ස්වෝත්සාහයෙන් ජීවිතය ජය ගන්නා මකර ලග්න හිමියෝ

අප්‍රේල් 12, 2024

 

රාශි චක්‍රයේ දසවැනි රාශිය මකරය. මකර රාශිය දුකට අධිපති ශනි ග්‍රහයාට අයත් වේ. සාමාන්‍ය ස්වරූපය අනුව සිහින් සිරුර සිහින් මුහුණ හා මහත් දත් ඇති අයෙක් විය හැකිය. ශනි හෝ ගුරු ලග්නයේ නම් මහත ශරීරයක් ඇති අයකු විය හැකිය.

මකර ලග්නයෙන් උපන් අය ඉක්මනින් හිතාමතා හා ඉවසීමෙන් කටයුතු කරන තමාගේ බලාපොරොත්තු සෑහෙන ප්‍රමණයක් සපල කර ගැනීමට තරම් වාසනාවන්ත අය වෙති. ඔවුහු ලෞකික වශයෙන් උසස් ජීවන තත්ත්වයකට පත්වීමට දැඩි ආශාවක් දක්වති. ඒ සඳහා කොතරම් බාධක පැමිණියත් සියල්ලටම මුහුණ දී තමාට අවශ්‍ය දේවල් උපයා ගැනීමට දැඩි වෙහෙසක් දරයි. තමාගේ බලය වැඩිකර ගැනීමට නොයෙකුත් උපක්‍රම යොදා ගනියි. තම දියුණුව වෙනුවෙන් ඕනෑම දුක් කරදරයක් විඳීමට කැමති වෙයි. ඒ නිසාම ඔවුහු අනාගත දියුණුව සලසා ගනිති. වැඩි වශයෙන් තම වාසිය ගැනම සිතා කටයුතු කරති. මකර ලග්න හිමියෝ පාලනයටද විශේෂ දක්ෂකමක් දක්වති. තමාට විපතක් කරදරයක් වූ විටකදී පවා අන් අයගේ උදවු උපකාර ගැනීමට කැමැත්තක් නොදැක්වීම ඔවුන්ගේ ලක්ෂණයකි. මකර ලග්න හිමියන් තම උත්සාහය හා කැපකිරීම නිසාම තමන්ට ලැබෙන රැකියාවෙන් පවා ඉහළටම යෑමට තරම් වාසනාවන්ත වන අතර ඒ පිළිබඳව යම් යම් දේ සොයා ගැනීමේ දක්ෂතාවයක් ඔවුන්ට ඇත.

මේ ලග්නයට අධිපතියා වන්නේ සෙනසුරු ය. සෙනසුරු කුම්භයට ද අධිපතිය. ගුරු ග්‍රහයා ලග්නගතව සිටීම ඔවුන්ට යහපත් නොවේ. ගුරු සමඟ සිකුරු ලග්නයේ සිටීනම් එයද යහපත් නැත. සැපවත් ජීවිතයක් ගත කිරීමට අපහසු වෙයි. විවාහයේ දී යම් යම් කරදර උදා කරයි. බුධ, සිකුරු, මකර ලග්න හිමියන්ට ශුභපල උදා කරන ග්‍රහයෝ ය. කුජ, ගුරු, සඳුගෙන් සුබපල අපේක්ෂා කළ නොහැකි ය. බුධ, ශුක්‍ර යෝගය යෙදී ඇත්තේ නම් සුබපල වඩාත්ම උදා කරයි. 1, 10 සෙනසුරු සිටීමෙන් සස යෝගය යෙදේ. දසවන රාශියේ සෙනසුරු සිටීමෙන් සේනක නම් යෝගය යෙදේ. උපතේ දී සෙනසුරු ලග්නයේ නම් දුක්වේදනා බාධක හමුවේ නොසැලී තම අරමුණ සඵල කර ගැනීමේ හැකියාව හා වාසනාව ලැබෙයි.

බොහෝ දුරට මකර ලග්න හිමියෝ ඉතාම ගුණගරුකය. එමෙන්ම කරුණාවන්තය. අන්‍යයන්ගේ ආදරයට, ගෞරවයට ලක්වෙති. ලග්නාධිපති දෙවැනි රාශියේ නම් ඉවසීමෙන් හා බුද්ධියෙන් ක්‍රියා කරන ගතියක් පෙනේ. සෙසු අයගේ ගෞරවයට ලක් වන්නේ ඉහත කී ලක්ෂණ අනුව යැයි සිතිය හැකි ය. මේ අයට විදේශ රටක වුවත් සිය ජීවිතයේ දී පැසසුම් ලබා ගෙන ජීවත්වීමේ වාසනාව ඇත.

සමානාත්මතාව ඉතාමත් අගය කොට සැලකීම ද අගය කළ යුතු ය. පොදු කටයුතුවලදී නිරන්තරයෙන්ම මොවුන්ට මූලිකත්වය හිමි වේ. සුළු මුදලක් උපයා ගන්නත් යමක් ඉතිරි කර ගැනීමටත් මොවුහු දක්ෂය. ගෙදර දොර අවට පරිසරය පවිත්‍රව තබා ගැනීමට වැඩි උනන්දුවක් දක්වති.

මකර ලග්නය හිමි කාන්තාවෝ නිවෙසේ හැම කාර්යයක්ම සතුටින් හා සකසුරුවම් ලෙස කිරීම විශේෂ ලක්ෂණයකි. පරීක්ෂාකාරීය. නිවැරැදි ලෙසටම වැඩ කිරීමට වැර දරති. පැහැදිලිවද ක්‍රමානුකූලවද අවංකවද ක්‍රියා කරන මොවුහු තමන්ගේ අදහස්වලට පටහැණිවන්නන් සමඟ මුහුණට මුහුණ දී සටන් කරන්නට පෙලඹෙති. විශ්වාසය තැබිය හැකි අය වේ. එහෙයින්ම මිත්‍රත්වයට පක්ෂපාතීව අවංකකමත්, ඍජු බවත් කැපී පෙනෙයි. ඉවසීම ඇත. ඉක්මනින්ම මිත්‍ර වන්නාහ. මොවුන්ගේ අරමුණු ස්ථිර නැත. සිහින ලොවක ජීවත් වන්නාහ. සාමාන්‍ය ජීවිතයට නුසුදුසු අන්දමේ සිතුම් පැතුම් මොවුන් සතු ය. තර්කඥානය ඉහළින්ම ඇත. හදිසියේ කිසිවක් කිරීමට නම් ශක්තියක් නොමැත. පැහැදිලි කෙටි තීරණාත්මක කතා විලාසයක් ඔවුන් සතුය.

මකර ලග්න හිමියන්ගේ ශනි ලග්නගතව සිටීනම් ඒරාෂ්ටක තත්ත්වයකි. උපතේ දී ඒරාෂ්ටක බලය නිසා මුල් කාලයේ දී දුක්පීඩා කරදරවලට මුහුණදීමට සිදුවේ. එහෙත් තරුණ වියේ දී සිය ජීවිතය යහපත් තත්ත්වයකට හැරේ. කුජ හතේ සිටී නම් විවාහ කටයුතු ප්‍රමාද වෙයි. බුධ, ශනි, හෝ කුජ ශනි ලග්නගතව සිටීම උසස් බුද්ධිමත් අය වීමට හේතුවක් වේ. මකර ලග්නයෙන් උපන් අයට විශේෂයෙන් කුජ, ගුරු, සඳු අශුභ පලදෙන ග්‍රහයෝ වෙති. බුධ, සිකුරු යහපත් පල දෙති. මකර ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ රවි දෙවැන්නේ සිටීමද අයහපත්ය. රවි තුන්වැන්නේ සිටීම ඉගෙනීමට යහපත් වේ. ලේඛන කලාවටද දක්ෂතා පෙන්වති. සඳු හතර වැන්නේ සිටී නම් ඇසුරු කරන අයගේ උදවු ලැබෙයි. සමාජයේ උසස් තත්ත්වයක් හිමි කර ගනී. ආදරය මුල් කරගත් විවාහයක් සිදු වෙයි.

මකර ලග්න හිමියන්ට විවාහය සඳහා වඩාත්ම ගැළපෙනුයේ මකර, කටක, වෘශ්චික, මීන යන ආපෝ (ජල) රාශිවල ඉපදුණ අයයි. එම ලග්නවලින් ඉපදුණ අය හා විවාහ වීම විවාහ ජීවිතය වඩාත් සාර්ථක වීමට හේතුවනු ඇත.

මකර ලග්න හිමියන්ට වැලඳෙන රෝග අතර සමේ රෝග, දණහිස්, කෙණ්ඩාවල රෝග, රක්තවාතය, හන්දි කැක්කුම හා වාත රෝග ආදිය වෙයි. මකර ලග්න හිමි අයට අපල ගෙනදෙන ග්‍රහයන් වන්නේ ගුරු, බුධ, රවි හා කුජය. මෙම ග්‍රහයන්ගේ මහ දශා අතුරු දශාවලදී මාරක විපත් ගෙනදීමට පුළුවන. ආරක්ෂක මන්ත්‍රවලින් ජප කරන ලද නිල්පාට මැණික් පැලඳ ගැනීම වඩාත්ම යෝග්‍ය වේ.

(මීළඟට කුම්භ ලග්නය)

ඡ්‍යොතිෂවේදී

හිඹුටානේ පියතිලක ද අල්විස්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.