සමාජයේ ඉහළට ඔබ ඔසවා තබන රවි රේඛාව

මාර්තු 1, 2024

 

ඕනෑම පුද්ගලයකුට නිරායාසයෙන් ලැබෙන ධන සම්පත්, කීර්තිය, යහපත් මිත්‍රයන්, කලා කෞශල්‍ය, ආදි වු උසස් තත්ත්වයන් හස්ත පරික්ෂාවේදී පෙන්වනු ලබන්නේ රවි රේඛාව මඟිනි. චන්ද්‍ර මණ්ඩලය හෝ මැණික් කටුව දෙසින් බොහෝ විට රවි රේඛාව ආරම්භ වී රවි මණ්ඩලය දෙසට ගමන් කරයි. නමුත් බොහෝ අත්වල රවි රේඛාව පිහිටන්නේ නැත. රවි රේඛාවක් යම් පුද්ගලයකුගේ පිහිටා ඇත්නම් දෛව්‍ය රේඛාවේ ප්‍රබල ලක්ෂණ ඉස්මතු වී ප්‍රථිපල ගෙන දෙයි. ජීවිතය විනෝදකාමිව සහ තෘප්තිමත්ව ගෙවිය හැකි මට්ටම, තමාගේ සහජ දක්ෂතා කෞෂල්‍යයන් මොනවාද, ඒවා ජීවන ගමනට ලබා දෙන සහය කොපමණද, පෙර පින් බලය හෝ වාසනාව ජීවන ගමන ආලෝකවත් කර ගැනීමට උපයෝගි වනවාද, යන කරුණු යම් අයකුගේ අත්ලේ රවි රේඛාව හැසිරෙන ආකාරයෙන් තහවුරු කර ගත හැක.

අත්ලක රවි රේඛාව ආරම්භයට නිශ්චිත ස්ථානයක් දැක්විය නොහැකිය. නමුත් රවි රේඛාවේ අවසානය සිදු වන්නේ රවි මණ්ඩලය තුළිනි. රවි රේඛාව මැණික් කටුව ආසන්නයේ මණි බද්ධ වළලු දෙස සිටම ආරම්භ වී ඇත්නම් කුඩා කල සිටම දක්ෂතා ඇතිව උගතුන්ගෙන් පවා ගරු සැලකිලි ලැබීමට භාග්‍ය ඇති ධන සම්පත් හිමි පුද්ගලයෙක් බිහිවේ. රේඛාව පටන් ගන්නේ චන්ද්‍ර මණ්ඩලයෙන් නම් අනෙත් පුද්ගලයින්ගේ උදව් සහ කැපවීම උඩ විශාල වශයෙන් රඳා පවතින සාර්ථකත්වයක් පුද්ගලයා ලබනු ඇත. රේඛා ආරම්භය චන්ද්‍ර මණ්ඩලය මධ්‍යයෙන් නම් විදේශ ගමනකින් හෝ විදේශයන් සම්බන්ධ ව්‍යාපාරයකින් දියුණුවට පත්වේ. ලේඛනයට ග්‍රන්ථ කරණයට ද දක්ෂතා ඇති පුද්ගලයෙක් බිහිවේ. කලාතුරකින් දැකිය හැකි පිහිටීමක් වන්නේ ජීවන රේඛාවෙන් රවි රේඛාව ආරම්භ වීමයි. තමාගේ දියුණුවට පවුලේ නෑදෑයින් උපකාර කරයි. යහපත් ආනාගතයක් ඇත. ජීවන රේඛාවට ඇතුළතින් සිකුරු මණ්ඩලයෙන් රේඛාව ආරම්භ වන්නේ නම් එය යහපත් පිහිටීමකි. උප්පත්තියෙන් හෝ වාසනා බලයෙන් දියුණු වන පිහිටීමකි.

හෘද රේඛාවෙන් රවි රේඛාව ආරම්භ වන්නේ නම් පුද්ගලයා කලාත්මක හැකියාවන් දියුණු කර ගනී. එසේම එම හැකියාවන් ප්‍රායෝගිකව ක්‍රියාවේ යොදවයි. ජීවිතයේ සැදෑ සමය තමන්ගේ කටයුතු හොඳින් සිදුවන පිහිටීමකි. ජීවිත කාලය පුරාවට කළ කී දේ ඇගයීමට ලක්වන බවට ඉඟියකි. යම් පුද්ගලයකුගේ ශීර්ෂ රේඛාව සිට රවි රේඛාව ආරම්භ වන්නේ නම් සාර්ථකත්වය සඳහා පෞද්ගලික හැකියාවන් මිස අන්‍යයන්ගේ සහයෝගය ලැබෙන්නේ නැත. එසේම එම සාර්ථකත්වය ලබන්නේ ජීවිතයේ දෙවැනි භාගයේදීය.

ප්‍රබල රවි රේඛාවක් සහිත පුද්ගලයෙක්ගේ වක ගැසුණු වෙදඟිල්ලක් ඇත්නම් කුමන ආකාරයෙන් හෝ මුදල් උපයන අයවලුන් බිහිකරයි. ඔවුන් බොහෝවිට සොරුන් මංකොල්ලකරුවන් හෝ අපරාධකරුවන් විය හැකිය. පහළ කුජ මණ්ඩයෙන් එන රේඛාවක් රවි රේඛාවට සම්බන්ධ වුවහොත් අධිකරණ කටයුතුවලට යාමට සිදු වේ. මෙම පිහිටීම සහිත අත්ල හිමියකුගේ ශනි මණ්ඩලයේ කතිරයක් ඇත්නම් සිරගත වීමකට ලක්වන බව කියන අනාවැකියකි. සිකුරු මණ්ඩලයේ සිට එන රේඛාවක් රවි රේඛාවට සම්බන්ධ වී ඇත්නම් තම නෑදෑයින්ගෙන් දියුණුවට උදව් ලැබේ. මෙම රේඛාව රවි රේඛාව කපාගෙන යයි නම් නෑදෑයින් නිසා තම මුදල් සහ තත්ත්වය නැති වේ. දෛව රේඛාවෙන් පැමිණි රේඛාවක් සම්බන්ධ වන්නේ නම් විවාහ දිවිය සැපවත්ය. බොහෝ ලැබීම් ඇත. වැඩි උත්සාහයක් නැතිව ධනය ලැබේ. අන්තිම කැමති පත්‍රයකින් ලැබීමක් හෝ තම ව්‍යාපාරයට අන්‍යයන් මුදල් ආයෝජනය කිරීමෙන් හෝ ලාභ ලැබෙන පිහිටීමකි. එම රේඛාව රවි රේඛාව කපාගෙන යන්නේ නම් ප්‍රථිපල ලැබෙන්නේ නැත.

එමෙන්ම රවි රේඛාව සහ හෘද රේඛාව සම්බන්ධ වන සේ ත්‍රිකෝණයක් නිර්මාණය වේ නම් ප්‍රසිද්ධිය ඇති ප්‍රීතිමත් ජීවිතයක් ලැබේ. එසේම මේ අයුරින් චතුරස්‍රයක් පිහිටා ඇත්නම් මුදල් ආරක්ෂා කර ගැනීමට හැකි වේ. දේපොළ නැතිවීම්වලින් මෙන්ම සතුරන්ගෙන් ආරක්ෂාව ලැබේ. රේඛාවේ කඩවූ කොටස සමචතුරස්‍රයකින් ආවරණය වී ඇත්නම් සිදුවීමට නියමිත ආපදාවකින් ආරක්ෂාව ලැබේ. රවි රේඛා දෙකක් පිහිටා ඇත්නම් නොසිතු විරු වාසනාවක් හිමි වේ.(උදාහරණ ලොතරැයි දිනුමක් ) එසේත් නොමැතිනම් විවාහයකින් ලොකු දේපොළක් හිමි වේ. රවි රේඛාවෙන් හෘද රේඛාව කැපෙන තැන කලු තිතක් වේ නම් ඇස් අන්ධ වීමට ඉඩ ඇත.

එසේම මහ චතුරස්‍රයේදි තාරකා ලක්ෂණයක් රවි රේඛාව ස්පර්ෂ කරයි නම් පීනස හැදීමට ඉඩ ඇත. රවි මණ්ඩලය තුළ කුඩා රවි රේඛා කිහිපයක් පිහිටා ඇත්නම් කුඩා කාලයේ දුක් විද ඇති නමුත් තරුණ වියෙන් පසු දියුණුවට පත් අයෙකු බව පෙන්නුම් කරයි. පොඩි ආඩම්බර ගතියක් ඔවුන් සතුවේ. සංචාරයට කැමති පුද්ගලයෙක් බිහි කරයි. මෙම රේඛා හරස් රේඛාවලින් කැපී ඇත්නම් අධ්‍යාපනයට බධා ඇතිවේ. මෙම ලක්ෂණයද ඇස් පෙනීම දුර්වල බව පෙන්වයි.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.