ඔබට දරුපල තිබේද? ඔබම බලාගන්න

අප්‍රේල් 12, 2024

 

ඕනෑම පුද්ගලයකුගේ ආයු ප්‍රමාණය හා වසනාවන්ත භාවය ප්‍රකාශ කරන මැණික් කටු රේඛා හෙවත් මණිබන්ධන රේඛා හස්ත රේඛා පරික්ෂාවේදි ඉතාම වැදගත් වේ. අත්ලක ආරම්භය වන මැණික් කටු සීමාවේ මණිබන්ධන රේඛා එකක්, දෙකක් හෝ තුනක් වශයෙන් පිහිටා ඇත. එසේම රේඛා තුනම සම දුරින් ප්‍රබලව ඇති පුද්ගලයන්ට රාජ යෝග ඇතැයි හින්දු ශාස්ත්‍රයේ පිළිගැනීමකි.

පූර්ව ජන්මයන්හි දී කරන ලද කර්මයන්ගේ විපාක මේ භවයේදි ලබා දෙන ආකාරයය. පෙන්නුම් කරන ස්ථානය ද මේ කොටස ලෙස සැලකිය හැකිය. කෙනකුගේ අභිවෘද්ධිය ශ්‍රේෂ්ඨත්වය හා අධ්‍යාපනය ද මේ ස්ථානයට සම්බන්ධ රේඛාවලින් පෙන්වන හෙයිනි. ආයුෂ සම්බන්ධ ජීවන රේඛාවත් ජීවන කටයුතු වෘත්තීය හා බැදුණු දෛව රේඛාවත්, කලා කෞශල්‍යය හා දක්ෂතාත්, ප්‍රසිද්ධියත් ප්‍රකාශ කරන රවි රේඛාවත් කර්මය කෙරේ බලපාන ශනි ඇඟිල්ලට මුහුණලා පිහිටි මේ ස්ථානයෙන්ම ආරම්භ වීමෙන් ඒ බව පැහැදිලි වේ.

මැණික් කටු සන්ධි රේඛා තුන මඟින් වෙන් වෙන් වශයෙන් පුද්ගලයකුගේ පෞරුෂයේ ලක්ෂණ තුනක් පෙන්නුම් කරයි. අත්ලට ආසන්නයේ ඇති පළමු රේඛාවෙන් පුද්ගලයාගේ සෞඛ්‍ය පිළිබඳවත් (විශේෂයෙන් ලිංගික සෞඛ්‍ය පිළිබඳව) දෙවැනි රේඛාවෙන් ධනය පිළිබඳවත් තුන්වන රේඛාවෙන් බුද්ධිය පිළිබඳව විස්තර දැන ගත හැකිය. මේ රේඛා දුබලව නිර්මාණය වී ඇත්නම් දුර්වල ශරීරයකින් යුක්තය. එසේම නාස්ති කාරයෙකි. රේඛා දම්වැල් ආකාරයට සකස් වී ඇත්නම් කම්කරුවකු සේ වැඩ කිරීමට සිදු වේ.

පළමු රේඛාව දම්වැල් ආකාරයේ නම් ජීවිතයේ මුල් කාලයේද දෙවැනි රේඛාව දම්වැල් ආකාරයේ නම් ජීවිතයේ මැද කාලයේද තුන්වැනි රේඛාව දම්වැල් ආකාර නම් ජීවිතයේ අග කාලයේද දුක්විදීමට සිදුවන බව පෙන්නුම් කරයි. එසේම රේඛා පළල, නොගැඹුරු රේඛා නම් පුද්ගලයා දුර්වල ශරීර ශක්තියකින් හෙබි පුද්ගලයෙකි. එමෙන්ම රේඛා කොටස්වලට කැඩී ඇත්නම් ජීවිතයේ දුක් දොම්නස් ගැටලු සහ පරාජයවීම් බහුල එකකි.

පළමු මැණික් කටු රේඛාව අත්ල දෙසට වක්‍ර වී පිහිටන කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතිය දෝෂ සහ දරු ප්‍රසූතියේදි අමාරුකම් පෙන්වයි. එම වක්‍රය කැඩී ඇත්නම් වඳභාවය පෙන්නුම් කරයි. පුරුෂයන්ගේ පළමු රේඛාව ඉහළට නැවී ඇත්නම් ශුක්‍ර හීනතාවය පෙන්නුම් කරයි. මනි බන්ධන රේඛාවලින් ඉහළට අතු ශාඛා විහිදී යම් මණ්ඩලයක් තුළට ගමන් කරයිද එම මණ්ඩලයේ ගුණ වඩාත් ප්‍රබලව පෙන්නුම් කරයි. එනම් මේ රේඛාවලින් ආරම්භ වන අතු රේඛා ගුරු මණ්ඩලයට ගමන් කරයි නම් ජීවිතය සාර්ථක වී උසස් ජීවන තත්ත්වයක් ඇති වේ. එසේම දීර්ඝ සංචාරවල නිරිත වීමට අවකාශය ලැබේ. එහෙත් මේ රේඛාව ගුරු මණ්ඩලය අසලට විත් එක්වරම ශනි මණ්ඩලය දෙසට ගියොත් සංචාරය අසාර්ථක වනු ඇත.

ශනි මණ්ඩලයට අතු ශාඛාවක් ගමන් කරන්නේ නම් ආගම හෝ විද්‍යාව තුළින් පුද්ගලයා උසස් තලයකට පැමිණේ. රේඛා දෙකක් ශනි මණ්ඩලයට යයි ද එවා එකිනෙක කපයි ද නම් දීර්ඝ සංචාර දෙකක් යෙදේ. එවායින් පසුව යන සංචාරයෙන් ආපසු නොපැමිණේ. රවි මණ්ඩලයට අතු රේඛාවක් ගමන් කිරීම මඟින් පොහොසත් ප්‍රසිද්ධ සහ සාහිත්‍යය මඟින් දියුණුවීම පෙන්වයි. එසේ උසස් තත්වයකට පත් වී අන්‍යයන්ගේ පිළිගැනීමට භාජනය වේ. බුධ මණ්ඩලයට අතු ශාඛාවක් ගමන් කිරීම මඟින් කර්මාන්ත දියුණුවද නොසිතු හදිසි ධන ලාභද පෙන්වයි. බොහෝවිට ජීවිතය ගෙවන්නේ පිටරටය. මේ රේඛා මගදි කැඩී හෝ බුධ මණ්ඩලයට ළඟා නොවී ඇත්නම් එම පුද්ගලයා බොරු කියන අවිශ්වාස අයෙකි. එසේම ඉහළ කුජ මණ්ඩලයට අතු ශාඛාවක් විහිදුනොත් එම පුද්ගලයා බොහෝ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වේ.

කුජ තලාවට අතු විහිදෙන අත්ල සහිත පුද්ගලයා මිතුරන්ගේ උදව් ඇතිව දියුණු වේ. චන්ද්‍ර මණ්ඩලයට විහිදෙන අතු මඟින් සංචාර පෙන්නුම් කරයි. මනි බන්ධන රේඛා මත ත්‍රිකෝණයක් සමඟ කතිරයක් පිහිටා ඇත්නම් පරම්පරාගත බූදලයක් ලැබෙන බව පෙන්වන ලක්ෂණයකි. කතිරයක් පමණක් පිහිටා ඇත්නම් විශාල අමාරුකම් සහ එවායෙන් මිදීමට සෑහෙන වෙහෙසක් වීමට සිදුවන බවත් අවසානයේ වාසනාව උදාවෙන බවක් කියැවේ.

මනි බන්ධන රේඛාවලින් ආරම්භ වන අතු රේඛාවක් සිකුරු මණ්ඩලයේ සිරස්ව පිහිටි රේඛාවකට මුණ ගැසේද එම රේඛාව ගුරු මණ්ඩලයට ගමන් කරයි නම් ධනවත් පුද්ගලයකු සමඟ විවාහ වීමට නියමිතය. ඉහළට විහිදෙන රේඛාව ගුරු මණ්ඩලයට නොගොස් ශනි මණ්ඩලයට යයි නම් තමාට වඩා වැඩි මහලු කෙනකු සමඟ විවාහ වේ. මේ රේඛාව රවි මණ්ඩලයට යයි නම් චිත්‍ර ශිල්පියකු සමඟ විවාහ වේ. මේ රේඛාව බුධ මණ්ඩලයට යයි නම් ව්‍යාපාරයකු සමඟ විවාහ වේ. මනිබන්ධන රේඛාවලින් ඇරඹෙන අතු ශාඛාවක් චන්ද්‍ර මණ්ඩලයට ගොස් නැවත ජීවන රේඛාවට යයි නම් එම පුද්ගලයා සංචාරයක් කරන අතර තුර මරණයට පත්වේ. දෛව රේඛාව මනි බන්ධන කපයි නම් දුක් කරදර සහිත දිවියකට උරුමකම් කියයි.

කරුණු එසේ වෙතත් අප අවබෝධ කර ගත යුතු වන්නේ පුද්ගලයකුගේ අනාගතය ධෛර්යයෙන් සහ බුද්ධියෙන් මෙහෙයවා ගොඩනගන අනාගතයක් ම නොවන බවත් යම් මූලික සැලස්මක් තුළ අප ගමන් කරන බවත්ය. එසේ වුවද එම මූලික සැලස්මද වෙනස් කර ගත නො හැක්කක් නොවේ. බුද්ධිය හා ධෛර්ය මෙහෙයවා දුර්විපාක මඟහරවාගත හැකි වනු ඇත. ඒ අනුව වෙනස් කරගත යුතු සැලැස්ම පිළිබඳව අවබෝධයක් ලබාගත යුතු වේ. ඒ සඳහා හස්ත රේඛා ශාස්ත්‍රය උපයෝගිතාවයෙන් ඉමහත් ප්‍රතිපල ලබා ගත හැකිය.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.