ඉගෙනුමෙන් ගත යුතු හික්මීම ම යි වැදගත්

ඔක්තෝබර් 20, 2023

යම් පුද්ගලයකු ඉගෙන ගන්නා කල්හි ඔහු ලබන ඉතා වටනා දේ හික්මීමයි. සංවරභාවය, තැන්පත් භාවය වැනි උතුම් ලක්ෂණ හික්මුණු පුද්ගලයා තුළ වෙයි. කිසිම දේකට කඩාගෙන පැනගෙන නොයන හෙතෙම මනා සංයමයෙන් යුතුව ඉතා කල්පනාකාරී ව හික්මීමෙන් යුතු ව ක්‍රියා කරයි.

හික්මීමෙන් තොර උගත්කමක් වේද ඒ නිෂ්ඵල ය. භයානක ය. පැවැත්මෙන් තොර උගත්කම කිසිවෙක් අගය නොකරයි. එය මසින් තර ගවයකු වැනි යැයි බුදුහිමි වදාළහ. පැවිදි පක්ෂය සඳහා වෙනම විනය පිටකයක් ඇත. හික්මීමක්, විනයක්, ඉගෙනුමක් ලද යුතුය. උගත්කම මත රාජ්‍ය සේවයේ ඉහළ නිලතල දරමින් මහජන මුදල් කෝටි ගණන් වංචා කරන පුද්ගලයෝ උගත්තු නොවෙති. මන්ද යත් ඔහු කිසිදා පැවැත්මක්, හික්මීමක්, විනයක් නැති හෙයිනි. ශබ්ද ශාස්ත්‍ර කොතරම් දත් නමුදු ජන සමාජයේ බොහෝ ඉහළින් ප්‍රභූන් ලෙස පිළිගැනෙන නමුදු එවැන්නෝ හදවත ඉදිරියේ පරාජිතයහ. උගත් පුද්ගලයා එබන්දෙක් නොවේ. විනයක්, හික්මීමක් ඇති උගතා ම විශිෂ්ට ය. උගත්කම බැබළෙන්නේ ගුණ ගරුකත්වය මත ය. ගුණ ගරුකත්වයේ වැදගත් ලක්ෂණය හික්මීම යි.

“විද්‍යා දදාති විනයං’” යි විද්‍යාව හික්මීම ගෙන දේ යන උපදේශනය බොහෝ දෙනා දනිති.

ඉගෙනීමෙන් හික්මීම ලැබෙයි. ලැබිය යුත්තේ එයයි. යම් අයකුට ඉන් හික්මීමක් නොලැබෙයි නම් කුමක් කරන්නට ද? තමන්ගේ ආදරණීය දරුවාට, වැදූ මෑණියන්ගෙන් ලැබෙන්නේ විෂ නම් එය කාට කියන්නද? ඇකයෙහි රුවා ගත් සිය දරුවාට මව විෂ පොවයි නම් දරුවා එය කාට කියන්නද? යනුවෙන්.

“විද්‍යා විනයා වාප්තිං සාවෙද විනයා වහා කිං කුර්මඞ කිං පුතිබ්‍රෑමො

හරි දායං ස්වමා තරි”යි

පඬිවරු දක්වති.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.