අලුත් අවුරුද්ද සුබ වන්නට නම්...

අප්‍රේල් 12, 2024

අලුත් අවුරුද්දක් ලැබීම යනු අපි සියලු දෙනාගේ ජීවිත නැවුම් හැඟීම්, බලාපොරොත්තු, අපේක්ෂා සමඟ අනාගතය වෙනුවෙන් සූදානම් වීමට යෙදෙන නිමිත්තකි. ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කර, ළිප පවා අලුත් කර, අලුත් ඇඳුම් පැලඳුම්වලින් සැරසී පරණ තරහ මරහ දුරස් කර ජීවීතය උද්යෝගයෙන් පුරවා නව ජවයකින් යුතුව තම තමන්ගේ කටයුතු සාර්ථක කර ගැනීමට අවස්ථාවක් සැලසීමකි. මේ සියල්ල අප සිදු කරන්නේ පරිසරයද සොබා සිරියෙන් අනූනව යන කාලයකය. අප වැනි රටවලට සෘතු භේදයක් නැතත් කොවුල් කූජනයෙන් කුල්මත්ව, අඹ මල් සුවඳීන් මුසපත්ව, රන්වන් කෙත්වතුවල අස්වැන්න නෙළා නිමවන භාග්‍යයෙන් අගතැන්පත් වූ සමය සිතටත් ගතටත් නිසගයෙන්ම ගෙන එන්නේ ප්‍රමෝදජනක හැඟීමකි.

අප කුඩා කාලය වනතුරුම බොහෝ ගම්බිම්වල අලුත් අවුරුද්දට රබන් ගැසූ ආච්චිඅම්මලා මෙන්ම ඔවුන්ට සහාය දුන් සීයලා ද සිටියහ. ඔන්චිලි වාරම් කීවත් නැතත් ගෙවත්තේ උස අඹ ගසක අත්තක ඔන්චිල්ලාවක් බැඳීණි. පංච නොදැම්මත්, වලකජු නොගැසුවත් කැට, ටීක්බෝල හෝ සෙල්ලම් කිරීමට දන්නා පිරිසක් සිටියහ. අවුරුද්දට ගමේ යෑම අනිවාර්ය අංගයක් ලෙස ඇදහූ පිරිසක් වූහ. කඩ සියල්ල නොනගතයට කලින් වසා දමයි. අපි ද නොනගතයට පෙර සියලු කටයුතු අහවර කරන්නට යුහුසුළු වීමු. රයිස් කුකර්, ගෑස් කුකර් තිබෙන ගෙවල්වල වුව හදිසියට මෙළවීමට තිබූ ළිපේ අළු ඉවත් කර කිරි ඉතිරවීමට සූදානම් කරනු දක්නට හැකි විය. පවුලේ සියල්ලෝ එකම මේසයක තාත්තා අම්මා අතින් පළමු කිරිබත් කට කෑමට පෙළ ගැසී සිටියහ. අම්මාත් තාත්තාත් ළිඳ ගනුදෙනුව ඉතා වැදගත් කටයුත්තක් ලෙස කළේ අඟුරු, සුදුමල්, තඹ කාසි ආදිය කල් වේලා ඇතිව සූදානම් කරගනිමිනි. ගනු දෙනු කරන වේලාවට අපි ද වැඩිහිටියන්ට වඳීන්නේ බුලත් කොළයක එතූ රුපියල් දහයක් ලැබීමේ වාසනාව ද යටි හිතේ කොනක දල්වාගෙනය. හිස තෙල් ගෑවේ එක්කෝ පන්සලේ හාමුදුරුවන්ය. නැතහොත් සීයා හෝ තාත්තා අතිනි. අලුත් අවුරුද්දට නිරෝගී බව පතා ස්නානය කරන පළමු දවස වෙනුවෙන් පන්සලේ තැනූ නානු ලබා ගැනීමට පෝලිමේ සිටියා මතකය. අවුරුදු කෑම පිඟන් අහල පහල ගෙවල්වලට ගෙන ගියේ අලුත් ඇඳුම් උජාරුවට ඇඳගෙනය. ඒ යන හැම ගෙදරකින්ම අපේ ගෙදරට ද කැවිලි පිඟාන සූදානම් වන තුරු කරන සංග්‍රහය නිසා අවසන උස්බුරුත්තාව හැදෙන තරමට කන්න බොන්න ලැබුණි. අප නෑගම් ගියේ දවස් ගණන් ය. ඒ නෑයින් අපේ ගෙදරට ද අවේ තෑගි පුරවාගත් මලු කරගහගෙනය. වැඩිහිටියන්ට බුලත් දී වැඳීම කොන්ද නැමීමක් නොව ගුණගරුක බවේ සංකේතයක් ලෙස යහපත් චේතනාවෙන් කෙරිනි. සුබපැතුවේ හදවතින්මය. එකිනෙකා මුණගැසිලාය. රැකියාවට එන විට සියලු දෙනා ගෙනෙන කැවිලි පෙවිලි නිසා අලුත් අවුරුද්දේ රැකියා ස්ථානයද අවුරුදු අසිරියෙන් බැබළිනි. සැමගේ සිනහව අනෙකාගේ සිත්වල මල් පූදින සතුටට හේතු විය.

අද ද කොවුලන් නද දේ. අවුරුදු අසිරිය ළඟා කරගන්නට මිනිසුන් කඩ සාප්පු පුරා දුවනු පෙනේ. එහෙත් එතැන ඇත්තේ මහත් කලබලයකි. නොනගතයටත් ඇරුණු කඩසාප්පු ඇතැම් තැන්වල දක්නට හැකිය. ගමේ ගියත් නැතත් කමක් නැත. වටස්ඇප් හෝ කුමක් හෝ මඟින් ආච්චිලාට වීඩියෝ කෝල් එකකින් සුබපැතිය හැකිය. කුරියර් සර්විස් එකකින් තෑගි ද අවශ්‍ය නම් යැවිය හැකිය. මෙසේජ් මඟින් යාළුවන්ට නෑදෑයන්ට සුබ පැතිය හැකිය. ළිං සොය සොයා සිටිය නොහැකි නිසා කාඩ් පතෙන් ගනුදෙනු කළ හැකිය. කන්ද තමන්ගේ දෙපතුල් ළඟට එන බැවින් තමන් කන්ද වෙත යා යුතු නොවේ යන උදානයෙන් ඇළලී අතත්‍ය (වර්චුවල්) ලෝකයක රජ වී එක තැන සිට සියල්ල කළ හැකිය. ඒ සියල්ල තුළ තමන් තනි වී ඇති බව අපට අමතක වේ. දූ දරුවන්ගේ සෙනෙහස විඳීමට මාස ගණන් බලා සිටින අහිංසක අම්මලා තාත්තලාගේ හදවතින්ම ගලා එන උණුසුම් සුබපැතුමක පහස අපට නැතිව යනු ඇත. නෑසිය මිතුරන්ගේ සැබෑ සිනහවක ළෙංගතුකම අපට අහිමිව ගොස්ය. අසල්වැසියන් සමඟ ඇයිහොඳයිය බොහෝ ඈතය. ඒ අපේ සංස්කෘතිය පෙරළියකට පත් වීමේ ලක්ෂණය.

අවුරුද්ද යනු හුදෙක් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යෑම සැමරීම හෝ රතිඤ්ඤා හඬ පැතිරීම හෝ අලුත් ඇඳුම් පැලඳුම් වැනි භෞතික සාධක පමණක් නොවේ. එය අධ්‍යාත්මික ගුණ වගාවකි. අපගේ වටිනා සංස්කෘතිය ලොව අනෙක් රටවලින් පූර්ණ වශයෙන් වෙනස් කර අනන්‍යතාව විදහා දක්වන කැඩපතකි. සිවු හෙළයේ මිනිසුන්ගේ සම්ප්‍රදාය අනාගත පරපුරට දායාද කරන දැවැන්ත චින්තන තරංගයකි. එය තාක්ෂණයේ වහල්භාවයෙන් යටපත් නොවී මිනිස්කමේ ගුණ සුවඳ විහිදුවන තාක් අලුත් අවුරුද්ද සැමට සුබ වනු නිසැකය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.