රෝගාබාධ රැසකට ගුණදෙන තිත්ත ලබු

අප්‍රේල් 21, 2023

රෝගබාධ රාශියකට ගුණ දෙන ඖෂධ යෝග රාශියක් සඳහා උපයෝගී කර ගනු ලබන ද්‍රව්‍යයක් වශයෙන් තීත්ත ලබු හැඳීන්විය හැකිය. ලබු විශේෂ කිහිපයක් වන අතර, ඒ අතුරින් තිත්ත ලබු එක් විශේෂයක් ලෙස හැඳීන්විය හැකිය.

වැවෙන ප්‍රදේශ

 

විදේශිය වශයෙන්

ඉන්දියාවේ සියලුම ප්‍රදේශවල වැවෙන ලතාවකි.

දේශිය වශයෙන්

ශ්‍රී ලංකාවේද සියලු ප්‍රදේශවල පාහේ දැකිය හැකි ලතාවකි.

තීත්ත ලබු පිළිබඳව විවිධ භාෂාවලින් හඳුන්වන නාම

පොදු සිංහල නාමය

තීත්ත ලබු වෙයි. මෙහි ලබු යනු අලාබු යන්නෙන් බි¼දී ආවෙකි. මෙහිදි තික්ත රසය ඇති වර්ගය තිත්ත ලබු වශයෙන් හඳුන්වයි.

සංස්කෘතික බසින්

ඉක්ෂ්වාකු, කටුතුම්බී, මහාඵලා, තික්තාලුබු, කුම්බී, පිණ්ඩඵලා, කටුකාලාබු, තික්තේක්ෂ්වාතු ආදි නාමයන් යෙදේ. මේ අතුරින්

මහාඵලා - ලොකු ගෙඩි ඇති වර්ගය

පිණ්ඩඵලා - වටකුරු ගෙඩි ඇති වර්ගය යනුවෙන් හඳුන්වයි.

හින්දි බසින්

කිති ලෞකී කවුවාලෞකී යනුවෙන් ද

වංග බසින්

තිත්ලාඋ යනුවෙන් ද

ඉංග්‍රීසි බසින් Bitter Apple ~ƒ Bitter Gourd යනුවෙන් යෙඳේ.

තිත්ත ලබුවල උද්භිද විද්‍යාත්මක නාම-

Lagenaria siceraria standle සහ Coc cynthis vƒ lgarig schrad වන අතර

කුලය -Cucurbitaceae හෙවත් කෝශාතකී කුලය වේ.

මෙම කෝශාතකී කුලයට අයත් අනෙකුත් ඖෂධීය තුරුලතා අතර පුහුල්, කෝවක්කා, ගොන්කැකරී, කැකිරී, දියලබු, තික්ත වැටකොලු, දේවද්‍රලී කරවිල, තුඹ කරවිල, හොඩල, දුම්මැල්ල සහ වැල් රසකිඳ ආදි වශයෙන් විශාල ප්‍රමාණයක් වේ.

තිත්තක ලබු ප්‍රභේද

1. කටුතුම්බි - තිත්ත ලබු

2. දියලබු වශයෙන් ප්‍රභේද 2 කි.

තිත්ත ලබු ස්වරූපය

මෙය හැඩහුරුකමින් දියලබු හා සමානකම් දක්වයි.

තිත්ත ලබුවල ඖෂධීය අංග

ගෙඩි කොළ සහ ඇට ආදියයි.

තිත්ත ලබුවල අඩංගු රසානික උපාද්‍රන අමු ගෙඩියේ 90.36% න් ජලයද වියළි ගෙඩියේ සැපොනින් (ඉචනධදඪද) ඊතර් එක්ස්ට්‍රැක්ට් සහ ඇල්බ්‍යුමිනොයිඩ් ආදියද අන්තර්ගතය.

ඖෂධීය වටිනාකම

තිත්තක ලබු ඖෂධීය වශයෙන් ඉතා ඇත අතීතයේ සිටම ප්‍රයෝජනයට ගනු ලැබු බව මූලික සංහිතා ග්‍රන්ථ පරීශීලනයෙන් පැහැදිලි වේ.

එනම් චරක සංහිතාවේ සූත්‍ර ස්ථානයේ සහ චිකිත්සා ස්ථානයේද සුශ්‍රැත සංහිතාවේ සූත්‍ර ස්ථානයේ සහ චිකිත්සා ස්ථානයේද අෂ්ටාංග හෘදය සංහිතාවේ. සූත්‍ර ස්ථානයේ සහ උත්තර ස්ථානයේද තිත්ත ලබු ගැන විවිධ ගණ සහ යෝගවලට දක්වා තිබීමෙන් එය පැහැදිලි වේ.

තිත්ත ලබු රසයෙන් තික්ත හා කටුක වන අතර ගුණයෙන් ලඝු තීක්ෂණ සහ රූක්ෂ වේ.

වීය්‍යීයෙන් ශීත වන අතර විපාකයෙන් කටුක වේ.

දෝෂ අනුව සැකසීමේදී

සෙම් හා පිත් පිළිබඳව සංශෝධනය සහ සංශමනයද සිදු කරන අතර, විශේෂයෙන්ම සෙම් පිත්තජ රෝගවලදී යොදනු ලබයි.

ශාරිරික ව්‍යුහාගත ක්‍රියා

බාහිර වශයෙන්

තිත්ත ලබු ශිරෝ විරේචන, ජන්තුස්න, ශෝථහර(ඉදිමුම් නසන) ගුණවලින් යුතු අතර, තිත්ත ලබු බීජවල තෛව ව්‍රණ ශෝධන සහ කෘෂ්ඨස්න(කුෂ්ඨ නසන) ගුණවලින් යුතුය. මෙනිසා කාමාලාවේදී මෙන්ම සෙම දෝෂය නිසා හටගත් ශීරෝ රෝගයේදීත් නස්‍ය වශයෙන්ද දන්ත කෘමි ආබාධ (දත් පණුවන් කෑම) වලදී ගංඩූෂ වශයෙන් තිත්ත ලබු යුෂය යොදනු ලබයි. එසේම මෙහි තෙල ඉදිමුම්, ග්‍රන්ථී, ගංඩමාල, ව්‍රණ, කුෂ්ඨ ආදි අවස්ථාවල ආලේපනයක් ලෙස ප්‍රයෝග කළ හැකිය

 

අභ්‍යන්තර වශයෙන් ආහාර පරිපවන ව්‍යුහාවේදී

තියුණු වමන කාරක ගුණය සහ හේදන ගුණයෙන් යුතුය. මෙ නිසා වමනයෙන්, විරේචනයත් උදෙසා මෙහි මාංසය ඇට සහ කොළ යන තුන් වර්ගයම උපයෝගී කරගනු ලබයි. තවද කාස, ශ්වාස, විෂ වමන ජ්වර(උණ) මූර්ච්ජා ආදියේදී සහ සෙම හා පිත් කෝපයෙන් උපදින සෙසු රෝගවලදී ද සංශෝධනය උදෙසා මෙය උචිත පරිදි යොදනු ලබයි.

රුධිර සංසරණ ව්‍යුහාවේදී

ලේ පිරිසිදු කරන හා ඉදිමුම් නසන ගුණ යුතුය. එනිසා ලේ දුෂිත රෝග වලදී සහ ඉදිමුම් අවස්ථාවලදී මෙය යෙදිය හැක. ඉදිමුම්වලදී මෙහි මුල් ඉතා විශිෂ්ට ලෙස ක්‍රියා කරයි.

 

ශ්වසන ව්‍යුහාවේදී

තිත්ත ලබු සෙම් පිටකරන ගුණ යුතු අතර, කාස සහ ශ්වාස රෝග වලදී උපයෝගි කර ගනු ලබයි. මෙය යෙදුවිට ඉතා පහසුවෙන් සෙම බැහැර වෙයි. රෝගියා හට විවේකයක් ලැබුනාක් මෙන් තත්ත්වයක් ඇතිවේ.

චර්ම ව්‍යුහාවේදී

සමේදී කුෂ්ඨ නසන ගුණ යුතු නිසා සියලු කුෂ්ඨ රෝගවලදී මෙය යෙදීමෙන් ඉතා විශිෂ්ට ප්‍රතිඵල ළඟාකර ගත හැක.

මේ අතර, උණ නසන ගුණ යුතු නිසා සාමාන්‍ය උණේදී සහ සෙම් පිත්තජ උණේදි යොදනු ලබයි.

තවද විෂ නසන ගුණ යුතු නිසා වස විෂ කැවුණු විට සංශෝධනය සඳහා මෙන්ම විෂවල ශක්තිය හා බලය නසනු සඳහා මෙන්ම විෂවල ශක්තිය හා බලය නසනු සඳහා ද මෙය යොදාගනු ලබයි.

මේ ආදි ශාරීරික ව්‍යුහා ආශ්‍රිතව ඉතා හොඳීන් ක්‍රියා කරන ද්‍රව්‍යයක් වශයෙන් තිත්ත ලබු හැඳීන්විය හැක.

තිත්ත ලබුවල ඖෂධාංග අඩංගු ඖෂධ ප්‍රයෝග

ආර්ශස් සඳහා

තිත්ත ලබු සහ රෝමක ලුණු සම සමව ගෙන කාඩ්වලින් අඹරා ඉන් ගුළි තුනක් සාදා තබා ගෙන පිට පිට දින තුනක් ගුද මාර්ගයේ ඇතුල් කර තැබීමෙන් අර්ශස් සුළු කලකින් සමනය වේ.

අශ්මරී සඳහා

1. තිත්ත ලබු ඇට චුර්ණය මී පැණියෙන් අනා බැටළු කිරි සමඟ සත් දිනක් ගැනීමද

2. තිත්ත ලබු යුෂයට සීනි සහ යවකර ලුණු දමා බීමද ඉතා ගුණදායකය.

 

ගලගණ්ඩයට සඳහා

පැසුණු තිත්ත ලබු ගෙඩියක් තුළට ජලය හෝ සුරා හෝ දමා සතියකින් පසු බීමට දීමෙන් ගලගණ්ඩය සමනය වේ.

 

ප්‍රදර රෝගයට සහ දත් පණුවන් කෑමට

තිත්ත ලබු ඇට සීනි සමඟ අනා මී පැණියෙන් අඹරා ගුළි සාදා කෑම ඉතා ගුණදායකය.

 

නාසා අර්ශස් සඳහා

තිත්ත ලබු මුලක් ඇල්දියෙන් අඹරා නස්න කිරීම ගුණදායකය.

 

යෝනි රෝගයට

1. තිත්ත ලබු කොළ හා ලොත් සුඹුළු සම සමව ගෙන අඹරා යෝනිය තුළ ගැල්වීමද ඉතා ගුණදායක.

 

ඖෂධීය මාත්‍රා

තිත්ත ලබු ස්වරසය කර්ෂ 1/2 -1 දක්වා බීජ චුර්ණය රක්තිකා 6 - 18 දක්වා

මේ ආදි වශයෙන් තික්ත ලබු ඖෂධීය වශයෙන් අතිශයින් ප්‍රයෝජන ගෙන දෙනු ලබන ද්‍රව්‍යයක් වශයෙන් ප්‍රයෝජන ගෙන දෙනු ලබන ද්‍රව්‍යයක් වශයෙන් හැඳින්වීමට පුළුවන.

මේ අතර අහිගුණ්ඨිකයන් නයි නැටවීම සඳහා යොදාගනු ලබන නයිනලාව සාදා ගනු ලබන්නේද තික්ත ලබු කටුවලිනි.

මේ අනුව පැහැදිලි වන්නේ තිත්ත ලබු යනු ඖෂධීය වශයෙන් මෙන්ම තවත් බොහෝ ප්‍රයෝජන ගෙන දෙනු ලබන ද්‍රව්‍යයක් බවයි.

මෙ නිසා අපට ඉතා වැදගත් ඖෂධීය තුරුලතාවක් වශයෙන් තිත්ත ලබු හැඳීන්විය හැකි අතර, මෙය සුදුසු අවස්ථාවල සුදුසු මාත්‍රාවකින් යෙදීමෙන් බොහෝ රෝගවලින් සමනය ළගා කර ගත හැකි වේ.

මෙ නිසා මෙවන් අගනා ඖෂධ හොඳින් හඳුනාගෙන ඒවා ව්‍යාප්ත කිරීමෙන් සංරක්ෂණය කිරීමත් තුළින් මෙවන් ඖෂධ ආරක්ෂා කරගත හැකි අතර, එය රෝග නිවාරණයට ද බෙහෙවින් වැදගත් වේ.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ

කථිකාචාර්ය, වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.