ශ්වසන පද්ධතිය ආශි‍්‍රතව හටගන්නා ඇදුම රෝගය

දෙසැම්බර් 29, 2023

නිරන්තරයෙන්ම කැස්සද හටගන්නා ඇදුම රෝගය මහත් වේදනාකාරී හා දුකක් ගෙන දෙන රෝගයකි. දහවල් කාලයට වඩා රාත්‍රී කාලයේදී උත්සන්න වන ඇදුම රෝගය නිසා නින්දෙන් පිබිදෙන විටත් කැස්ස ඇතිවේ. වියළී ගිය ස්වභාවයෙන් ඇතිවන කැස්ස මෙන්ම සෙම් සහිත කැස්ස ද වරින්වර ඇතිවේ. එවැනි කැස්ස ඇති වූ විට ඝන වූ සෙම්ගුලි ද පිටවේ.

එසේ සෙම පිටවීම නිසා රෝගියාට යම් සහනදායී තත්ත්වයක් ඇති වේ. ඇදුම රෝගියෙකුට ශීත පරිසරය එතරම් සුදුසු නැත. උණ, සෙම්ගෙඩි, අතීසාරය, වමනය, ප්‍රතිශ්‍යාව, ඔඩු පීනස, ළය පීනස, රක්ත පිත්තය, උදා වර්ණය විසුචිකාව පාණ්ඩුව රක්තවාතය යන මේ රෝගවලින් ද ඇදුම රෝගියකුවීමේ තත්ත්වය ඇතිවේ. ළය පීනසෙන් පීඩා විඳින්නකු ඇදුම රෝගියකු වීමට ඇති අවස්ථාවද වැඩිය. එමෙන්ම ඇදුම රෝගියෙකුට ක්ෂය රෝගී තත්ත්වයට පත්වීමටද හැකියාව ඇත.

වාත රක්තය ගැන නොසලකා ප්‍රතිකාර මඟහැර සිටීමෙන්ද එම රෝගියා ඇදුම රෝගියකු වීමේ තත්ත්වයක් ද පවතී. එබැවින් යම් රෝගයක් වැලඳුණු විගස ප්‍රතිකාර ලබාගැනීම අවශ්‍යයෙන්ම කළ යුතුය. බෝවන රෝගයක් නොවුවත් දුක්ඛදායක රෝගයක් වන ඇදුම රෝගය හතිය පපුවේ මහන්සිය ඉලප්පුව, නැට්ටුව සහ මුහ යන නම්වලින් ද හඳුන්වයි. මේ රෝගය ඉපදුණ දා සිට මිය යන තෙක් ඕනෑම වයස් කණ්ඩයකදී වැලඳිය හැකි ය. තමකෂ්වාසය නමින් ද හැඳින්වෙන ඇදුම රෝගය මහත් වේදනාකාරී රෝගයකි. එය වැලඳුණු රෝගීන්ගේ පපුවේ ඇතිවන දැඩි මහන්සිය සමඟ රූම් රූම් ගානා ශබ්දයක් ද ඇතිවේ. හුස්ම උඩට හා පහළට අදිමින් රෝගියා විඳින වේදනාව ඇසුරු කරන්නන්ට ද බලා සිටිය නොහැකි මහත් දුකක් ඇති කරවන්නකි. මේ දුක්ඛදායක රෝගය හටගැනීමට ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් බලපායි. එයින් පාරම්පරික තත්ත්වය එකකි. අනෙක් කරුණ වන්නේ ශීත පරිසරය වැස්සට පින්නට අසුවීම, දුම්, දූවිලි හා රසායනික ද්‍රව්‍ය ආශ්‍රිතව තම දෛනික කටයුතුවල යෙදීමත් ය.

පාරම්පරික හේතූන් වන්නේ පියා ඇදුම රෝගියකු වී නම් පියාගෙන් පුතාටත් පුතාගෙන් අනෙක් දරුවන්ටත් රෝගය වැලඳීමය. ඒ තත්ත්වය වෙනස් වීමටත් ඉඩ ඇත. ඇදුම රෝගය බොහෝ විට රැකියාවේ ස්වභාවය අනුව ද වැලඳේ. දුම් දූවිලි සහිත පරිසරයේ දී මෙන්ම මහාමාර්ග ආශි‍්‍රතව වැඩ කිරීම, සිමෙන්ති ගොඩනැඟිලි ඉදිකිරීමේ ගල්කුඩු, ලී කුඩු, වී කුඩු, ගරාජ්වල සේවය කිරීම, තීන්ත ආලේපන කටයුතුවල නිරත වීම, නිවසේ ඇති කරන බල්ලන්, බළලුන් ආදීන්ගේ ලොම් මෙන්ම කුරුල්ලන්ගේ පිහාටු අලංකාරයට වවනු ලබන මල් පරාග සිඹීමෙනුත් ද ඇදුම රෝගය හට ගනී. ශරීරය පිහිටීමේ දී හෘදය වස්තුවේ ඇතිවන සහජ වෙනස්කම් හා පපුව අස්භාවික ලෙසින් සැකසීම ද ඇදුම රෝගියකු වීමට තවත් හේතුවකි. නාඩි නහර දුර්වලත්වය හා කායික දුර්වලත්වයද ඇදුමට තවත් හේතුවකි. මෙවැනි තත්ත්වයකදී වා සෙම් දෙකම එකසේ වැඩිවීමක් සිදුවේ. ඇදුම රෝගියකු ශ්වාසව රෝධයෙන් පෙළෙන විට අධික ශිතලක් දැනේ. මේ නිසා නිවස තුළින් ශීත තාවය අඩුකිරීමට පියවරගත යුතුය. සුරතලයට සතුන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. එම සතුන්ගේ ලොම් ආග්‍රහණය වීම ඉතාම භයානකය. මල් පරාග ද ඇදුම රෝගකාරකයකි. ඇදුම රෝගයට දැඩි මහන්සිය දැරීම ද බලපායි. දැඩි වෙහෙසක් ගෙන දෙන ව්‍යායාමය වගේම දුම්පානයත්, අහිතකරයි. දුම්පානයෙන් නිකොටින්, තාර වැනි අංශුත් පෙනහලු ගර්තවල තැන්පත් වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීමත් රෝගය හටගැනීමට හේතුවකි.

වර්තමාන සමාජයේ පවතින කාර්යබහුලත්වය නිසා යම් යම් අසනීප තත්ත්වයන් ඇති වූ විට වෛද්‍ය උපදෙස් නොතකා ඖෂධ සල්වලින් බෙහෙත් වර්ග ගෙන පාවිච්චි කිරීමට පුරුදුව සිටිති. ගත යුතු මාත්‍රාවල් නොදැන එසේ කිරීම කලක් පුරා කිරීම ද ඇදුම රෝගයට හේතුවිය හැකිය. ඇතැම් කාන්තාවන්ට ගර්භනී සමයේ දී සුළු ඇදුම රෝගී තත්ත්වයක් ඇති වේ. එහෙත් එය ගර්භනී, සමයෙන් පසු අවසන් වේ. ළදරුවන්ට ඇදුම රෝගය හටගනු ලබන්නේ ළය පීනසත් සමඟය. ඒ ගැන වැඩිහිටියන් දැඩි වුවමනාවෙන් එනම් ක්ෂණිකව වෛද්‍ය උපදෙස් ලබාගත යුතු ය. ඇදුම රෝගියෙකුට යම්කිසි අස්වැසිල්ලක් ලැබෙන්නේ ප්‍රතිකාර ගැනීමෙනි. ඒ සඳහා සුදුසුම ප්‍රතිකාරය වන්නේ ආයුර්වේද ප්‍රතිකාරයයි. ඇදුම රෝගියකු මානසික වශයෙන් මහත් පීඩාකාරී තත්ත්වයකින් පසුවේ. කේන්තිය නොරිස්සුම්ගතිය, අධික කෝපය වගේම ශරීරයම තෙහෙට්ටු ගතියට පත් වේ.

අදුම රෝගයෙන් පෙළෙන රෝගියෙකුට රළු ආහාර උඳු තලතෙල් මිශ්‍ර ආහාර පිටිකෑම කැවිලි වර්ග, ජලජ අල ජාති විෂම ආහාර, කෘතිම ආහාර, ක්ෂණික කඩකෑම, තෙල් පිටි ලුණු අධික කෑම ජාති ශීත කළ ආහාර වර්ග නොදිය යුතු ය. එමෙන්ම එම ආහාර වර්ග නිතර නිතර ගැනීමෙන්ද රෝගය ඇතිවිය හැකිය. එමෙන්ම සමහරු රැකියාව නිම වී පැමිණ රාත්‍රී කාලයේ දී ශීත ජලය ස්නානය කිරීමට පුරුදුව සිටිති. එය ද ඇදුම රෝගී තත්ත්වය ඇති වීමට හේතුවකි.ඇදුම රෝගියෙකුට තිරිඟු, කිරි අල වැනි පිෂ්ඨය බහුල ආහාර බණ්ඩක්කා, අළු පුහුල්, තක්කාලි, ගෙඳ නිවිති, අර්තාපල් වැනි එළවළු ද අන්නාසි, වැල් දොඩම් වැනි පලතුරු ද ඉස්සෝ, දැල්ලෝ, පොකිරිස්සන්, කකුළුවෝ, බලයෝ, හුරුල්ලෝ වැනි මාළු වර්ගද ඌරු මස්, හරක් මස් වැනි මස්වර්ගද ක්ෂණික බීම වර්ගද ලබාදීම අහිතකරය.

 

 

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

සටහන - මාධ්‍යවේදී බී.ඇල්. ප්‍රේමරත්න 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.