රෙහෙණ නැකතින් උපන්නෝ

මාර්තු 15, 2024

රෙහෙණ නැකතින් උපත ලද්දේ නම් ඔහු හෝ ඇය ඉතාම බුද්ධිමත් ය. චංචලගති ලක්ෂණ බාහිරව පෙනුණත් ඇතුළත ස්ථාවර බව ගැබ් වී තිබේ. උදාර අදහස්වලින් පිරිපුන් අයෙකි. සැඟවුණ ගුප්ත චරිතයක් නොවේ. විපතකට කලින් බියවන සුලුය. අන්‍යයන්ගේ දුක් කරදරවලදී අධික ලෙස කම්පාවේ. තම පවුලේ අයටත් ළඟින්ම ඇසුරු කරන අයටත් ඉතාම හිතවත්වේ. තම පවුලේ නියම ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

රැකීවල ද ගැනද සමාජයේ ද ඉහළ තනතුරක් දරයි. සමාජයේ කැපී පෙනෙන අගනා චරිතයක් වන්නේ ය. පෙර පින් පෑදී තිබේ. තරමක ඉවසන ගතිය ද අඩුයි. අන්‍යයන් සමඟ වාද විවාදවලට ගොස් ප්‍රශ්න ඇතිකර ගනී. අවවාද අනුශාසනා දීමට ද දක්ෂයි. කෙනෙකු සමඟ ඇතිකර ගන්නා ලද සමහර කතිකා හා ගිවිසුම්වලදී ගැටලු ඇතිකර ගනී. බොහෝ විට අන්‍යයන්ට තමාගේ සංවේදිකම නිසා මානසිකවද ඇද වැටේ. කාන්තාවන් කෙරේ වැඩි ඇල්මක් දක්වයි. යුග දිවිය ඉතාම සාර්ථකව ගෙන යයි. හොඳම රසිකයෙකි. ඇසුරට වැටුණොත් රෙහෙණ නැකත් හිමි අය සදාකල්හිම රැඳී සිටීමට දක්ෂයි. කෙනෙකු සමඟ තරහ වුවත් ඉතාම කෙටි වේලාවකින් කතා කර යහළු වේ. කුහකකමක් නැත. හරිම සුන්දර මනුෂ්‍යයෙකි.

රෙහෙණ නැකත් හිමියාට උපතින්ම මහා වාසනාවක් පෑදී ඇත්තේ ය. ඒ අන්‍යයන් සමඟ පවත්වන මිත්‍රකමය. ඔහුගේ නිතර කියමනකි. වේයයි, මීයයි, නෑයයි තුන්දෙනාම කනසුලුය යන වැකිය. මානව සමාජය මැනවින් තේරුම් ගැනීමට සමත්ය. ඉහළ පෙළේ මනෝ විද්‍යාඥයෙක් නූවත් කෙනෙකුගේ මානසික හැසිරීම් රටාව වු මැනවින් විග්‍රහ කිරීමට සමත්ය. (දේහ ලක්ෂණ විද්‍යාව, සිරුරේ භාෂාව) ගැන අති දක්ෂයෙක් වේ. නිතර වාද විවාදවලට පටලැවේ. ජය ගැනීමට උත්සාහ දරයි. පරාජය වන්නේ ද නැත.

බොහෝවිට දැකුම්කළු දේහයකට හිමිකම් කියැවේ. ස්ත්‍රීන් කෙරෙහිද දැඩි ආසාවක් දක්වයි.

කාන්තාවක් රෙහෙණ නැකතේ නම් ඇය මනාව වැඩුණ දේහ ලක්ෂණයකින් යුක්තවේ. වරක් දෙවරක් නොව කීප වරක්ම ඇය දෙස නෙත් යොමුවන ආකර්ෂණීය සිරුරක් උපතින්ම පිහිටා තිබේ. ඇය පෙර පින් කර ඇති බවට ලකුණකි. රෙහෙණ නැකත් හිමියන්ගේ මුල සිටම ප්‍රේම සබඳතා හරහා එයින් මුල පුරාගෙන පසුව යුග දිවියකට පත්වේ. අති සාර්ථක යුග දිවියක් ගෙවීම උත්පත්ති ග්‍රහ බලයද පාදක වේ. බාහිර පෙනුම මෙන්ම ඇතුළත පෙනුම බලවත්ය. ශක්තිමත් පෞරුෂයකින් යුක්ත වන අතර තමාව පාලනය කිරීමටද කිසිවෙකුට නොහැකි වේ. ගන්නා තීරණ ඉතාම දැඩිය එකී තීරණ වෙනස් නොකරයි. නීතිඥයන්, වෛද්‍යවරුන්, කළමනාකරුවන්, විද්‍යාඥයන්, පර්යේෂකයන්, තාක්ෂණ ශිල්පීන් විශේෂයෙන්ම ගුවන් නැවියන්, මුහුදු නැව් යාන්ත්‍රිකයන් මෙන්ම තාරකා විද්‍යාව ගැන පර්යේෂකවරුන් ද මෙම නැකතින් උපන් අය බැව් සොයාගෙන ඇත්තේ ය. සමහර විට සැඟවුණ චරිතයක් ද වේ. බාහිරව නොපෙනෙන බලවේග රැඳී තිබේ. හිටි අඩියේම ධනවත් බවට ද පත් වේ. අන්‍යයන්ගෙන් ලැබෙන මූල්‍යමය සම්පත් කාරකයෙක් විය හැකිය.

රෙහෙණ නැකතේ මැදිවියේ කාන්තාවන්ට සමහර විට ගැටලු පැන නඟින්නේ වයස් පරතරය හරහා ය. ඒ ගැන ඉක්මන් තීරණ ගැනීම වැදගත් නොවේ. තමා අමාරුවේ වැටෙන සුලුය. පුරුෂයින් ද මේ තත්ත්වයට ඇද වැටෙන තැන් ඇත. එයට සිය උත්පත්ති ග්‍රහ හැසිරීමද පාදක වේ. අඩුවියේ දී පෙම් සබඳතා ඇති කර ගෙන යුග දිවියට පත්වන බැව් පැහැදිලිය. සැලෙනසුලු මනසක් මේ විෂය පථය තුළ දෝලනය වන නිසා කායික හා මානසිකමය ගැටලුවලට ද මුහුණපෑමට සිදුවන්නේ ය. අන් අයගේ සහයෝගය නො අඩුව ලැබේ. නමුත් ඔබේ අහිංසකකම දඩමීමා කරගෙන වළ ඉස ගැනීමට තැත් කරන අයගෙන් ප්‍රවේසම් වීම වැදගත් ය.

රෙහෙණ ලග්න හිමියා සිතන පතන ආකාරය හරිම සෞන්දර්යාත්මකය. ඕනෑම දෙයක් ගැන සොයා බලන්නේ ද උගත්කම නොව බුද්ධිය හරහා තෙවැනි ඇසින්ය. කෙතරම් බුද්ධිමතෙක් බුද්ධිමතියක වුවත් සමහර අවස්ථාවල තමාම තමාට රැවටෙන අවස්ථාද නැත්තේම නොවේ. ඒ තරමටම සංවේදීය. ඇයි මෙච්චර මොළයක් තියෙන මෙයා රැවටුණේ යන වදන ඇසෙන තැනට ද පත් වීමේ ඉඩකඩ වැඩිය. ඕනෑවට වඩා අන්‍යයන් විශ්වාස කිරීමට යෑම නිසා එවැනි ප්‍රශ්නවලට පටලැවේ. මැදිවියේ සිට වයස 25 සිට මිල මුදල් වැඩියෙන් ලබා ගැනීමට හැකි උපන් වාසනාව පෑදේ. මේ අවස්ථාවේදී උත්සාහ කළොත් මූල්‍යමය සම්පත් අතට ලබා ගැනීමට හැකිවේ. රෙහෙණ නැකත් හිමියාට ධන සම්පත් ලැබීමට ඔහු විසින් කරන ලද පින් තිබේ.

වංචාකරුවෙකු, හිංසාකරුවෙකු හෝ භීෂණවාදියෙකු නොවේ. ඔහු ඒ පැත්ත ගැන සිහිනෙකින් වත් නොසිතයි. නමුත් ඔහුට අනවශ්‍ය අන්දමට මානසිකව වධ හිංසා කළොත් ඔහුගෙන් බේරීම එතරම් පහසු නොවේ.

නයාගේ මුඛයේ ඇති නකරීය මකරීය

කාලරාක්ෂී යන විෂ දළ තුන මෙන්ය.

නයා අහිංසකයි. නමුත් බේරීම අපහසුයි.

රෙහෙණ කරුවාත් එසේ බලයි

සියලු සැප සම්පත්වලින් අඩුවක් නොවේ. මෙය අතිශයෝක්ත වර්ණනාවක් නොවේ. සත්‍යගරුක විනීත ගති ඇති වාසනාවන්ත මවකි. විවාහයෙන් පසු සැමියා විශාල ලෙස ධනවත් වේ. ජීවිතයේ අවසන් කාලයේදී මහා ධනවතෙකු වී සැප සම්පත්වලින් අඩුවක් නොවී ජීවිතය ගෙවනු ඇත.

දැරියක් රෙහෙණ නැකතින් මල්වර වූයේ නම් ඉතාම වාසනාවන්ත වේ. පින්වත් දරුවන් ලැබේ. ධන සම්පත් හිමිවේ. කල් නොගොස් අලුත් නිවෙසක පදිංචි වේ. ලොතරැයි දිනුම් ලැබීමේ වාසනාව හිමිවේ. දැරියක මල්වර විය යුතුම ඉතාම සුබ නැකතකි රෙහෙණ.

රෙහෙණ පළමු පාදය

තරමක සටන්කාමියෙක් වේ. උණුසුම් චරිතයක් ඇතිවේ. නමුත් සාරධර්ම රකී.

දෙවැනි පාදය - උත්සාහයෙන් ජය ගනී. විවාහයෙන් සැප අත්වේ.

තුන්වැනි පාදය - කලා කටයුතුවලට දක්ෂවේ. උසස් ඉගනීමක් ලබයි.

හතරවැනි පාදය - බුද්ධිමත්ය. වරින්වර අදහස් වෙනස් වේ. සඳුට අයත් නිසා යුග දිවිය වර්ණවත් වේ.

විදේශගතවීම්වලට ජන්ම වාසනාව ඇත. අධ්‍යාපනය හරහා විදේශගතවීමටද සුවිශේෂී වරම් දායාද උපතින්ම හිමි වී ඇත්තේ ය. බොහෝ දෙනෙකු තමා ගැන තමාම නොදන්නේ ය. එය ජීවිතයට අඩුපාඩුවකි.

සුවිශේෂී දක්ෂතාවලින් පිරිපුන් රෙහෙණ නැකත් හිමියන් තමා තුළ ඇති හැකියාවන් උද්දීපනය කර කුසලතාවලින් ඉදිරියට යෑමට උත්සාහ කළ යුතුවේ. ඒ ඒ නැකත් හිමියන් විවිධයි. සිතුම් පැතුම් ක්‍රියාකාරීකම්ද එකිනෙකට වෙනස්ය.

ඔබ මෙතෙක් කල්ම කර ඇත්තේ කේන්ද්‍රයේ ග්‍රහ හැසිරීම කුමන අන්දමක දැයි සෙවීම පමණයි. ග්‍රහ හැසිරීම් රටාව මෙන්ම සඳුගේ බලපෑම ඇති නැකත්ද සමානව අති ප්‍රබල වේ. ජීවිතය පැරදීමටත් දිනීමටත් නැකත සුවිශේෂී වන්නේ ය. නැකත් යෝග විශාල සංඛ්‍යාවක් ද ඇත්තේ ය. මේ සියලුම නැකත් ක්‍රියාත්මක වන්නේ විශ්ව ශක්තිය හරහාය. ලග්නය බලා ජීවන තොරතුරු සොයනවා වගේම නැකත් හරහා උදාවන තොරතුරු ද අතිශයින්ම වැදගත් වේ.

රෙහෙණ නැකතේ කාන්තාව රූමත් වේ. මහත සිරුරක් විය හැක. ගුණ ගරුකයි. යුග දිවිය ඉතාම සාර්ථක වේ. දෙමව්පියන්ට නෑ හිතවතුන්ට ආදරයෙන් සලකයි. පින්වත් දරුවන් ලබයි.

රෙහෙණ නැකතට

පුනාවස ක්ෂේම වේ. මුවසිරස සම්පත් වේ. අස්ලිස සාධක වේ. බෙරණ මෛත්‍රීවේ. කැති පරම මෛත්‍රී වේ. අද විපත්වේ, පුෂ ප්‍රත්‍යාරීවේ. අස්විද වද නැකතවේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.