සෙත් කවිය සහ වස් කවිය

ජූලි 31, 2020

සෙත් කවි වස් කවිවල ආරම්භය අපේ බෞද්ධ ඉතිහාසයේ බොහෝදුරට ගෙනයාමක්. විශේෂිත වූ මෙම ශාස්ත්‍රය ඒ ඒ කවි සඳහා ගණ පිහිටීමක් කරයි. සර්ව සම්පූර්ණ වූ සෙත් කවියට ගණ පිහිටීමට අමතරව, පංච පක්ෂි, පුර තිථිය, සුබ දවස වැනි කරුණු කාරණා අන්තර්ගත වේ. 

අවසානයේ එම කවිය තුළින් ඇමතිය යුතු දෙවියා ද හඳුන්වා දෙනු ලැබේ. මෙතරම් විශේෂිත වූ කරුණු කාරණා හැදෑරීම අත්‍යවශ්‍ය වුවත් මින් එකක් වත් හරිහැටි නොදන්නා බොහෝදෙනා අද දවසේ සෙත් කවි, වස් කවි හදති. සාමාන්‍යයෙන් සෙත් කවි හදන සත්පුරුෂ තෙම වස් කවි සාදනු නොලැබේ. ඒ ඇති මෛත්‍රී ගතිය නිසාය. පංචාංගය වත් නොදන්නා බොහෝදෙනා ඡ්‍යොතිෂ බෝඩ්ලෑලිවලට සීමාකර ඡ්‍යොතිෂවේදී වන අතරම පළමු කී කිසිදු දැනීමක් නැතිව සෙත් කවි වස් කවි සෑදීම සමහරු කරති. විශේෂයෙන්ම සෙත් කවි සඳහා සිත් යොමු කරන අය ඡ්‍යොතිෂය කෙරේද නිපුනත්වයක් තිබිය යුතුමය. කුමක් නිසාද යත් එම කවි සෑදීමට ඡ්‍යොතිෂයේ අන්තර්ගත බොහෝ කරුණූ උපයෝගී කරගත යුතු බැවිනි. මෙම සෙත්කවි සෑදීම ක්‍රම කීපයකින් මහජනයා අතරට යයි. දක්ෂ සෙත් කවි නිර්මාණය කිරීමට ස්වකීය දැනුම් උපයෝගී කරගෙන ඡ්‍යොතිෂයට අනුව නියම කරගන්නා වේලාවකට කවියට මුලපිරීමත් අවසන් කිරිමත් කරයි. හෙතෙම එක් කවියක් එක් අයෙකුට සීමාකරයි. තවත් සමහර අය හිතුමනාපෙට කවි  සාදයි. තව කොටසක් එනම් පන්සල් දේවාල කපු මහතුන් යයි කියාගන්නා ඇතැම් කොටසක් පළමුව සඳහන් කළ දක්ෂයන් විසින් නිර්මාණය කරන ලද සෙත් කවි පත්‍ර කවිය කීමෙන් පසු ස්වකීය ස්වාමිත්වයේ තබා පසුව කවියට ඇතුළත් කළ නම හා දෙවියන් පමණක් වෙනස් කර වෙනත් අයෙකුට ප්‍රයෝජනය ගනියි. දෙවන හා තෙවන වර්ගයේ කවි ගායනා කිරීමෙන් කිසිදු ගුණයක් යහපතක් නොවන අතර බොහෝ විට අයහපතම සිදුවෙයි. තවද ඡ්‍යොතිෂය නිපුනත්වයක් නොමැත. එබැවින් එවැනි අය නිපුනත්වය ඇති අය කෙරෙහි යොමු කරවීම යහපත් වන්නේය. බොහෝ දෙනා එසේ නොකර මුදල් ගැනීම සඳහා සෙත් කවි කර දෙයි. විශේෂයෙන් සෙත් කවි සෑදිය යුත්තේ ඇයි? ච යන්න සලකා බැලිය යුතුය. සසර ගමන නතර කරගන්නා තුරා අප කාටත් විඳින්නට සිදුවන කරදර, ලෙඩ රෝග, දුක් වේදනා එමටය. සෙත් කවියක් කීමෙන් එවැනි වේදනා බොහෝ දුරට අවම කරගත හැකිය. ශබ්ද ශාස්ත්‍රයට අයත් සෙත්කවි වූ කලී මන්ත්‍ර විශේෂයකි. මන්ත්‍ර යනු ඉතා දුෂ්කර වූත් ගැඹූරු වූත් විද්‍යාවකි. සෙත් කවියෙන් සැපතත් වස් කවියෙන් විපතත් අත්කර දිය හැක. ඉෂ්ඨ කාව්‍ය හෙවත් සෙත් කවි රචනය කාගෙත් යහපත උදෙසා කරන නිර්මාණයකි. ඡ්‍යොතිර්වේදීන් වන අප හටද සෙත් කවි සෑදීමේ නිපුනත්වය නොමැති හෙයින් නිපුනත්වය ඇති අයට යොමුකිරීම අපගේ යුතුකමකි. බොහෝදෙනා එසේ නොකර කවි හදති. 

සෙත් කවියෙන් පිහිට ගැනීම 

සෙත් කවියකින් පිහිටක් ලබාගත හැක්කේ ද සිල්වත් රචකයෙකුටය. ඔහු හෝ ඇය චරිතවත් යහපත් ගුණාංගවලින් පිරි නැත්නම් කවිය කොපමණ ශාස්ත්‍රීය වුවත් සැපතක් දෙන ශක්තියක් ඒ කවිවල ජනිත නොවේ. සෙත් කවි රචකයා පන්සිල් රකින්නකු නම් මත්පැනින් තොර නම්, මස් මාංශවලින් වැළැකී නම් එම නිර්මාණවලට කිසියම් හෝ විශේෂ බලයක් අන්තර්ගත වේ. සෑම සෙත් කවි රචකයෙක් කවියෙකි. නමුත් හැම කවියෙක්ම සෙත් කවි රචකයෙක් නොවේ. 

ඡ්‍යෝතිෂය, ස්වර ශාස්ත්‍රය, ඉන්ද්‍ර ගුරුලුව, හෝරා ශාස්ත්‍රය, සර්ව තෝ භද්‍ර චක්‍රය, පූජා විධි ශාස්ත්‍රය, අදාළ දෙවියන් සඳහන් වන දේව ඉතිහාසය යන විෂයයන් පිළිබඳ හොඳ දැනීමක් නියම සෙත් කවි රචකයෙකුට තිබිය යුතුය. සාමාන්‍ය කවිපද හතරක් ගළපා ගැනීමට පෙර සඳහන් කළ කිසිම දැනුමක් අවශ්‍ය නැත. ඉන් කවියක් සෑදීම කළ හැකි වුවත් එම කවියෙන් සෙතක් සැනසීමක් සිදු නොවේ. සෙත් කවි සෑදීමේදී අවශ්‍ය කරන පුද්ගලයා ඉතා කල්පනාකාරී විය යුතුය. එනම් ඊට සුදුසුම පුද්ගලයා තෝරාගත යුත්තේ නොදන්නා අය හැදූ සෙත් කවිය පසුව වස් කවිය වූ අවස්ථාද බොහෝසෙයින් වීමටද ඉඩ ඇති නිසාය. 

කවිය ආරම්භ කරන දිනයට උදාවී ඇති නැකත ගැන සලකා බැලිය යුතුව ඇත. එම නැකත ඉහත කී දෙදෙනාටම (එනම් දිනයන්හි හා අවශ්‍ය අයට) නොගැළපේ නම් ඒ දවසේ සෙත් කවිය ලිවීමට ආරම්භ නොකිරීම උගත් කවි රචකයාගේ සිරිතයි. එනම් නැකතට හිමි භූතයාත් , කවියේ නැකතට, දවසේ නැකතට එකිනෙක විරුද්ධ නොවිය යුතු වේ. කවියක් ලිවීම කරනුවේ ඒ ඒ අවශ්‍යතාවයන් අනුව ඒ ඒ සුදුසුම දෙවියෙකුට බව සඳහන් වේ. එනම් රවි හෙවත් ඉරු අපල කාරක ග්‍රහයා නම් කවිය ඔප්පු කළ යුතු දෙවියා වන්නේ ඊශ්වර දෙවි වන අතර සඳු හෙවත් චන්ද්‍රයා නම් සමන්දෙවි හා පත්තිනි මෑණි වන අතර අඟහරු නම් කතරගම දෙවිඳුන්ටය. බුධ ග්‍රහයා නම් ශ්‍රී විෂ්ණු හා මහබ්‍රහ්ම. සිකුරු නම් පත්තිනි මෑණියන්ට, ශනි හෙවත් සෙනුසරු නම් ශ්‍රී විෂ්ණු දෙවියන්ට, රාහු නම් ගම්භාර හෙවත් සූනියම් දෙවියන්ට, කේතා නම් කතරගම දෙවියන්ට බව පොත්වල සඳහන් වේ. සවස 6 සිට රාත්‍රි 10 දක්වා කාලය තුළ බැල්ම වැටෙනුයේ යක්ෂ දිෂ්ටි බවත් ඒ කාලය තුළදී සෙත්කවි කියැවීම පල රහිත බවත් පැරණි ශාස්ත්‍රයන්ගේ මතයකි. දෙවි වරුන්ගේ කටයුතු කළ යුත්තේ රාත්‍රි 10 පසුවී බව තවත් මතයකි. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.