පෙබරවාරි 6,7,8,9 උපන් ඔබේ ගතිගුණ

පෙබරවාරි 16, 2024

පෙබරවාරි මාසයේ 6, 15, 24 දිනයන්හි උපන් ඔබගේ පෞද්ගලික අංකය අංක 6 වන අතර, ඔබ සිකුරු සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ.

මේ දිනවල උපන් ඔබට ආදරය සම්බන්ධ කටයුතුවලදී නිරන්තරයෙන් පීඩාවන්ට ලක්වීමට සිදු වේ. එයට බොහෝවිට තමාගේ ඒක පාර්ශ්වීය හැසිරීම් රටාව බලපානු ලැබුවද ඔවුන් නිරන්තරයෙන් ආදර සම්බන්ධතා බලාපොරොත්තු වේ. එසේම බොහෝවිට විවාහයන් සඳහා තෝරා ගනු ලබන්නේ තමන්ට තරාතිරමට නොගැළපෙන පුද්ගලයන් වීම විශේෂත්වයකි. ආදරයේ අන්ධබව නිසා තමා සතු සියලු හිමිකම් තම කාලාත්‍රයා වෙනුවෙන් කැපකිරීම මොවුන්ගේ ලක්ෂණයකි. මේ තත්ත්වය පෙබරවාරි 6, 15 උපන් අයට විශේෂ වන අතර, පෙබරවාරි 24 මීන රාශියෙහි තරමක් දුරට ගමන් කර ඇති හෙයින් දුබලතාවය යම් තරමකට මඟ හැරේ. මේ අයගේ ද ජීවිතයේ මුල් කාලයේ එනම් වයස අවු 35 තෙක් ජනවාරියේ මෙන් දුෂ්කරතා බහුලය.

ජීවිතයේ මුල් කාලය ආර්ථිකමය දුෂ්කරතාවලට මුහුණ දීම් සිදු වුවද ජීවිතයේ දෙවැනි භාගයේ යම් සාර්ථකත්වයක් ගොඩනඟා ගත හැකිය. මොවුන් කෙතරම් අවස්ථා යෙදුණත් මුදල් ඒකරාශි කර ගැනීම අඩුය. නමුත් ධනවත් වීමේ සියලු ලකුණු පෙන්නුම් වේ. හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන අතර, කාලගුණික විපර්යාසවලින් සෙම් අසනීප උග්‍ර වේ. නියුමොනියාව වැලඳීමේ ප්‍රවණතාවයක් දැකිය හැකිය. ස්නායු ආතති තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ඒ ගැන අවධානය යොමු කළ යුතුය.

මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 6 දින එනම් 6, 15, 24 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කර ගැනීමට උපකාරි වේ. වයලට් පැහැය, වයලට් දම් සුබ වර්ණ වේ. පෙබරවාරි මාසයේ 7, 16, 25 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 7 වන අතර, මොවුන්ගෙන් 7, 16 දිනවල උපන් අය නෙප්චුන්, සඳු සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ. පෙබරවාරි 25 මීනයට අවතීර්ණ වී ඇති නිසා එම දින උපන් අය ගුරු සහ ශනිගේ කම්පනයන්ට යටත් වේ.

පෙබරවාරි 7 සහ 16 උපන් අයවලුන් අසාමාන්‍ය නිර්මාණ ශක්තියක් සහිත පුද්ගලයන් වන අතර සංවේදි පුද්ගලයන් වේ. ජීවන වෘත්තිය තෝරාගැනීමේදි ආත්ම විශ්වාසයේ මඳකම නිසා නිශ්චිත තීරණවලට එළඹීමේ ගැටලුවලට නිරන්තරයෙන් මුහුණදීමට මොවුන්ට සිදු වේ. මෙය දීර්ඝකාලීනවද මේ දිනවල උපන් පුද්ගලයන්ගේ දැකිය හැකි වීමටද පුළුවන.

නමුත් කෙසේ හෝ යම් හෙයකින් ඔවුන් තම ගමන් මඟ තෝරා ගතහොත් අරමුණ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කිරීම සිදු වේ. ගුප්ත ශාස්ත්‍ර ඡ්‍යොතිෂය වැනි විෂයන් හැදෑරීමට මෙන්ම ගවේෂණය කිරීමටද නැඹුරුතාවයක් මේ පුද්ගලයන්ගෙන් බලාපොරොත්තු විය හැකිය. කලාව සම්බන්ධ කටයුතුත් මොවුන්ගේ එක අංශයක් වන අතර, දැනුම ඒකරාශි කර ගැනීම සිදු වන්නේ මානසික ශක්තින් උපයෝගිතාවයෙන් වීම විශේෂත්වයකි.

පෙබරවාරි 25 උපන් අයවලුන් මීන රාශියේ යම් දුරක් ගමන් කර ඇති බැවින්, ගුරුගේ බලය ඔවුන්ට ක්‍රියාත්මක වේ. එබැවින් හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීම මොවුන්ගෙන් දැකිය හැකිය.

ආර්ථිකමය කටයුතුවලදී සාර්ථකත්වයක් මොවුන්ගෙන් බලාපොරොත්තු විය නොහැකි අතර, සූදු සහ ඔට්ටු දැමීම මොවුන් ආර්ථික ප්‍රපාතයකට ඇද දැමීමට හේතු වන බැවින් එවැනි මුදල් ඉපයීම්වලින් ඉවත්ව කටයුතු කිරීම සුබදායක වේ. මේ දිනවල උපන් පුද්ගලයන් හොඳ කායික සෞඛ්‍යයකින් උපදින අතර, රෝගයකට ගොදුරු වුවහොත් රෝගය හඳුනා ගැනීම වෛද්‍යවරුන්ට අපහසු වනු ඇත. ආහාර ජීර්ණ පද්ධතියේ දෝෂකාරි තත්ත්වයන් ඇතිවිය හැකිය. එසේම මානසික ආතතිය නිසා අසනීප තත්ත්වයන් බලාපොරොත්තු විය හැකිය.

මොවුන් සෑම කටයුත්තක් සඳහාම 2, 7, 10, 11, 16, 19, 20, 25, 29 යන දිනයන් හෙවත් අංක 2, 7 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කර ගැනීමට උපකාරි වේ.

පෙබරවාරි මාසයේ 8, 17, 26 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 8 වන අතර, මොවුන්ගෙන් 8, 17 දිනවල උපන් අය පෞද්ගලික අංකයට අදාළව සහ මාසයේ බලයෙන් ශනි ග්‍රහයාගේ කම්පනයට යටත් වේ. මාසයේ බලයෙන් සහ උපන් දිනයෙන් ශනි ද්විත්ව ආකාරයෙන් ක්‍රියාත්මක වන හෙයින් මේ දිනවල උපන් පුද්ගලයන්ට බරපතළ වගකීම් දරා ගැනීමට සිදු වේ.

විශේෂයෙන් වයස අවුරුදු 4, 8, 13, 17, 22, 26 ආදි වූ අංක 4 හා අංක 8 යෙදෙන වසරවලදී අතිශය පීඩාකාරි තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වේ. එදිනෙදා කටයුතුවලදී පවා ප්‍රබල මානසික කඩා වැටීම්වලට මොවුන්ට මුහුණ පෑමට සිදු වේ.

පෙබරවාරි 26 මීනයට අවතීර්ණ වී ඇති නිසා එම දින උපන් අය ගුරු සහ ශනිගේ කම්පනයන්ට යටත් වේ. ගැඹුරු දාර්ශනික අදහස් ඇති පුද්ගලයන් මේ දිනවලවල උත්පත්තිය ලබන අතර කුමන ක්‍ෂේත්‍රයක කටයුතු කළත් ඔවුන්ගේ එම ස්වභාවය පවති. දෛවෝපගත සිදුවීම් බහුල අතර, බලාපොරොත්තු නොවන වගකීම් සේම තනතුරුවලට හිමිකමක් ඔවුන් සතුය. පෙබරවාරි 26 දින උපන් අය ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වන හෙයින් ලෞකික සාර්ථකත්වයක් ඇතිවන නමුත් පෞද්ගලික අංකයට යටත්ව ශනි ග්‍රහයාගේ බලපෑමට යටත්වන හෙයින් රහස් සතුරන් ඇතිවීම විවේචනයට ලක්වීම නිරන්තරයෙන් බලාපොරොත්තු විය යුතුය. පොදුවේ මොවුන්ට පීඩාකාරි ආදර සම්බන්ධතා මෙන්ම වේදනාකාරි විවාහ ජීවිතවලට මුහුණ දීමට සිදු වේ. බලාපොරොත්තු රහිත ලෙස අසනීපවලට මඟ පෑදෙන අතර හෘද රෝග සහ අංශභාග රෝග මේ අතර ප්‍රධාන වේ. මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම 1, 2, 7, 10, 11, 16 යන දිනයන් හෙවත් අංක 1, 2, 7 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ.

පෙබරවාරි මාසයේ 9, 18, 27 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 9 වන අතර, මොවුන්ගෙන් 9, 18 දිනවල උපන් අය කුජ සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ. පෙබරවාරි 27 මීනයට අවතිර්ණ වී ඇති නිසා එම දිනයේ උපන් අය ගුරු සහ කුජගේ කම්පනයන්ට යටත් වේ. ප්‍රබල තර්කන ශක්තියක් උරුම කර ගනිමින් උත්පත්තිය ලබන මුත් ස්වාධීනත්වය ඔවුන් කෙරේ දැකිය හැකිය. විවාදයේ ඔවුන් දක්ෂය. හොඳ සංවිධාන ශක්තියක් ඇත. එසේම තමා යෙදෙන ඕනෑම කටයුත්තක් ජයග්‍රහණයෙන් කෙළවර කිරීමේ හැකියාවක් මොවුන් සතුය. ඉවසීම බොහෝ සෙයින් අඩු නිසා කරදර විපත්තිවලට මුහුණ පෑමට සිදු වේ.

සෞඛ්‍යය පිළිබඳව ඔවුන් අවධානයක් යොමු කරන්නේ නැත. එසේ නමුත් හොඳ නිරෝගිතාවයක් හිමි වේ. නමුත් හෘදයාබාධ, පෙණහලු පිළිබඳව අවධානය යොමු කළ යුතුය. මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම 9, 18, 27 යන දිනයන් භාවිත කිරීම සුබපල ලැබීමට හේතු වේ. සුබ වර්ණ වනුයේ රතු පැහැය සහ රෝස පැහැය වේ.

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ, නාඋල බී. ඒ. ජයවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.