සිංහයන් සේ එඩිතර සිංහ ලග්න හිමියෝ

මාර්තු 1, 2024

ග්‍රහ මඬුල්ලේ රජිඳ වශයෙන් සලකනු ලබන රවි ග්‍රහයා අධිපතීත්වය දරන එකම රාශිය සිංහ රාශියයි. මෙය තේජෝ ගුණයෙන් යුතු පුරුෂ රාශියක් වෙයි. ක්‍රෑර රාශියක් මෙන්ම ස්ථිර රාශියක් වශයෙන්ද හැඳින්වේ. මේ රාශියට අයත් නැකැත් තරු පෙළ සිංහයකුගේ ස්වරූපයෙන් දිස්වෙන බැවින් මෙම රාශිය සිංහයෙකුගේ ස්වරූපයෙන් සංකේතවත් කර ඇත.

සිංහයෙන් උපත ලද ඔබගේ මූල ධාතුව වනුයේ අග්නියයි. එම නිසාම ඔබ ගින්දර වගේම සැරයි උෂ්ණය. ඇත්ත වශයෙන්ම ඔබ සැබෑම වාසනාවන්තයෙකු ලෙස හැඳින්වීම නිවැරැදිය. එහෙත් ඔබට ආඩම්බර සහ අහංකාර ගතිගුණ හිමිව ඇත්තේ සැබැවින්ම ඔබ සිංහයකු මෙන් නිසාය. එහෙත් ඔබට නිසඟයෙන්ම ලැබුණ අවංකකමක් ඇත. ඔබ සත්‍යවාදීය. යුක්තිගරුකය. ඔබේ හදවත පිරී ඇත්තේ අවංකවූ සිතිවිලි සමුදායකිනි. වංචාව, ප්‍රයෝගය හා කපටිකම ඔබට නුහුරුය. ඔබ නායකත්ව හැකියාවන් රැගෙන ආවේ උපතින්මය. ඒ අනුව පිරිසක් පාලනය කිරීමට පමණක් නොව රටක් රාජ්‍යයක් වුව පාලනය කිරීමේ හැකියාවද ඔබ සතුව ඇත.

කැපී පෙනීමේ හා මූලිකත්වය ගෙන ක්‍රියා කිරීමේ හැකියාවන් ඔබ තුළ සැඟව පවතින අතර, අවස්ථාව ලද විගස එම සිතිවිලි ක්‍රියාත්මක වනුයේ විදුලි වේගයකින්ය. ඔබ ඔබේ ගෞරවයට, අභිමානයට යම්කිසි අයුරකින් අවමානයක් හෝ හානිදායක දෙයක් සිදු වුවහොත් එයට එම අවස්ථාවේදීම ප්‍රතිචාර දක්වනුයේ දැඩි කෝපයකින්ය. ඔබ දැඩිව ආදරය කරන දෙයක් හෝ ඔබට අයිති යමක් ඔබෙන් උදුරාගතහොත් හෝ ඔබෙන් වෙන් කළහොත් ඔබ හැසිරෙනුයේ කිසිවෙකුට හෝ ඔබව මෙල්ල කළ නොහැකි ආකාරයෙනි. නිර්ලෝභී ත්‍යාගශීලි හදවතකට උරුමකම් කියන ඔබ ප්‍රතිපත්තිගරුකය. වාසියට නැමෙන්නේ නැත. සියුම් කල්පනාකරුවෙකු වන ඔබ දියුණුවීමේ කලාව උපතින්ම ගෙන ආ අයෙකු වන අතර, ඒ නිසාම ඔබට දක්ෂ පාලකයෙකු වීමේ හැකියාවද ඇත.

මේ ලග්නයෙන් උපන් අය සිංහයෙකුට සමාන එඩිතර ගතියක් පෙන්නුම් කරයි. ශක්තිමත් ශරීරයකටද හිමිකම් කියන ඔවුන් හට පළල් වූ උරහිස්වලින් යුත් වැඩුණු ශරීරයක් හිමිය. ඉතා ශබ්ද නඟා කතා කරයි. අන් අය තමා වෙත යටත්කර ගැනීමේ අපූර්ව ගතියක්ද උපතින්ම පිහිටා ඇත. සිංහ රාශියෙන් උපන් අය සටනට ළැදිය. එහෙත් ආත්ම ගෞරවය දිවි දෙවෙනිකොට සලකන බැවින් තමන්ගේ චරිතයට කැළැල්වන කිසිම දෙයකට ඉඩ නොදෙයි. ඔවුන් සටනට බසින්නේ බැරිව අවස්ථාවක් වූ විටයි. එය ජයග්‍රහණය උදෙසාම කරන සටනකි. ආත්ම ශක්තියෙන් හා චිත්ත ධෛර්යෙන් යුත් අය නිසා ඕනෑම බරපතල කාර්යයක් වුවද නොපැලිකිලිව භාර ගනී. සමාජසේවා හා ආගමික කටයුතුවලදී මූලිකත්වය ගෙන ක්‍රියා කරයි. මොවුන් මස් මාංශ ආහාරයට වඩා පි‍්‍රයතාවයක් දක්වයි. බොහෝ කර්මාන්තවලින් තම පවුල ජීවත් කරවයි. තම යුතුකම් හරිහැටි ඉටුකරන ඔවුන් ගෞරවය, ප්‍රසිද්ධිය බොහෝ පි‍්‍රය කරයි. රවි සමඟ ගුරු, සිකුරු වැනි ශුභ ග්‍රහ තරුවන් සම්බන්ධවීම මේ ගතිපැවතුම් වඩාත් ප්‍රචලිතව ගෙන දෙයි.

ශනි,කුජ, කේතු වැනි පාප ග්‍රහයෙකු සමඟ සංයෝග වූ විට හෝ දෘෂ්ටි ලැබූ විට මෝඩ අහංකාර ගතියෙන් යුත් මුරණ්ඩු අය වෙති. සමාජයේ යහපතට නොව විනාශකාරීත්වයට වැඩිදුර පෙළඹෙයි. දිවි ඇතිතෙක් තවත් අයෙකුට යටත්ව කටයුතු කිරීමට කැමති නොවේ.

සිංහ ලග්නයෙන් උපන් අය බොහෝවිට බුද්ධිමත්ය. තියුණු නුවණක් උපතින්ම උරුම වී ඇත. හැම දෙයක්ම කියවීම ඔවුන්ගේ සිරිතය. ඉංජිනේරු ශිල්පය, පරිගණක තාක්ෂණය, නාවික ඉංජිනේරු ශිල්පය, විදුලි ඉංජිනේරු, අධිකරණ වෛද්‍ය විද්‍යාව, කළමනාකරණය, අලෙවිකරණය, චිත්‍ර, සංගීතය, නැටුම් කලාව ආදී විෂයයන් කෙරෙහි විශේෂ දක්ෂතා දක්වති. විදේශ අධ්‍යාපනයක් ලබා ගැනීමේ වාසනාවද බොහෝ සිංහ ලග්න හිමියන්ට හිමි වෙයි. ඉහළ තත්ත්වයේ රැකියා අවස්ථා ලබා ගැනීමේ වාසනාවද හිමිය. රාජ්‍ය ලේකම්, මහකොමසාරිස්, තානාපති වැනි උසස් රැකියා බොහෝ විට හිමි විය හැක.

සිංහ ලග්නය වී එහි රවි සිටි විට උපදින අය රාජ්‍ය සේවයේ යෙදෙන ශක්තිමත් සිරුරක් ඇති තේජසින් යුත් අයෙකු කරවයි. මිනිසුන් තැති ගන්වනසුලු ස්වභාවයක් පෙන්වයි. ජනතා නායකයෙකු වීමෙ භාග්‍යයද හිමි වෙයි. සිංහ ලග්නයේ සඳු සිටින අයට පළල් වූ මුහුණක් ඇතිවේ.ඇස් දුඹුරු පැහැ ගැන්වීමට හැකි අතර, සුළු කරුණකට වුවද කෝප සහගතවීම විශේෂ ලක්ෂණයක් වෙයි. එසේම තියුණු දැනීමක් ඇති බැවින් සඳු සිංහයේ සිටින අයට හොරෙන් කිසිම කටයුත්තක් කිරීම අපහසුය.

සිංහ ලග්නය වී හතර වැන්නේ කුජ සිටීමෙන් රුචක නම් යෝගයද, හතේ ශනි සිටීමෙන් සස යෝගයද, දහයේ සිකුරා සිටීමෙන් මාලවී යෝගයද උදාකෙරෙන අතර සිංහ ලග්න හිමියන්ට බොහෝ කොටම බලපෑම් ඇතිවන ශාරීරික ස්ථාන සහ අංගයන් පිළිබඳව සොයා බැලීමේදී හෘදය හා කොඳු ඇට පෙළ ආශ්‍රිතව හා ස්ථාන පීඩාවට පත්කරවන රෝග ලෙස සැලකේ. සිංහ ලග්නයෙන් උපන් අය අසාධ්‍ය ලෙස රෝගයකින් පෙලෙන්නේ නම් එය හෘදය පිළිබඳ අසනීපයක් විය හැකිය. හදිසි හෘදයාබාධවලින් පීඩාවට පත්ව නොසිතූ මොහොතක ජීවිතය අහිමි වීමට තරම් ක්ෂණික හෘද අකර්මණ්‍ය වීමකට සිංහ ලග්න හිමියෝ පත් විය හැකිය. ස්නායුගත ආබාධවලටද පහසුවෙන් ගොදුරු වෙති. එමෙන්ම උණ, වලිප්පුව, වසංගත රෝග, ඇස් රුදාව, පිත කිපීමෙන් ඇතිවන රෝගද සිංහ හිමියන්ට පීඩා කරයි. බොහෝ කාලයක් නිසි පරිදි ආහාර නොලැබීමෙන් වන ශරීර දුර්වලතා, ජලචර සත්වයන්ගෙන් සිදුවන පීඩා, විෂ ශරීර ගත වීම සහ ආයුධ පීඩා සිංහ ලග්න හිමියන්ගේ මරණයට බොහෝ දුරට හේතුවිය හැක.

සිංහ ලග්නයෙන් උපන් කාන්තාවන්ගේ හිසකෙස් මදක් රැලි සහිතය. තරමක් ඝන රෝමවලින් යුක්තය. නාසය විශාලය. වටකුරු නෙත් යුවල බබළන ගතියෙන් යුක්තය. ඔවුන් ඉතා බුද්ධිමත්ය. ඕනෑම විෂයයක් ඉගෙනීමට දක්ෂය. පොතපත කෙරෙහි ම දැඩි අවධානය යොමු කිරීම විශේෂ ලක්ෂණයකි. ලේඛන කලාවට ඔවුන් පුදුම හැකියාවක් පෙන්වයි. සිංහ ලග්න කාරියන් බුද්ධිමත් නිසා බොළඳ පෙම්වතුන්ට නොරැවටෙයි. කෙනෙකුට ආදරය කරන්නේ ප්‍රවේශමෙනි. රූපය ගැන නොසලකයි. විශේෂයෙන් සොයා බලනුයේ රැකියාව හා ආදායම් තත්වය පිළිබඳවයි. දෙමාපියන්ගේ ආශීර්වාද මැද විවාහ වීම ඔවුන්ගේ පැතුමයි.

සිංහ ලග්නයෙන් උපන් අයට විවාහය සඳහා වඩාත් සුදුසු වන්නේ සිංහ හා ධනු ලග්න හිමියන්ය. ඔවුන් හා විවාහවීම වඩාත් සාර්ථක විවාහ ජීවිතයකට හේතුවනු ඇත. අනෙක් ලග්න හිමියන් හා විවාහවීම සම ඵලයි.

 

(මීළඟට කන්‍ය ලග්නය ගැනයි)

ජෝතිෂ්‍යවේදී

හිඹුටානේ පියතිලක ද අල්විස්

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.