ගත සිත සිසිල් කරන දොස් නසන කෝමාරිකා

මැයි 3, 2024

 

මේ දවස්වල පුදුම රස්නයක් නොවැ තියෙන්නේ. දවල්ට එලියට බහින්න වත් බෑ.දාඩියෙන් ඇඟ නෑවෙනවා. වෙන කාලවලට වඩා මේ සැරේ උෂ්ණය වැඩියි වගේ කියමින් විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වූ ජයසිංහ මහතා බෙහෙත් ශාලාවට ගොඩවූයේ එහි සිටි වෙද මහතා හමුවීමේ අටියෙනි.

ඔව් ජයසිංහ මහත්තයෝ කොහොමත් මේ කාලෙට ඉර අපිට ළඟින් නේ යන්නෙ.ඒ නිසා උණුසුම වැඩියි තමයි වෙද මහතා පිළිතුරු දුන්නේය

උෂ්ණය වැඩි නිසා ඇගටත් අමාරුයි .මොකක්ද වෙද මහත්තයෝ මේකට කරන්නේ .

ජයසිංහ මහත්තයෝ මේ දවස් ටික කොහොමත් උෂ්ණය වැඩි වෙනවා තමයි .ඒ නිසා වතුර වැඩිපුර බොන එක හොඳයි. ඒ වගේම වෙනත් පාන වර්ග ගැනීමත් හොඳයි බෙලිමල්, රණවරා, ඉරමුසු වගේ දේවල් තම්බලා බොන එක හුගක්ම හොඳයි’

එතකොට වෙද මහත්තයෝ කෝමාරිකාත් හොඳයි නේද .

ඔව් කෝමාරිකා කියන්නේ හොඳ ඔසුවක් සිරුරේ පවතින දාහය හෙවත් දැවිලි නසා උෂ්ණය සමනය කර සිරුර සිසිල් සහ මෘදු බව ඇති කරවන ඔසුවක් විදියටයි කෝමාරිකා හඳුන්වන්නේ.

ඒ වගේම ජයසිංහ මහත්තයෝ කෝමාරිකා වල ජන්ම භූමිය විදියට හදුන්වන්නෙ අප්‍රිකාව එසේම ඉන්දියාව. පාකිස්තානය ආදි රටවල් ප්‍රමුඛව ඝර්ම කලාපීය රටවල් වල ඉතා හොදින් වැවෙන ශාකයක් තමයි කෝමාරිකා.

දේශීය වශයෙන් ගත්තාම ශ්‍රී ලංකාවේ තෙත් සහ වියළි ප්‍රදේශවල වගේම යාපනය වගේ අධික වියළි ප්‍රදේශවලත් ඉතා බහුල වශයෙන් වැවෙන ශාකයක්.

වෙද මහත්තයෝ එතකොට කෝමාරිකා හැම ප්‍රදේශයකම මේ ආකාරයේ ප්‍රභේදයන්මද හැදෙන්නේ .

සාමාන්‍යයෙන් කෝමාරිකා සෙ.මි.30-40 දක්වා උසට වැවෙන පැළෑටියක්.මේවායේ පත්‍ර මාංසමය ඕජස් සහිත පිච්ජිල ස්වරූපයෙන් යුක්තයි.මේ පත්‍ර සෙ.මි.20-50 දක්වා දිගයි. පත්‍රවල පළල සෙ.මි 5-8 වනවා. පත්‍ර මුල සිට ක්‍රමයෙන් සීහින් වන අතර ළා කොළ පාටයි. ඒ වගේම පත්‍රයේ තැනින් තැන සුදු පාට ලප පවතිනවා .ඒ වගේම පත්‍රවල දෙපස මුවහත් කටි සහිතයි. එසේම මෙහි මල් කෙලින් සෑදෙන අතර ඒවා මංජරීයක් තුළ හටගනු ලබනවා. ඒ වගේම ජයසිංහ මහත්තයෝ කෝමාරිකාවලට යෙදෙන විවිධ නාමයන් රාශියක් තියෙනවා.

සංස්කෘත භාෂාවෙන් කුමාරි... ගෘහකන්‍යා...කන්‍යා... ඝෘතකුමාරි දීර්ඝපත්‍රිකා... කුමාරිකා...දණ්ඩපුෂ්පී... චක්ෂුෂ්‍යා... පිච්ජිල පත්‍රිකා ආදි නම් රාශියක් තියෙනවා. මෙයින් කුමාරිකා නාමයෙන් කෝමාරිකා නම සෑදුණ බව පෙනී යනවා. ඒ වගේම කාන්තා රෝගවලට ගුණ දෙන අගනා ඔසුවක් නිසා කුමාරි... කුමාරිකා ආදි නම් යෙදෙනවා

හින්දි භාෂාවෙන් කුමාරි සිඋමාරා, ග්වර පාඨා වැනි නම් යෙදෙනවා. දෙමළ භාෂාවෙන් කත්තාල නම යෙදෙන්නෙ කෝමාරිකා සඳහායි. ඉංග්‍රීසි භාෂාවෙන් Indian Aloe  නම යෙදෙනවා. කෝමාරිකාවල උද්භිද විද්‍යාත්මක නාමය Aloe indika Roycle  වන අතර කුලය වනුයේ LILIACEAE හෙවත් රසෝන කුලයයි.

ඒ වගේම කෝමාරිකා පැළෑටියේ ඖෂධාංග වන්නේ මදය ස්වරසය(යුෂ) සහ ඝන සරයි.

“එතකොට වෙද මහත්තයෝ කෝමාරිකාවල ඖෂධීය වැදගත්කම කොහොමද?”

කෝමාරිකා රසයෙන් තික්ත සහ මධුර රසයි. ගුණයෙන් ගුරු ..ස්නිග්ධ සහ පිච්ජිලයි.

වීර්‍යයෙන් ශීතලයි. විපාකයෙන් කටුකයි

මේ අනුව වාතය. පිත සහ සෙම යන තුන් දොස් ම සමනය වන නිසා තුන් දොස් නිසා හටගත් රෝග වලදි විශිෂ්ට ගුණ ලබා දෙනවා

බාහිර වශයෙන් සැලකුවාම

කෝමාරිකාවල ඉදිමුම් නසන සහ තුවාල සුව කරන ගුණ ඇති නිසා ඉදිමුම් සහ වේදනා සහිත රෝගවලදි තික්ත අබිං ආලේප කරනු ලබන අතර කෝමාරිකා මදය කහ කුඩු සමඟ අනා රත්කර ඉදිමුම් සහ වේදනා සහිත ස්ථානවල ආලේපයත් ප්ලීහෝදරවලදී ප්ලීහාව මත තබා බැඳීමත් ඉතා ගුණදායකයි.

විශේෂයෙන් කිව යුතු දෙයක් තමයි මේ තික්ත අබිං ලෙස ගනු ලබන්නේ කෝමාරිකා වල ඝණ සාරය කෝමාරිකාවල යුෂයෙන් ඇසට තෙපුල් දීමෙන් ඇස් රුදාව වැනි රෝග සමනය වෙනවා .

එසේම දැවිලි සහිත හිසරුදාවට කෝමාරිකා මද හිසට තබා බැදීමද, ඇස් රුදාවට මේ කෝමාරිකා මද ඇස උඩ තබා බැඳීමද නිසා ඉක්මන් සහනයක් ලබාදෙනවා

ඒ වගේම කෝමාරිකා යුෂ ගැනීමෙන් බඩගිනි අඩුකම.. උදර රෝග ..ගුල්ම ප්ලීහාව ඉදිමුම..උදර වේදනාව ..පණු අමාරු ...අක්මාව ඉදිමුම ආදිය සමනය කරන අතර විශේෂයෙන් පණු අමාරුවලදී කෝමාරිකාවලින් සකස් කළ “කන්‍යාසාර චූර්ණය” වස්ති ලෙස යොදනු ලබනවා .

එසේම කෝමාරිකා අධික මාත්‍රාවෙන් යෙදුවොත් විරේචන සහ පණුවන් නැසෙන ක්‍රියා සිදුවෙනවා. ඒ වගේම කෝමාරිකාවල ක්‍රියාකාරිත්වය හොදින් ම සිදු වන්නේ මහ බඩවැල්වල වන අතර කුඩා බඩවැල්වලදී එහි ක්‍රියාව මඳ වශයෙන් සිදු වෙනවා.

එසේම ලේ පිරිසිදු කරන සහ ඉදිමුම් නසන ගුණ කෝමාරිකාවල ඇති නිසා ලේ දෝෂවලදි වගේම ඉදිමුම්වලදී යොදනු ලබනවා.

මූත්‍ර කාරක ගුණය කෝමාරිකාවල පවතින නිසා “මූත්‍රකෘච්ජ” රෝග තත්ත්වයට යොදනු ලබනවා.

එසේම ගර්භාෂයේ පේශි උත්තේජනය කර ඒවායේ හැකිලීම දියුණු කිරීමද කෝමාරිකාවල ඇති එක් ගුණයක් තවද ශුක්‍ර දුබලතාවයේදී කෝමාරිකා ස්වරස ( යුෂ) යොදනු ලබන අතර වේදනා සහිත ඔසප් තත්ත්වයන්ට කෝමාරිකා සාරය යොදනවා.ඒ වගේම ඔසප්වීමේ දුබලතා සදහා කෝමාරිකා යෙදීම ඉතා සාර්ථක ක්‍රියාවක්

සම ආශ්‍රිතව සමේ දෝෂ නසන ගුණ කෝමාරිකාවල පවතින නිසා කුෂ්ඨ..වාත රක්ත ආදි සමේ රෝගවලදී ප්‍රයෝග කරනු ලබනවා .ඒ වගේම පිළිස්සුම්වලදී අත් බේතක් ලෙසත් භාවිත කරනු ලබනවා .

එසේම

ගුල්ම රෝගයට

කෝමාරිකා මද කලං එකහමාර (1 1/2) බැගින් ගිතෙල් සමග කෑම හොඳයි

කාමලාවට(සෙංගමාලයට)

කෝමාරිකා යුෂ නස්න කිරීම කරනු ලබනවා

උණ සහ මූත්‍ර අමාරුවලට

කෝමාරිකා යුෂ පෙවීමත් හොඳයි .

අපචි රෝගයට

කෝමාරිකා යුෂ කහ කුඩු දමා දීම හොඳයි

එසේම පැසවූ සහ නොපැසවූ ගෙඩිවලට

කෝමාරිකා මද කඩපිම්මේ තම්බා අඹරා ආලේප කිරීම හොඳයි

තුවාල සහ වණවලට

තල සහ කෝමාරිකා මද දෙවගය කාඩියෙන් තම්බා අඹරා ආලේප කිරීම හොඳයි

ඒ වගේම කෝමාරිකා අඩංගු සංස්කාරික ඖෂධත් රාශියක් තියෙනවා

ඒ අතුරින් කුමර්‍යාසවය, කුමාරිකා වටිය, රජ:ප්‍රවර්තන වටී, කුමාරිකා තෛලය, කුමරි පද්ම තෛලය ආදිය ප්‍රධාන වෙනවා.

ඉතින් ජයසිංහ මහත්තයෝ කෝමාරිකා ඔය වගේ ඖෂධ යෝග රාශියකට යොදා ගන්නවා. ඒ වායින් රෝගාබාධ රාශියකට සුවය ගෙන දෙනවා. ඒ වගේම කෝමාරිකා රූපලාවණ්‍ය කටයුතුවලදිත් නැතිවම බැරි දෙයක්. සමේ පැහැපත් බව ආරක්ෂා කරගැනීමට යොදා ගනු ලබන ආලේපන ඇතුළු සංස්කරණ රාශියක් සදහා කෝමාරිකා යොදා ගනු ලබනවා

ඒ වගේම තවත් සමහර අය කෝමාරිකා මද ආහාරය සදහාද සකස් කරනු ලබන්නේ ශරීරයේ දැවිල්ල ආදිය නසා ශරීරයේ සිසිල් සහ මෘදු බව රැක ගැනීමටයි. එසේම වර්තමානයේ කෝමාරිකා සාරය යොදා සබන් වර්ගද බොහෝ සබන් නිෂ්පාදන සමාගම් නිපදවනු ලබන්නේ සමේ පැහැය ආරක්ෂාව උදෙසායි. ඒ වගේම කෝමාරිකා වලින් සැකසූ ජෙල් සහ විවිධ ආලේපන ද රාශියක් වෙළෙඳ පොළේ දක්නට ලැබෙනවා.

එසේම නිවස ඉදිරිපස කෝමාරිකා පැළයක් සිටුවීමෙන් ඇස් වහ කට වහ දෝෂ නැසෙන බව වාස්තු විද්‍යාවේ දක්වා තියෙනවා. ඉතින් ජයසිංහ මහත්තයෝ මේ විදියට බැලුවහම කෝමාරිකා කියන්නෙ විශිෂ්ට ඖෂධයක් නේ.

ඔව් වෙද මහත්තයෝ කෝමාරිකා කියන්නේ මෙච්චර වටිනා ඖෂධයක් කියල දැන ගත්තෙ අදනේ. මමත් අද ඉඳල කෝමාරිකා ප්‍රයෝජනයට ගන්නවා. ඔව් ජයසිංහ මහත්තයෝ කෝමාරිකා ගැන මම කියපු දේ ඔබ කාටත් හොඳ ප්‍රයෝජනයක් වේවි” යනුවෙන් පැවසූ වෙද මහත්තයා කතාව නිමාකළේය

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.