බිඳුණු අතට බෙහෙත් කරමු

පෙබරවාරි 2, 2024

මැණික් කටුව ආශ්‍රිතව සිදුවන අස්ථි බිඳීම වර්ග කිහිපයක් පවතී. එයින් මැණික් කටුවට ඉහළින් පවතින අරාස්ථිය(Radius)  ආශ්‍රිතව සිදුවන අස්ථි බිඳීම් පිළිබඳව දැනුවත් වෙමු.

අතේ යටිබාහුවේ පිහිටා ඇති අස්ථි දෙකෙන් එකක් වන අරාස්ථිය මහපට ඇඟිල්ල පැත්තෙන් පිහිටයි. මැණික් කටුව සන්ධිය සෑදීමට මෙම අස්ථියේ පහළ කෙළවර සම්බන්ධ වේ.

මේ අරාස්ථියේ පහළ කොටස එනම් මැණික් කටුවට ඉහළින් අරාස්ථියේ සිදුවන අස්ථි බිඳීම් සාමාන්‍යයෙන් වයස අවුරුදු 40ට වඩා වැඩි පුද්ගලයින් අතර ඉතා සුලභයි. කාන්තාවන් අතර මේ වර්ගයේ අස්ථි බිඳීම් ඇතිවීම ඉහළ ප්‍රතිශතයක් ගන්නේ, වයස් ගතවීම සමඟ ඔස්ටියෝපොරෝසිස් රෝගී තත්ත්වය නිසා අස්ථි ඝනත්වය අඩුවී, ශක්තිමත් භාවය අඩුවීම නිසායි.

මේ අස්ථි බිදීම් සඳහා ප්‍රධාන හේතුව වන්නේ අත උරහිස් සන්ධියෙන් එළියට දිගුවන පරිදි (Outstretched hand) ඉරියව්වෙන් සිදුවන වැටීම් සහ පෙරළීම් ය.

මේ අස්ථි බිඳීම් ප්‍රධාන ආකාර දෙකකට දක්වන්නට හැකියාව පවතී. පළමු ආකාරය කොලිස් වර්ගයේ අස්ථිබිදීම් (Colles’s fractures )වන අතර දෙවැන්න ස්මිත් වර්ගයේ අස්ථි බිඳීම්(Smith’s fractures) ලෙසත් දැක්විය හැකිය.

 

කොලිස් වර්ගයේ අස්ථි බිඳීම් (Colles’s Fractures)

අත උරහිසෙන් ඉවතට දිගු වන ආකාරයෙන් සිදුවන වැටීම හෝ පෙරළීමකදී මැණික් කටුව සන්ධිය පිටත දිගහැරෙන පරිදි (Wrist extension )  පීඩනය එල්ල වූ විට මේ වර්ගයේ අස්ථි බිදීම් සිදු වේ. මෙය බොහෝ විට අස්ථියේ හරස් අතට සිදුවන බිඳීමකි. බිඳීම සිදු වූ තැනින් එහා කොටස පිටුපසට විස්තාපනය(Posterior displacement ) වීම නිසා මේ වර්ගයේ අස්ථි බිඳීම්වලටම විශේෂ වූ Dinner fork deformity හෙවත් ගෑරුප්පුවක් ආකාරයට මැණික්කටුව සන්ධිය ආශ්‍රිත ප්‍රදේශය දිස්වීම සායනික පරීක්ෂාවේදී සහ X-Ray ඡායාරූපවලින් දැක ගන්නට හැකිය.

 

ස්මිත් වර්ගයේ අස්ථි බිදීම් (Smith’s Fracture )
අත උරහිසෙන් ඉවතට දිගු වන ආකාරයෙන් සිදුවන වැටීම හෝ පෙරළීමකදී මැණික් කටුව සන්දිය ඇතුළට නැවෙන (Wrist flexion )) පරිදි පීඩනය එල්ල වූ විට මෙම වර්ගයේ අස්ථි බිදීම් සිදු වේ. මෙයද බොහෝ විට අස්ථියේ හරස් අතට සිදුවන බිදීමකි. බිඳීම සිදු වූ තැනින් එහා කොටස ඉදිරියට විස්ථාපනය(Anterior displacement )  වීම සිදු වේ. එවිට ඇතිවන මැණික්කටුව සංදියේ වෙනස්වීමද සායනික පරීක්ෂාවේදී සහ X-Ray ඡායාරූපවලින් දැක ගන්නට හැකිය.

මේ අස්ථි බිඳීම වර්ග දෙකේදීම වේදනාව,ඉදිමුම,මැණික් කටුව ආශ්‍රිත චලන අපහසුතාව සහ ආශ්‍රිත පේශිවල තද ගතිය ද දැක ගත හැකිය.

 

ප්‍රතිකාර ක්‍රම

අස්ථි බිදීමත් සමග තමන් වෙතට පැමිණෙන රෝගියා නිසියාකාර පරීක්ෂා කිරීම්වලින් පසුව (අවශ්‍ය නම් X-Ray ඡායාරූපද භාවිත කළ හැකිය) අස්ථිය බිඳී ඇති ස්වභාවය, අස්ථි කොටස් විස්ථාපනය වී ඇති නැති බව,බිදුණු අස්ථිය නැවත මුල් තත්වයට ගැනීම(Reducing) සඳහා ලබා දිය යුතු බලය සහ බලය ලබාදිය යුතු දිශාව යන කාරණා නිර්ණය කළ යුතු වේ. වෛද්‍යවරයාගේ පුහුණුව සහ කුසලතාවය මත අස්ථි බි¼දීම හා සුව වීමට ගතවන කාලය සාමාන්‍යයෙන් සති 3ත් 5ත් අතර කාලයක් වේ. සමහර අවස්ථාවලදී ඇති විය හැකි විවිධ සංකූලතා සමඟ කාලය දීර්ඝ වන්නට පුළුවන.

ආරම්භයේදී පාරම්පරික කැඩුම බිඳුම් සඳහා නියම කර ඇති තෙල් මඟින් තෛල අභ්‍යංගයක් සිදුකොට එමඟින් වේදනාව සහි ඉදිමුව මදක් අඩු වූ පසු නියමාකාරයෙන් දිශාවකට අදාළ පරිදි බලය යොදා විස්ථාපනය වූ අස්ථි කොටස මුල් පිහිටුමට නැවත ගෙන ආ යුතු වේ. ඉන් පසුව පතුරු තබා වෙලීම කළ යුතුය. පළමු ප්‍රතිකාරයෙන් පසුව ක්‍රමයෙන් යොදන පත්තු මාරු කරමින් වෙලීම සිදුකළ යුතුයි. බිඳීම හාවීමත් සමඟ යෙදිය යුතු පාරම්පරික ඖෂධ වර්ග වෙනස් වන්නට පුළුවන. පත්තු යොදා පතුරු තබා බැඳීමෙන් අත බෙල්ලේ එල්ලා නිශ්චලව සම්පූර්ණ කාලය තුළම තබාගත යුතු වෙනවා. එහෙත් මෙහිදී උරහිසෙහි සහ ඇඟිලිවල සන්ධි තදවීමක් සිදුවිය හැකි නිසා ඇඟිලිවලට සහ උරහිසට අදාළ ව්‍යායාම කිරීමද අත්‍යවශ්‍යයි. මෙලෙස නියමාකාරයෙන් ප්‍රතිකාර කිරීමෙන් පසුව රෝගියාට සම්පූර්ණ සුවය ලබාගෙන තමාගේ එදිනෙදා කටයුතුවල නිරතවීමේ හැකියාව පවතී.

 

මේ වර්ගයේ අස්ථි බි¼දීම්වලදී ඇති විය හැකි සංකූලතා අස්ථිය නිසි පරිදි හා නොවීම

ප්‍රතිකාර කිරීමට කල්ගතවීම, දියවැඩියාව සහ අනෙකුත් පරිවෘත්තීය ක්‍රියා ආශ්‍රිත රෝගාබාධ, ඔස්ටියොපොරෝසිස් රෝගී තත්ත්වය අස්ථි ඝනත්වය අඩුවීම, අස්ථි ආශ්‍රිතව පවතින වෙනත් රෝගාබාධ සහ පෝෂණ ඌනතාවයන් නිසා බිදුණු අස්ථිය නිවැරදිව හාවීම සිදුනොවේ. මෙහිදී ඊට හේතුව ඇති කාරණා සොයා බලා ඒ සඳාහාද ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍යය වේ.

අස්ථිය වැරදි පරිදි හා වීම

අස්ථි බිඳීමේදී ඇතිවූ සංකීර්ණ භාවය, විස්ථාපනය වූ අස්ථි කොටස් නැවත මුල් තත්ත්වයට ගෙන ඒමේදී සිදුවූ අඩුපාඩු සහ අස්ථිය නැවත මුල් තත්ත්වයට ගෙන ඒමේ දී අස්ථි කොටස් එක මත එක පිහිටීම කියන කාරණා නිසා බි¼දීම නිසි කාලය තුළ හාවීමක් සිදු වුවද අස්ථි දිශානතිය වෙනස් වී පිහිටීම මෙහිදී සිදුවේ. මෙවැනි අවස්ථාවලදී බොහෝ විට සුව වීමෙන් පසුව මැණික් කටුව සන්ධිය ආශ්‍රිතව නැමීම සහ දිගහැරීම වැනි චලනවල පරාසයන් අඩුවීම දක්නට ලැබේ.

 

සන්ධි ප්‍රදායික තත්ත්වය ඇතිවීම

මැණික් කටුව සන්ධියේ සන්ධි කුහරය තුළට දිශානති වන ආකාරයට සිදුවන මේ වර්ගයේ අස්ථි බි¼දීම්වලදී , අරාස්ථියේ පහළ කෙළවර කාටිලේජ් කොටස විනාශ වීමක් සිදුවිය හැකිය. මේ නිසා බිඳීම සිදුවූ පසුව සන්ධි ප්‍රදායික රෝගී තත්ත්වය ඇති විය හැක. එවැනි අවස්ථාවලදී වෛද්‍යවරයා විසින් ද්විතීකව හටගත් මේ රෝගය සඳහාද ප්‍රතිකාර කළ යුතු වේ.

 

ස්නායු අවහිරතා ඇතිවීම

මේ වර්ගයේ අස්ථි බිදීම්වලදී මැණික් කටුව සන්ධියට ආසන්නයේ පවතින මීඩියන් ස්නායුව සහ රේඩියල් ස්නායුව තෙරපීමකට හෝ හානි වීමකට ලක්වන්නට පුළුවන. එවැනි අවස්ථාවලදී හිරිවැටීම, දැනීමේ සහ සංවේදනයේ දුර්වලතාවයන් සහ ආබාධයට ලක් වූ ස්නායු මඟින් ක්‍රියාත්මක වන පේශීන්වල දුර්වලතාවය මුල සිටම හෝ පසුව ඇතිවන්නට පුළුවන. එවැනි අවස්ථාවලදී චීන කටු වෛද්‍ය ක්‍රමය මඟින් මේ තත්ත්වයන් සමනය කර ගැනීමේ හැකියාව පවතී.

 

මැණික් කටුව, වැලමිට සහ උරහිස ආශ්‍රිත සන්ධිවල අවහිරතාවය

ප්‍රතිකාරමය ක්‍රියාවලියේදී අත නිශ්චලව තබාගත යුතු නිසා චලන අඩුවීමෙන් අස්ථි බිඳීම සුව වූ පසුවද ඉහතින් සඳහන් කළ සන්ධිවල අවහිරතාවයන් ඇති වීමට පුළුන. සුව වීමට ගතවන කාලය තුළදී සහ සුවවීමෙන් පසුව බිඳුණු අස්ථියට හානියක් නොවන පරිදි අදාළ ව්‍යායාම කිරීමද කළ යුතුයි.

 

පාරම්පරික දේශීය කැඩුම් බිදුම් සහ

චීන කටු වෛද්‍ය

ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.