහි ඇතිවන දිලීර හේතුවෙන් හිසෙහි ඇතිවෙන්නේ හිස් හොරිය. හිස් හොරි ඇති වූ විට කෙස්ගස් මුල කැසීම නිරන්තරයෙන්ම සිදුවේ. ඇඟිලිවල නියපොතුවලින් කෙස්ගස්මුල කසන විට සුදු පාට කුඩා පොතුමෙන් කුඩු ගැලවී වැටීමට සිදුවේ. මෙසේ කැසීම නිසා ඇඟිලි නියපොතුවලට එන හිස්හොරි පොතු මඟින් තවත් කෙනෙකුට හිස් හොරි බෝවීමේ තත්ත්වයක් ද පැවතිය හැකිය. එබැවින් හිස්හොරි ඇති අයකු ඔළුව පීරන පනාවකින් ඔහු පාවිච්චි කරන තුවායකින් හෝ ඇඳුම් පවා වෙනත් අය පරිහරණය කිරීමෙන් වැළකී සිටිය යුතු ය.

හිසෙහි ඇතිවන රෝගයන් අතර බොහෝ දෙනෙකුට මානසික පීඩාවක් ඇතිකරන රෝගයක් වන උඳුගොව්වා කෑම ආයුර්වේද උපදෙස් නිසි පරිදි පිළිපදිනවා නම් සුවපත් කර ගැනීමට එතරම් අපහසුවක් නැත.

 

දිනපතා ස්නානය කිරීම සබන් අඩුවෙන් හිසකෙස්වල ගෑම ගොඩපර, දෙහි ගැට, උළුහාල් තම්බා එම ඖෂධීය ජලයෙන් හිස සේදීම. වතුකහබිලියා අත්කහ එකට කොටා ඉස්ම මිරිකා උඳුගොව්වා කා දමන ලද ස්ථානයේ ගෑම, හීන්නිදිකුම්බා සහ බෙහෙත් අනෝදා තම්බා හිස සේදීම, හිසේ පවතින රෝගී තත්ත්වයන් බොහොමයකට විටමින් හීනතාවයද බෙහෙවින් බලපායි. එබැවින් පෝෂණීය බවෙන් යුත් ආහාර ගැනීමට සැළකිලිමත්විය යුතු ය. උඳුගොව්වා කෑම රක්ත ශෝධක ප්‍රතිකාර මගින්ද සුවකර ගත හැකිය. හිසකෙස් රෝග බොහොමයකට බලපා ඇත්තේ හිසේ පවතින අපිරිසුදු භාවයයි. බොහෝවිට උකුණන් වැනි පරපෝෂිතයින් සිටීමද හේතුවේ.

ගොඩපර වෙරළු කොළ, නෙල්ලි සහ නෙල්ලි කොළ, උළුහාල් සමඟ තම්බා හිස සේදීමෙන් කෙස් පිරිසුදුවී කෙස් ගස් ශක්තිමත් වේ. සවස් කාලයේ ස්නානය කිරීමෙන් වැළකිය යුතු ය. ස්නානය කරන සෑම අවස්ථාවකදීම උඩින් කෙස් පිසදැමීමෙන් පලක් නොවේ. කෙස් පිටතන් මෙන්ම කෙස් මුල්ද තුවායකින් තෙත් ගතිය ඉවත්වන සේ හොඳින් පිස දා ගත යුතු ය. දේශීය වෛද්‍ය ක්‍රමය මඟින් උඳුගොව්වා කෑමට නොයෙක් විදියේ කෙම්ක්‍රම භාවිතා කළේ ය. එය එදා පැවැති සාර්ථක වූ වෛද්‍ය ක්‍රමයකි. නමුත් සමාජය තුළින් මේ වන විට කෙම් ක්‍රම ගණන් නොගත්තත් ගම්බදව තවමත් ඒ ගැන තද විශ්වාසයේ පවතී. කළුහබරල පිත්තක්ගෙන එහි කොනක් කපා ඒ මත හුණු ටිකක් ගා එම හබරල පිති කෑල්ල හිසේ උඳුගොව්වා කා ඇති ස්ථානයේ ලුණු ටික ගෑවෙන සේ හබරල ඉස්ම සමඟ ගෑමෙන් සුවවේ. කීපවරක්ම හබරල පිත්තේ හුණු ගාමින් හොඳින් කාවදින සේ ගෑමෙන් උඳුගොව්වා කෑම සුව අතට පත්වේ. එය දින හතක් පුරා වරින් වර කළයුතු අගනා ප්‍රතිකාරයකි.

හිසකෙස් පිරිසුදුව තබා ගැනීම වඩාත්ම ගුණ ගෙනදෙන කාර්යයකි. ස්නානය කිරීමෙන් පසු කෙස් ගස් හොඳින් පිසදා වියළුණූු පසු තෙල් හිසට දා හොඳින් පිරිමැද ඇඟිලි තුඩු මඟින් කෙස්මුල්වලටද කාවදින සේ ඇතිල්ලිය යුතුය. හිස සෝදනවිට දෙහි ඇඹුල් ස්වල්පයක් ජලයට මිශ්‍රකර සේදීමෙන් හා නෙල්ලි ඉස්ම ටිකකට දෙහි ඇඹුල් මිශ්‍රකර එය කෙස්මුල්වලට වදිනසේ ගෑමත් ගුණදායකය. මේ කුමන ප්‍රතිකාරයක් වුවද කළයුතු වන්නේ ඇස් ආරක්ෂාවන අයුරින් බව මතක තබා ගත යුතු ය.

 

බත්තරමුල්ල පැලවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් එම්. පී. රාජපුර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.