සර්ප දෂ්ඨනයකදී කළ යුත්තේ කුමක්ද?

ඔක්තෝබර් 27, 2023

ආයුර්වේදයේ සහ පරිසරය අතර ඇත්තේ වෙන් කළ නොහැකි සම්බන්ධතාවයකි. අපි සියලු දෙනාම දිගු කලක් ජීවත්වීමට කැමැත්තෙමු. ශ්‍රී ලංකාව ස්වභාවික පරිසර පද්ධතීන්ගෙන් පොහොසත් රටකි. බොහෝ සතුන් හා සර්පයින් මෙහි ජීවත් වෙති. විෂ සහිත සර්පයින් නිසා එදිනෙදා ජීවිතයේදී මුණ ගැසෙන සතුන් අතරින් මිනිස් ජීවිතවලට හානි විය හැකිය.

පැරැන්නන් තම නිරෝගීකම ආරක්ෂා කර ගත්තේ පරිසරයේ ශාඛ වර්ග ප්‍රයෝජනයට ගැනීමෙනි.

 

ආයුර්වේදය සහ සර්ප විෂ වෙදකම

 

ආයුර්වේදය තුළ දී ප්‍රධාන විෂ ප්‍රභේද හතරක් වෙන් වෙන්ව දක්වා ඇත. සර්පයින් මීයන්, බළලුන්, ගෝනුස්සන් වැනි සියලුම සතුන් මඟින් ඇතිවන විෂ, ජංගම විෂ යන කාණ්ඩය යටතේ ද ශාක සහ වෙනත් ඛනිජ ද්‍රව්‍ය නිසා ඇතිවෙන විෂ තත්ත්වයන් ස්ථාවර විෂ යන කොටස යටතේ විස්තර කර ඇත. මෙහි දී ශරීරයට අහිතකර විෂ ප්‍රභේදය මෙන්ම ඖෂධ සඳහා භාවිත වන විෂ සහිත ශාක සහ ඛනිජ ද්‍රව්‍ය ආදිය පිළිබඳව වැඩිදුර විස්තර කිරීම් කර ඇත. කෘත්‍රිම විෂ ලෙස විස්තර කර ඇත්තේ මිනිසා විසින් විවිධ සංයෝග මිශ්‍ර කරමින් නිර්මාණය කර ඇති විෂ ප්‍රභේද පිළිබඳවයි. එමෙන්ම දුශී විෂ යටතට දක්වා ඇත්තේ ශරීරයට යම් උග්‍ර විෂක් ඇතුළු වීමෙන් පසුව එය සම්පූර්ණයෙන්ම ශරීරයෙන් ඉවත් නොකිරීම නිසා පසුකාලීනව එම විෂ ප්‍රභේදය නැවත සක්‍රිය වී ඇති කරන තත්ත්වයන් පිළිබඳවයි. මෙහිදී විශේෂයෙන් සර්පයින් දෂ්ඨ කිරීම් නිසා ඇතිවන විෂ පිළිබඳව සරල ව සාකච්ඡා කෙරෙයි.

 

සර්පයන් දෂ්ඨ කිරීමට හේතුව කුමක්ද?

 

මේ සඳහා ප්‍රධාන හේතු දෙකක් ඉදිරිපත් කළ හැකිය. පළමුවැන්න නම් ආහාර සඳහා සතුන් ගොදුරු කර ගැනීමේදී ම ප්‍රතිවාදී සත්ත්වයාව අඩපණ කිරීම සඳහා සිදු කරන දෂ්ට කිරීම් ය. දෙවැන්න නම් සතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා සිදුකරන දෂ්ඨනයි. මෙහිදී මිනිසා පිළිබඳව සැලකීමේදි සර්පයින් විසින් මිනිසාට දෂ්ඨන සිදු කරන්නේ බිය වීම නිසාය.

 

සියලුම සර්ප දෂ්ඨනයන් විෂ සහිතද?

 

ආයුර්වේදය තුළදී සර්පයින්ගේ බාහිර ලක්ෂණ, විෂ දළවල පිහිටීම්, දෂ්ඨනයෙන් පසු ශරීරය තුළ ඇති කරන විශේෂ ලක්ෂණ ආදිය සලකා බලා විශේෂ වර්ගීකරණයක් දක්වා ඇත. සර්ප විෂවල ප්‍රබලතාවය සහ මරණ අනුපාතය සලකා නිර්මාණය කර ඇති නිර්විෂ, මඳ විෂ , මධ්‍ය විෂ, උග්‍ර විෂ යන වර්ගීකරණය බහුලව වර්තමානයේ දී භාවිත වේ. මේ වර්ගීකරණය සඳහා සර්පයින් ඇතුළත් කිරීමේදි එක් එක් කාලවල දි විවිධ නිර්ණායක හඳුන්වා දෙමින් පවතී. ඒ සර්පයාගේ විෂ ශරීරගත වීමෙන් පසු ලක්ෂණ ඇති කිරීමට වන රසායනික ද්‍රව්‍ය, ප්‍රබල නොවූ අදාළ සර්පයාගේ දෂ්ඨන ප්‍රමාණය සහ එම දෂ්ඨන නිසා පසුකාලීනව හෝ සංකූලතා ඇතිවීමේ ප්‍රවණතාවය ආදි කරුණු පාදක කරගෙනයි. සියලුම සර්පයන්ට විෂ ග්‍රන්ථි සහ දළ නොමැති අතර, එම හේතුවෙන් සියලුම සර්ප දෂ්ඨනයන් විෂ බව දැක්විය නොහැකිය.

 

ශ්‍රී ලංකාවේ බහුලව සිටින විෂ සහිත සර්ප කාණ්ඩ මොනවාද?

 

වර්තමාන තත්ත්වය සැලකූ විට නාග විශේෂ, පොලොඟුන් විශේෂ, කුණකටුවන් සහ කරවලුන් යන සර්ප විශේෂ සැලකිය හැකිය. විෂවල ප්‍රබලත්වය සැලකූවිට තෙල් කරවලා, මූදුකරවලා, තිත් පොළඟුන් සහ වැලි පොළඟුන්ගේ විෂ ක්ෂණික මරණයට හේතුවන තරම් මාරාන්තික වේ. නමුත් දෂ්ඨන සැලකූවිට පොළඟුන් සහ කරවලුන් යන සර්පයන්ගේ දෂ්ඨන ඉතාම අවම මට්ටමක අවම තත්ත්වයක පවතී. නාග දෂ්ඨනවලට වඩා මේ වන විට බහුලව සිදුවන්නේ කුණකටුවන් ගෙන් සිදුවන දෂ්ඨනයි. මේ හේතුව නිසාම පසුකාලීනව මඳ විෂ කාණ්ඩයේ සිටි කුණකටුවා මේ වන විට උග්‍ර විෂ කාණ්ඩ යටතේ වර්ගීකරණය වන සර්පයකු බවට පත් කර ඇත. එයට හේතුව නම් කුණකටුවාගේ විෂ ක්ෂණික මරණයට හේතු නොවුවත් දෂ්ඨනයෙන් පසුකාලීනව ඇතිවන සංකූලතා නිසා සිදුවන මරණ ප්‍රතිශතය ඉහළ යාමයි.

ලේ මාපිලා, නිදි මාපිලා, ගැරඬි සහ ඇහැටුල්ලන් වැනි සර්ප විශේෂ පිළිබඳවද විවිධ මිථ්‍යා මත සමාජගත වී තිබුණ ද මේ සර්පයන් ඉතා සුළු විෂ හෝ නිර්විෂ සාමකාමී සතුන් වේ. මෙම නිසා මෙවැනි සර්පයන් මරා දැමීම නොකළ යුත්තකි.

 

අප විසින් සර්පයන් රැකගත යුත්තේ කුමන හේතුවක් නිසාද?

 

සර්පයන් යනු ස්වභාවධර්මය විසින් හඳුන්වා දී ඇති ස්වාභාවික පළිබෝධනාශකයයි. වගාවන්ට සහ ආර්ථික වශයෙන් ධාන්‍ය ආදියට හානිකර මීයන්, කුරුමිණියන් වැනි පළිබෝධකයන් සහ කෘමීන් ගහනය පාලනය කිරීම සිදුවන්නේ සර්පයන් මඟිනි. සර්පයන් විෂ සහිත නොවුණත්, දුටු සැණින් බොහෝ විට මරා දමනු ලැබේ. පෙර සඳහන් කළ පරිදි සමාජීය හා සංස්කෘතික මතවාද සහ සර්ප දෂ්ඨ කිරීම්වලට ඇති බිය සර්පයන් කෙරෙහි අපගේ ආකල්ප, මිනිස් සර්ප ගැටුමට තුඩු දෙයි. එහෙත් සර්පයන් අපගේ පරිසර පද්ධතියේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර, අපට ආර්ථික හා ආරක්ෂණ ප්‍රතිලාභ ලබා දෙයි. අපගේ සමාජය සෞඛ්‍ය සම්පන්න කිරීම සඳහා ජෛව විවිධත්වය තුළ සර්පයන්ගේ වැදගත්කම අගය කිරීමට අප දැන් පටන් ගත යුතු කාලයයි.

 

නිර්විෂ සහ විෂ සර්පයන් වෙන් කොට හඳුනා ගන්නේ කෙසේද?

 

මේ සඳහා පොදුවේ සලකන නිර්ණායක කිහිපයක් ඇත. නිර්විෂ සර්පයන් ගේ හිස තරමක් රවුම් වන අතර, විෂ සර්පයින්ගේ හිස බොහෝවිට ත්‍රිකෝණාකාර හැඩයක් ගනී. නිර්විෂ සර්පයින්ගේ බඳ ප්‍රදේශය සාපේක්ෂව තරමක් සිහින් වන අතර, සිලින්ඩරාකාර හැඩයක් ගනියි. දිගින් තරමක් වැඩිය. විෂ සර්පයන් සැලකූ විට බඳ ප්‍රදේශය තරමක් මහත් වන අතර, බඩ ප්‍රදේශය පැතලි ස්වභාවයක් ගනියි. වල්ගා ප්‍රදේශය සැලකූවිට නිර්විෂ සර්පයින්ගේ වලිගය තරමක් දිගු වන අතර, බඳෙහි පවතින කොරළ වලින්ම වල්ගය ආවරණය වී ඇත. එලෙසම ක්‍රමයෙන් සිහින්ව තියුණූු අග්‍රයකින් කෙළවර වෙයි. නමුත් විෂ සර්පයින්ගේ වල්ගය සාපේක්ෂව කෙටි වන අතර, බඳ ප්‍රදේශයට වඩා වෙනස් කොරළවලින් ආවරණය වී ඇත. නිර්විෂ සර්පයින්ගේ මෙන් ක්‍රමයෙන් සිහින්ව කෙළවර නොවී රවුම් ආකාරයෙන් වල්ගය කෙළවර දැකිය හැකිය. විෂ දළ පිහිටන්නේ විෂ සර්පයින්ට වන අතර, නිර්විෂ සර්පයින්ට පවතින්නේ දළ වෙනුවට දත් ය. එම නිසා සර්ප දෂ්ඨනයකදී සර්පයා හඳුනා ගැනීම සඳහා දෂ්ඨ කළ ස්ථානය නිරීක්ෂණය කිරීම යොදා ගත හැකිය. දළ ප්‍රහාරයක් නම් එම ස්ථානයේ තිත් දෙකක් වැනි සලකුණූ දැකිය හැකිය.

දෂ්ඨ ස්ථානයේ දත් පහරවල් සහ අක්‍රමවත් ලෙස තැනින් තැන රුධිරය ගලා යනවා නම් එය නිර්විෂ සර්පයකුගේ දත් නිසා සිදු වූවක් බව හඳුනාගත හැකිය. මීට අමතරව එක් එක් සර්ප විශේෂයන්ට අනන්‍ය වූ විශේෂ ලක්ෂණ ද හඳුනාගත හැකිය. උදාහරණ ලෙස නාගයින්ගේ හිසෙහි පවතින රටා සහ කෝප වූ විට පෙනය පිම්බීම, මෙන්ම පොළොඟුන්ගේ බඳ ප්‍රදේශයේ විශේෂ රටාවකට පවතින කොරළ වර්ණ පිහිටීම මෙන්ම කරවලුන්ගේ බඳ ප්‍රදේශයේ මුදු ආකාරයෙන් පවතින සුවිශේෂි සුදු පැහැති කොරළ මෙන්ම ශරීරය මැද නාරටිය දිගේ පවතින ෂඩාස්‍රාකාර සුවිශේෂි කොරළ පිහිටීම දැක්විය හැකිය. එමෙන්ම දෂ්ඨන ඉතා බහුල වන කුණකටුවා සැලකූ විට හිසෙහි කෙළවර පවතින විශේෂ ග්‍රන්ථි ආකාර නෙරීම මේ සර්පයා වෙන් කොට හඳුනා ගැනීමට උපකාරි වේ.

 

සර්ප දෂ්ඨනයක් සිදුවූ විට සර්පයාව නිවැරදිව හඳුනාගත යුත්තේ ඇයි?

 

මේ සඳහා විශේෂ හේතු කිහිපයක් පවතින අතර, වර්තමානයේ බහුලව භාවිත වන ප්‍රතිවිෂ ඖෂධ එක් එක් සර්ප විශේෂය සඳහා වෙන් වෙන්ව පවතින අතර, සර්පයා නිවැරැදිව හඳුනාගත නොගතහොත් නිවැරැදි ප්‍රතිවිෂ ඖෂධය ලබා දීම සිදු කළ නොහැකිය. නොගැළපෙන ප්‍රතිවිෂ ඖෂධයක් ලබා දීම මඟින් රෝගියාගේ ජීවිතයට තර්ජනයක් ඇති විය හැකිය. ආයුර්වේදයට අනුකූලව සැලකූ විට සර්පයා හඳුනා ගැනීමේදී රෝගියා දක්වන ලක්ෂණ මඟින් වෛද්‍යවරයාට ද හඳුනාගත හැකි නමුත් රෝගියා හෝ රෝගියා රැගෙන පැමිණෙන අය විසින් නිවැරදි ලෙස සර්පයාව හඳුනාගෙන තිබුණහොත් එම ප්‍රතිකාරය ඉක්මන් වනු ඇත.

 

සර්ප

දෂ්ඨනයකදී සිදු කළ යුත්තේ කුමක්ද?

 

මෙහිදී පළමුව රෝගියාව සන්සුන් කිරීම ඉතාම වැදගත්ය. ඔහු හෝ ඇය බිය වූ විට රුධිර ගමනාගමනය ශීඝ්‍ර වන බැවින් විෂ ශරීරය පුරා පැතිරීම එමඟින් වැඩි වනු ඇත. එම නිසා රෝගියා සන්සුන් කළ යුතුයි. කොපමණ උග්‍ර විෂ සර්ප දෂ්ඨනයකදී වුවද එම සර්පයා එතරම් විෂ සර්පයකු නොවන බව රෝගියාට ඒත්තු ගැන්විය යුතුයි. එමෙන්ම දෂ්ඨ මුඛය සබන් යොදා ගලා යන ජලයෙන් පිරිසුදු කළ යුතුය. රෝගියාට සර්පයා නොපෙනෙන ස්ථානයක හාන්සි කරවිය යුතුයි. දෂ්ඨ කළ ස්ථානය නොසෙල්වෙන සේ තැබිය යුතුයි. තද ඇඳුම් ඇඳ ඇඳගෙන සිටිනවා නම් ඒවා බුරුල්කිරීම හෝ ඉවත් කිරීම කළ යුතුයි. අත් ඔරලෝසු, මුදු වැනි දෑ පැළඳ සිටිනවා නම් ඒවා ද ඉවත් කළ යුතුයි. ශ්වසනය අපහසු නම් කෘතිම ශ්වසනය දීම ද කළ යුතුය. මේ අතරතුර රෝගියාව වහා ප්‍රතිකාර සඳහා යොමු කිරීම ඉතා අත්‍යවශ්‍ය වේ.

 

සර්ප දෂ්ඨනයකදී සිදු නොකළ යුත්තේ මොනවාද?

 

සර්පයා හඳුනා ගැනීම සිදු කළත් නොකළත් ඒ පිළිබඳව රෝගියාට ඇසෙන පරිදි කතා කොට ඔහුව හෝ ඇයව කලබලයට පත්කිරීම සිදු නොකළ යුතුයි. එමෙන්ම දෂ්ඨ කළ ස්ථානය තෙරපීම වැනි දෑ නොකළ යුතුයි. එම ස්ථානය තද වන පරිදි එම ගැටගැසීම වැනි දෑ නොකළ යුතුයි. විශේෂයෙන්ම සර්පයාට පහරදීම හෝ මරා දැමීම් නොකළ යුතුයි. ආයුර්වේදයට අනුව දෂ්ඨ කළ ස්ථානයට ඉහළින් බන්ධන යෙදීම, දෂ්ඨ කළ ස්ථානය විවෘත කර විෂ ඉරීම වැනි දෑ විස්තර කළ තිබුණද එය නොදන්නා අයෙකු විසින් සිදු කළ හොත් රෝගියාගේ තත්ත්වය බරපතළ වීම සිදු විය හැකිය. එම නිසා සිදු කළ යුත්තේ වහාම රෝගියාව ප්‍රතිකාර සඳහා යොමු කිරීමයි.

 

ආයුර්වේදයට අනුව සර්ප විෂ සඳහා ප්‍රතිකාර කිරීම සිදුවන්නේ කෙසේද?

 

පොදුවේ ගත් විට ආයුර්වේද සර්ප විෂ චිකිත්සාව ප්‍රධාන උපක්‍රම 24ක් යටතේ සාකච්ඡා කොට ඇත. මේ උපක්‍රම අතුරින් යොදා ගන්නේ කුමන ක්‍රමයද, කුමන ඖෂධ ද එලෙසම කුමන ආකාරයේ චිකිත්සා පද්ධතියක් යොදා ගන්නවාද යන්න තීරණය වන්නේ දෂ්ඨ කළ ඇති සර්පයා මත, රෝගියාගේ තත්ත්වය මත, රෝගියාගේ ලක්ෂණ මත සහ රෝගියාග් ශරීර බලය , විෂ ශරීරගත වී ඇති ප්‍රමාණය, විෂ කලාව වැනි බොහෝ දේ සැලකිල්ලට ගැනීමෙන් පසුවයි. අතීතයේ පටන් සර්ප විෂ වෙදකම පාරම්පරික සිදුකරන බොහෝ දේශීය වෛද්‍යවරු මේ වන විටත් ලංකාව තුළ තම වෙද කටයුතු සිදු කරති. විෂ ගල් යොදා ගැනීම, විෂ ඉරීම, විවිධ ආලේපන වර්ග යොදා ගැනීම, අභ්‍යන්තරව ප්‍රතිවිෂ ඖෂධ යොදා ගැනීම, රෝගියාගේ තත්ත්වය බරපතළ නම් හිස් මුදුනට විවිධ ඖෂධ බැඳ තැබීම වැනි සුවිශේෂ චිකිත්සා ක්‍රම රාශියක් ආයුර්වේදය තුළ මෙන්ම දේශීය වෙදකම තුළ ද භාවිත වේ. මෙහි සුවිශේෂත්වය නම් දෂ්ඨ කළ අවස්ථාවේ විෂ ඉවත් කිරීම් හෝ විෂ නාශනය මෙන්ම පසුකාලීනව ශරීරය තුළ ඇති විය හැකි සංකූලතා සඳහාද වෙනමම චිකිත්සා ක්‍රම පද්ධතියක් ආයුර්වේදය තුළ යොදා ගැනීමයි. උදාහරණයක් ලෙස කුණකටු දෂ්ඨනයකදී එම රෝගියා මිය යන්නේ පසුකාලීනව වකුගඩු, හෘදය වැනි මර්මස්ථානවලට ඇතිවන අහිතකර බලපෑම් නිසාය. මරණයක් ඇති කිරීම සඳහා කුණකටු විෂ ප්‍රබල නොවුවද පසුකාලීනව ඇතිවන උපද්‍රව බහුල නිසා සර්ප දෂ්ඨන නිසා සිදුවන මරණ අතුරින් කණකටු දෂ්ඨ පළමු ස්ථානයේ පවතියි. ආයුර්වේදය තුළ කුණකටු දෂ්ඨනවලට සහ දෂ්ඨන නිසා ඇතිව උපද්‍රව පහළ වීම වළක්වා ගැනීම සඳහා මෙන්ම උපද්‍රව පහළ වුවහොත් එම සංකූලතා මඟහරවා ගැනීමට ද සුවිශේෂි චිකිත්සා පද්ධතියක් පවතියි.

 

සර්ප දෂ්ඨන වළක්වාගැනීම සඳහා අනුගමනය කළ යුත්තේ කුමක්ද?

 

පෙර සඳහන් කළ පරිදි සර්පයන් දෂ්ඨ කරන්නේ ගොදුරු සඳහා සහ ආරක්ෂාව පිණිසයි. විශේෂයෙන්ම මිනිසුන්ට පහර දෙන්නේ ආරක්ෂා වීම සඳහා ය. මේ නිසා රාත්‍රි කාලයේ ගමන් කරනවා නම් විදුලි ආලෝකයක් සහිතව බූට් සපත්තු පැළඳ යාමත් කැළෑ ප්‍රදේශවල ඇවිදිනවා නම් විශේෂයෙන් බූට් සපත්තු මෙන්ම සැරයටියක් රැගෙන යාමත් කළ යුතුය. සර්පයන්ට බාහිර කන් නොපිහිටින නිසා අනෙක් සතුන්ට මෙන්ම ශබ්ද ඇසෙන්නේ නැත. ඔවුන්ට දැනෙන්නේ පොළොව හා ගැටෙන ශබ්ද පමණයි. එ නිසා සැරයටියෙන් බිමට තට්ටු කරමින් ගමන් කිරීම මඟින් සර්පයින් එම ගමන් මඟට පැමිණීම වළක්වා ගත හැකිය. ගෙවත්ත පිරිසුදුව තබා ගැනීම මඟින් සර්පයන් ගෙවත්තට මෙන්ම නිවෙසට ඇතුළුවීම වළක්වා ගත හැකිය. සියලුම සර්පයින් මිනිසුන් මඟ හැර යාමට උත්සාහ කරන අතර, ඔවුන් නිවෙස්වලට හෝ ගෙවතුවලට ඇතුළු වන්නේ මීයන් වැනි සතුන් ගොදුරු කරගැනීම සඳහාය. එම නිසා ගෙවත්ත පිරිසුදුව තබා ගැනීම සර්පයන්ගෙන් විකර්ෂණය වීම සඳහා සුදුසු ක්‍රමයකි.

 

විෂ නසන කොළ

 

කරපිංචා, දිවුල් කොළ, බෙලි කොළ, පොල්පලා, නීරමුල්ලිය, වෙනිවැල්ගැට, සාරණ ගසේ පංචාංගය, රත්මල් ගසේ පංචාංගය කරපිංචා, දිවුල්, පොල්පලා, නීරමුල්ලිය කැඳ සාදා බීමට සුදුසු අතර සර්පයාගේ වර්ගය අනුව කැඳ වර්ග වෙනස් වේ.

 

විෂ ගල්

විෂ ගල් භාවිතය විද්‍යානුකූල ක්‍රමයකි. කලින් අල්ලන ලද ගලක් නම් හොඳින් සුද්ධ කර විෂ ඉවත් කළ එකක් විය යුතු අතර, හොඳම ක්‍රමය විෂක දී එක්වරකට වඩා විෂ ගලෙන් ප්‍රයෝජන නොගැනීමයි. විෂ ගලක් විෂ මැරීමට පොල් කිරෙහි ගිල්වීම ප්‍රමාණවත් නොවේ. එක් දෂ්ඨයක් සඳහා පාවිච්චි කළ ගලක් නම් නැවත ඇල්ලීමට කලින් දෙහි යුෂයෙහි ගිල්වා පැය හතරක් පමණ තබා පසුව වේලා සකස් කර ගන්න.

 

 

වෛද්‍ය ෂෙහාන් ජයසූරිය

කොළඹ විශ්වවිද්‍යාලය

 

සම්බන්ධීකරණය -ජයන්ති කුරේ 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.