ඡ්‍යොතිෂයෙන් වැඩ ගැනීම

මාර්තු 22, 2024

අප අදහන්නේ චන්ද්‍රයා පමණක් පෘථිවියේ ඇති වන උදම් රළට හේතු වනවා කියාය. එනිසා ලබන 25 වැනිදා සිදු වන ඡායා චන්ද්‍රග්‍රහණය පිළිබඳ පවා බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති බව පෙනේ. එහෙත් ඡ්‍යොතිෂවේදීන් වසර දහස් ගණනකට පෙර පැවසුවද ඒ පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදැක් වූ මුත් නවීන විද්‍යාඥයන් විසින් සොයා ගනු ලදුව ලෝ පතළ වන කරුණක් වෙත අවධානය යොමු කිරීම වටී. එනම් අඟහරු ග්‍රහයාගේ ගුරුත්වාකර්ෂණ බලය නිසා පෘථිවියේ ගමන් මාර්ගයේ වෙනසක් ඇති වනවා මෙන්ම එයින් පොළොවට ලැබෙන සූර්යාලෝකයේ වැඩි වීමක් සහ උණුසුම අධික වීමත් සිදු වන බවය. මේ හේතු නිසා මහ සයුරේ ඇතිවන දියවැල්වල ප්‍රබලත්වය වැඩි වීමත් උදම් රළවලට එහි බලපෑමක් ඇති වීමත් පිළිබඳ ඔවුන්ගේ පර්යේෂණවලින් තහවුරු වී තිබේ. මුහුදු පත්ලේ වෙනස්කම් කිරීමට මේ ග්‍රහලෝකවල බලපෑම අතිශයින් වැදගත් වන ආකාරය දැන් දැන් ඔවුන් සොයාගනිමින් ඇත.

අඟහරු පමණක් නොව ගුරු ග්‍රහයා නිසාද පෘථිවියේ ගමන වෙනස් වන බව විද්‍යාඥයන් පවසන්නේ එය අලුතෙන් සොයාගත් දෙයක් ලෙස ලොවට දක්වමිනි. එහෙත් පෘථිවියේ අංශක 23.5 ලප්පා වීම හෙවත් ඇළවීමට මෙන්ම භ්‍රමණ වේගයටත් කක්ෂයේ ගමනටත් සෞරග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහයා වන ගුරුගේ බලපෑම කෙතරම් ද යන්න ඡ්‍යොතිෂය හඳුනාගෙන තිබුණේ අද ඊයෙක නොවේ. මහ පොළොවේදී ග්රෑම් 100ක් බර ද්‍රව්‍යයක් බ්‍රහස්පති ග්‍රහයා මතදී ග්රෑම් 240ක් බර වන බව අපි දනිමු. එසේම ගුරුගේ ගුරුත්වාකර්ෂණය නිසා පොළොව දෙසට එන උල්කාපාත ආදියේ ගමන වෙනස් වී අනතුරු අඩුවන බවත් පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලයෙන් විසි වී යෑම නතර වන බවත් රහසක් නොවේ. සුකොමළ සිකුරු යැයි කීවද ඇයගේ ගුරුත්ව ආකර්ෂණය නොවන්නට පෘථිවිය සූර්යයා වටා හරිගෝලාකාර වටයක් යෑමට තිබුණි. එහෙත් ගුරු සහ සිකුරු ග්‍රහයන්ගේ බලය අණ්ඩාකාර හැඩයකට පෘථිවියේ පරිභ්‍රමණය සකස් කර ඇතිබව විද්‍යාඥයන් විසින් සොයා ගැනෙන්නේ මෑතකදීය. මහ පොළොව නම් වූ අජීවී පඨවි ගුණයට පමණක් මේ ගුරුත්වාකර්ෂණ ශක්තීන් බලපාන්නේ යැයි යමෙකු විශ්වාස කරන්නේ නම් එය පිළිගත හැක්කක් නොවේ. මන්ද විශාල වූ පෘථිවියට එවැනි බලපෑමක් කළ හැකි ශක්තියකට එහි අබැටක් වැනි මිනිසකුට හෝ වෙනත් සත්ත්වයකුට බලපෑමක් ඇති කර නොහැකි යැයි කීම තර්කාණුකූල නොවන බැවිනි.

සෞරග්‍රහ මණ්ඩලයේ මේ පිහිටීම් සහ ගුරුත්ව ගුණ පිළිබඳ කතා කිරීමේදී අප හත අට පන්තිවල උගත් බල ඝූර්ණය සිහියට නැඟෙන්නේ නිතැතිනි. එක් මිනිසකුගේ ඕරාව සහිත වපසරිය එක් කුඩා ගෝලයකැයි සිතුව හොත් එය අංශක 360ක පිහිටීමකි. ඒ පුද්ගලයාගේ උපන් වේලාව අනුව මේ බලපෑම් සහිත ග්‍රහයන් ඒ වටයේ පිහිටි ස්ථාන සහ යොදන බලය අනුව පුද්ගලයකුගේ ශක්ති ප්‍රභාවයන් වෙනස් විය හැකියැයි කිව නොහැක්කේ කාටද? ගුරුගේ බලය වැඩියෙන් ලැබෙන අවස්ථාවක නම් ඒ බලය වැඩි අතට ඝුර්ණය අනුව ඇදී යා නොහැකිද? ඒ අනුව පුද්ගලයාගේ ගති ලක්ෂණ වෙනස් විය නොහැකිද? ඒ පුද්ගලයාගේ බල ඝූර්ණය යෙදෙන ආකාරය අනුව ඉදිරියට යාමට හෝ පසුපසට ඇදී පසුගාමී වීමට හැකියාවක් තිබිය නොහැකිද? එසේම ඒ ගුරුත්ව ශක්තීන්ගේ අසුබවාදී බලපෑමට එරෙහිව වෙනත් බලයක් බාහිරව යෙදුවහොත් නැත්නම් සරලව කිව හොත් ශාන්තිකර්මයක් හෝ සුරයක් නැත්නම් සෙත් කවියක්, බෝධි පූජාවක් වැනි අමතර බලයක් යෙදීමෙන් ඒ අසුබ අතට යෙදෙන ඝූර්ණබලය වෙනස් කළ නොහැකිද?

මේ පිළිබඳ තර්ක කිරීමේදී අපට නොපෙනෙන දේ පිළිගත නොහැකි යැයි යමෙකු පවසනවා විය හැකිය. එහෙත් ඒ ග්‍රහ ලෝකවලින් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය අපට පෙනුණාද? යන්න එයට පෙරළා යොමු කළ හැකි පැනයයි. නොපෙනෙන ගුරුත්වාකර්ෂණය මඟින් මුහුදට හෝ ගහට කොළට පමණක් යෙදෙතැයි සිතන ශක්තියම මිනිසාට ඇති නොවේ යැයි කිව හැක්කේ කාටද? වැඩි ප්‍රමාණයක් ජලයෙන් පිරුණු සිරුරු ඇති පඨවි ගුණය නිසා සිරුර ඝනකම් වූ අනෙක් වායෝ, තේජෝ, ආකාස වැනි ස්වභාව ධර්මයේ ගුණවලින්ම තැනුණු තවත් එක් සත්ත්වයෙක් පමණක්ම වන මිනිසාට එහි බලපෑම නැතැයි සිතා සිටින්නේ මිනිසුන් යනු විශ්වය ජයගන්නා උත්තරීතර පිරිසක් යැයි අනවශ්‍ය තරමට ම අදහන්නන් විසින් විය යුතුය. චින්තනය දියුණු බැවින් මනසින් උසස් යැයි අප විසින්ම හඳුන්වාගෙන සිටින අපට වඩා දියුණු සත්ත්ව කොට්ඨාස මේ සොබා දහමේ නියම අරුත සහ රහස් සොයාගෙන නිහඬව සිටින ජීවීන් මේ විශ්වය තුළ නොසිටිතැයි කිව හැක්කේ කාටද?

ඒ කෙසේ වෙතත් මිනිසුන් වශයෙන් බොහෝ නොපෙනෙන දේවලින් වැඩ ගන්නා විද්‍යාලෝලීන්ට ඡ්‍යොතිෂයෙන් වැඩක් ගැනීම යනු මේ බලඝූර්ණයේ ස්වභාවය හඳුනාගෙන එහි අවැඩදායී බලපෑම අවම කිරීමට බාහිර බලයක් යෙදීම ලෙස සැලකුවහොත් මෙහි වටිනාකම පැහැදිලි කරගැනීමට අපහසු නොවනු නිසැකය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.