පෙරදිග බටහිර යා කළ හෙළ දේශයේ ඉතිහාසය ...

නොවැම්බර් 15, 2019

සිහිල් මන්ද මාරුතය වනගත මහා මාර්ගය ඔස්සේ හමා බසිද්දී, නැගෙනහිර දිග සිට බටහිර දෙසට ගමන් ගත් ඒ සුන්දර මං පෙත ඔස්සේ ගමන් ගත් සුවිශේෂී වූ ප්‍රබල පිරිසක් දිස් වූහ. නැගෙනහිර දිශාව භාර හෙළ සටන් ශූර මහා හර්ෂදේවයෝ, බටහිර දේශයේ ඔටුන්න හිමි කුමරුවා වූ ජාගෙන් සමග ජවාධික සෛන්ධවයන් පිට නැගී ඒ මහා සේනාවේ ඉදිරියෙන්ම ගමන් කළ අතර, ඔවුන් අසලින්ම මධ්‍යයේ ගමන් ගත්තේ රාජකීය කඟවේණා වූ ධමූලා ගේ පිට නැගුණු ජයමාලී දේවියයි. ඔවුන් පිටුපසින් පැමිණියේ සන්නාහ සන්නද්ධ වූ හෙළයේ මහා ශාර්දූල ගෝරා බළකායයි. ඔවුන් සියලු දෙනාම ප්‍රබල අශ්වයන් පිට නැගී පැමිණි අතර, සතුරු ආක්‍රමණයක කිසිදු බියක් නොවූයෙන්, ඔවුන් සියලුම දෙනා ලහි ලහියේ ගමන් ගත්තේ බටහිර දිශාවේ සිටින ධූරා ප්‍රමුඛ හෙළයේ මහා සටන් බළකායන් සමග එක් වීමටය. ඔවුන්ට අවශ්‍ය තරම් කාලය ලැබී තිබුණු නිසාද, ජයමාලී දේවියගේ සටන් සැලැස්ම අනුව යුද්ධය ආරම්භ කෙරෙන නිසි කාල හෝරාව ධූරාගෙන් ලැබුණු හෙයින්ද, කල් වේලා ඇතිව ඔවුන් මෙසේ හැල්මේ ගමන් ගත්හ.

ජාගෙන් සහ හර්ෂදේවයන් මෙම ප්‍රබල සේනාවේ ඉදිරියෙන්ම ගමන් ගනිමින් බොහෝ දෑ සාකච්ඡා කළහ.

පුරාණ සටන් ශාස්ත්‍රීය උරුමයක් සහිත ප්‍රබල ශිල්ප සොහොයුරන් දෙදෙනෙකු ගේ ආශ්චර්යවත් හමු වීම, සැබවින්ම ප්‍රාතිහාර්යයක් මෙන් වීය. හෙළ දේශය ගැන මෙන්ම, බටහිර ඩැන්මාරු දේශය පිළිබඳවත්, එහි ඓතිහාසික ශිල්ප ශාස්ත්‍රයන් පිළිබඳවත් ඔවුන් මෙහිදී බොහෝ දෑ සාකච්ඡා කළහ.

බටහිර කාළවර්ණ අධිරාජ්‍යය හෙවත් අප දන්නා වර්තමාන අප්‍රිකා මහාද්වීපයත්, බටහිර ඩැන්මාරු දේශය නම් වූ වර්තමාන ඇමරිකා මහාද්වීපයත් එකල එකම අධිරාජ්‍යයක පාලනයකට නතු වී පැවති බව දත යුතුය. එකල එහි පාලන තන්ත්‍රය ගෙන යන ලද්දේ මේ කථාවේ අප දන්නා ජාගෙන් ගේ රාජකීය පරපුරේ ආදි මුතුන් මිත්තන් වූ ෆේරෝස් නමැති රාජ පරම්පරාවයි. එනම් අදින් වසර දස දහස් ගණනාවකට පෙරාතුව හෙළයේ මහා අධිරාජයා වූ තාරක මහරජතුමන් ගේ සමීපතම හිතවත් ෆේරෝස් අධිරාජ්‍යයාගේ පාලන කාලයයි. නයිල් නදී තීරයේ ඓතිහාසික පිරමිඩ නිර්මාණය කිරීමටත්, මළ සිරුරු මමීකරණය කිරීමටත් අවශ්‍ය තාක්‍ෂණය හෙළ දේශයෙන් ලද බවත්, ඒ මහා ශිල්පයට කෘතගුණ දැක්වීම් වශයෙන් ෆේරෝස් රජුගේ අණ පරිදි සියලුම රාජකීය සොහොන් කොත් සහ ඔටුනු වල සිංහ සහ නාග සංකේත ඔබ්බවා, පෙරදිග හෙළ දේශීය ජනතාවට ගෞරවාචාර දැක්වූ බව ජාගෙන් මෙහිදී හර්ෂදේවයන් සහ ජයමාලී දේවියට හෙළිදරව් කළේය.

එකල වයඹ දිග කාන්තාර වාසී ගවමස් බුදින්නන් ගේ දේශය යනු අප කථාවේ හරේරා ගේ බලප්‍රදේශයයි.

හරේරාගේ ගෝත්‍රික පාලකයින් සහ ෆේරෝස් රජු අතර එකල අතීතයේ ඇති වූ මහා යුද්ධයේදී, අපගේ තාරක මහ රජතුමන් අග්නි ශක්තිය සහ වායෝ ශක්තිය උපයෝගී කරගෙන සතුරන් හට පහර දීමේ උපක්‍රම බටහිර ඩැන්මාරූ දේශයට ලබා දුන් බවත්, එම සටන් තාක්‍ෂණය එකල ෆේරෝස් රාජ පරම්පරාව භාවිතා කළ බවත් ජාගෙන් සඳහන් කළේය. කාළවර්ණ බටහිර දේශය හෙවත් වර්තමාන අප්‍රිකා මහාද්වීපයේ ඉහළ කොටස එකල ඝන වනාන්තරයෙන් වැසී පැවතියද, අර යුද්ධයේ දී භාවිතා කළ ගුප්ත විද්‍යාත්මක සහ ප්‍රබල අග්නි ශක්තිය හේතුවෙන් ඒ සියල්ල අළු දුහුවිලි බවට පත් වී, පසු කලෙක ජන ශූන්‍ය මහා කාන්තාරයක් බවට පත් වූ ආකාරයත් ජාගෙන් මෙහිදී පැවසීය.

වර්තමානයේ අප දන්න වර්ග සැතපුම් කෝටි ගණනාවක් පුරා පැතිර පවතින මහා සහරා

කාන්තාරය බිහි වීමේ පුරාවෘත්තය ජාගෙන් එලෙස හර්ෂදේවයන් හට සහ ජයමාලී දේවියට පහදා දුන්නේය. “කාළවර්ණ මහාද්වීපයේ එකල තිබුණේ අතිශයින්ම සශ්‍රීක තත්ත්වයක්. එහෙත් අර යුද්ධයෙන් පසුව අපගේ ජනතාව බොහෝ දෙනා ඒ මහාද්වීපයෙන් ඉවත් වී යළිත් නැව් නැග ඩැන්මාරූ දේශයට පැමිණියා. අර මහා මනුෂ්‍ය ඝාතනය සියැසින් දුටු අපගේ එකල අධිරාජ්‍යයන්ද ඇතිවූ සිත් තැවුලෙන් ඒ මහාද්වීපය අතහැර දැමුවා. ඔවුන් ඉන් පසුව ඒ මහාද්වීපයට ගියේ නැහැ. හෙළ දේශය ආක්‍රමණයට අප සමග මෙහි පැමිණි සිම්ජා ගේ ගෝත්‍රය ඒ අතීත කාල වකවානුවේ පැවතියේ සංචාරක ගෝත්‍රයක් ලෙසයි. ඔවුන් වහාම අපගේ අධිරාජ්‍යයන් අත්හැර දැමූ නගර වල පදිංචි වී බලය පතුරුවා හැරියා. දිනෙන් දින වැඩිවන ජනගහනයත් සමග ඔවුන් අධිරාජ්‍යයක් මට්ටමට වර්ධනය වූවා. සියවස් ගණනාවකට පසුව ඔවුන් අප සමගත්, වයඹ දිග

කාන්තාරවාසී ගෝත්‍රිකයන් සමගත් සුහදතාවය වර්ධනය කර ගත්තා. අප අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය වූයේ එයටත් සියවස් ගණනකට පසුවයි.”

මෙහිදී හර්ෂදේවයෝ ජාගෙන් දෙස බැලූහ.

“මා අසා තිබෙනවා ඔබලාගේ සූර්ය දේවාලයන් පිළිබඳව. එහි සුවිශේෂී වූ මණ්ඩල ස්ථානගත කර ඇති බවක් මා අසා තිබෙනවා ජාගෙන්.”

ඩැන්මාරූ දේශවාසී කඩවසම් රජ කුමරුවා ගේ මුහුණේ ඇඳී ගියේ පුළුල් සිනාවකි.

“මා හිතුවා නුඹ කොයි මොහොතක හෝ ඔය ගැන විමසාවි කියා. එය සත්‍යයක් ජාගෙන්. එසේ ස්ථානගත කර බල පිහිටුවීමට අපට උපකාර කර තිබෙන්නේද තාරක මහරජතුමන්. එතුමන් හට අපගේ දේශවාසී අධිරාජ්‍යයන් කොතරම් ගරු බුහුමන් දැක්වූවාද කියතහොත්, ඕනෑම අවස්ථාවක දී අපගේ සූර්ය දේවාල වලට ඇතුළු වීමට පවා එතුමන්ට අවසර ලබා දී තිබුණා. එසේ අවසර ලැබෙන්නේ අපගේ ඔටුන්න හිමි රාජ වංශයේ පවුල් වල පුරුෂ පක්‍ෂයට පමණයි. ඒ අයුරින් බලන විට අපගේ ඔටුන්න හිමි රාජ වංශ වල පුරුෂ පක්‍ෂයට හා සමාන බලතල, තාරක මහරජතුමන් හටත් අපගේ අධිරාජ්‍යය තුළ හිමිවුණා. සත්‍යය වශයෙන්ම තාරක මහා අධිරාජ්‍යයාණන් යනු හෙළයට මෙන්ම අපටද මහා ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්.”

ඉමහත් භක්තියෙන් යුතුව ගැඹුරු සුසුමක් වා තලයට මුසු කරමින් ජාගෙන් පවසත්ම, එය අනුමත කරන නියායෙන් හර්ෂදේවයන් සහ ජයමාලී දේවිය තුළත් නැගී ආවේ කෘතඥතා පූර්වක මන්ද හාසයකි. තමන්ට එරෙහිව යුද්ධයට පැමිණියද හෙළ දේශයටත්, හෙළ ජාතියටත් ශිල්ප සහෝදරත්වයක් සහිත මේ ප්‍රබල පුද්ගලයා වූ ජාගෙන් කෙරෙහි අමුතුම ආකාරයේ ගෞරවයක් ඔවුන් තුළ පහළ වූයේ නිතැතිනි.

මෙසේ විවිධ දේ පිළිබඳව කථාබස් කරමින් ඔවුන් බටහිර දිශාව බලා දිවෙන මහා මාර්ගය තරණය කළහ. කිසිදු අන්දමක විඩාවක් ඇති නොවූයේ, මාර්ගය දෙපස වූ ඝන වනාන්තරයෙන් හමා ආ අනේක විධ සුගන්ධවත් මන්ද මාරුතයත්, මාර්ගය අසලින් මෙන්ම මාර්ගය හරහා තනා තිබූ ආරුක්කු ආකාර දැවැන්ත ශෛලමය බෝක්කු තුළින් ගලා බට සුපිරිසිදු නිල්වන් ජල දහරාවන්ද හේතුවෙනි. යළි යළිත් හෙළ දේශය අගය කරමින් ගමන් ගත් ජාගෙන් ගේ මුහුණෙහි වූයේ අතිශයින්ම ප්‍රබෝධමත් ස්වරූපයකි. මේ සුන්දර වූත්, සශ්‍රීක වූත්, දේශය ආක්‍රමණය කිරීමට පැමිණීම පිළිබඳව ජාගෙන් නැවත නැවතත් පසුතැවුණේය. මහා හර්ෂදේවයන් සහ ජයමාලී දේවියත් හමුවේ ජාගෙන් යළි යළිත් සමාව යැද සිටියේ එබැවිනි. ප්‍රබල රණ ශූරයෙක් වුවද, අතිශයින්ම සංවේදී මේ පුද්ගලයා ගේ සිත අස්වසාලීමට හර්ෂදේවයන් සහ ජයමාලී දේවිය

හටත් බොහෝ වේලා ගත වූයේය. එය ජාගෙන් ගේ වරදක් නොව, සිම්ජා ගේ බල ලෝභයත්, කෑදර කමත් හේතුවෙන් සිදුවූ දෙයක් බව ඔවුන් යළි යළිත් පැවසූයෙන්, තරමක් දුරට ජාගෙන් සැනසුනේය.

ඔවුන් මෙසේ බටහිර දිගට ගමන් ගනිද්දී, අතරමග වූ ගම්මාන යළිත් ජනාකීර්ණව පැවතුණි.

ආක්‍රමණික සේනාව පැමිණෙන විට ගම්මාන වලින් ඉවත් කර සිටි ජනතාව, යළිත් සිය ගම්බිම් කරා පැමිණ සිටියෙන්, ඒ ගම්වැසියන්ගෙන් මෙම පිරිසට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. ගම්පතියන්ගේ මග පෙන්වීම අනුව මෙම රාජකීය පිරිසටත්, ඔවුන්ගේ අශ්වයන්ටත් ආහාර පානයන්ගෙන් සහ සත්කාර වලින් නිමක් නොවීය. මෙයින් අතිශයින් තෘප්තිමත් වූ ජාගෙන් මෙහිදී ජයමාලී දේවිය දෙස බැලීය.

“හෙළ දේශය ආගන්තුක සත්කාරය පිළිබඳව ලෝක ප්‍රසිද්ධයි මහා බිසවුන් වහන්ස... එත් එය ප්‍රත්‍යක්‍ෂ ලෙසම මම දුටුවේ අදයි. ඔබලා සත්‍ය වශයෙන්ම ශ්‍රේෂ්ඨ ජාතියක්. ඔවුන් ආදර්ශමත් ජනතාවක්. ඒ නිසා....”

මෙහිදී හර්ෂදේවයන් විසින් ජාගෙන් වෙත, මධ්‍යයේ මී කිරි දැමූ විශාල කුරහන් රොටියක් දිගු කිරීම නිසා කථාවට බාධා විණ. “නුඹ හෙළ දේශය වර්ණනා කර කර සිටිනු ජාගෙන්. මා මී කිරි සමග කුරහන් රොටී අටක් ගිල දැමුවා. නුඹට එපා නම් මේ රොටියත් මා විසින්ම.....”

මෙහිදී කථාව නවතා, ජාගෙන් පැන කුරහන් රොටිය උදුරාගෙන අනුභව කරනු, සියලු දෙනා සිනාමුසුව බලා සිටියහ. විහිළු තහළුවෙන් යුතුව දිවා භෝජනය අනුභව කළ ඔවුන් සියලුම දෙනා යළිත් ගමනට සූදානම් වූහ. මහා හර්ෂදේවයෝ, ජයමාලී දේවිය දෙස බැලූහ.

“අපට හිරු අස්තගත වීමට ප්‍රථම ධූරා ගේ බළකාය රැකවල් කරන දික්ගහලෙන කන්දට යා හැකියි මහා මෑණියන් වහන්ස. මා හට සැළවූ තොරතුරු වලට අනුව හෙට දිනයේ ඔවුන් පහර දෙන්නටයි සූදානම.”

ජයමාලී දේවිය මෙහිදී තියුණූ දෙනෙතින් යුතුව ධමූලා පිට නැගී ඉදිරියට පැමිණියාය. සුහදශීලී මාතාවක ගේ ස්වරූපය යළිත් ආක්‍රමණශීලී දිවි දෙනක ගේ හැඩයට පත්ව තිබිණ. “බල බලා සිටීමෙන් පලක් නැහැ පුත්‍රය. අප දැන් වහාම ධූරා ඇතුළු අපගේ බළ ඇණිය වෙතට යා යුතුයි.

එසේ නම් මාගේ වීර දරුවෙනි... ඉදිරියටම යමවු...”

ජයමාලී දේවියගේ තියුණු හඬට අනුව ප්‍රබල කඟවේණා වූ ධමූලා දෙපයින් නැගී සිට හේෂාරවය කර, ඉන්පසුව වේගයෙන් ඉදිරියට දුවන්නට වූ අතර, මහා හර්ෂදේවයන් ද ජාගෙන් සහ ෂෝඩූන් ඇතුළු ඒ ප්‍රබල අශ්වාරෝහක මහා ශාර්දූල බළකාය, බටහිර දිශාව බලා වැටුණු මහා මාර්ගයේ පවනට බඳු වේගයෙන් ධාවනය කරනු, ගම්වාසීන් සියලු දෙනාම දේශානුරාගයෙන් ඔද වැඩුණු මුහුණු වලින් යුතුව බලා සිටියහ.

 

මතු සම්බන්ධයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.