විමුක්තිය උදා කරන ඡ්‍යොතිෂය ගැන කවියෙන් කී හැටි

මාර්තු 22, 2024

 

සියලු ලෝ වැසියන්ගේ පෙර ජාතියෙහි රැස් කරන ලද කුසලාකුසල කර්මයන්ගේ හේතුවෙන් හට ගන්නා වූ ශුභ අශුභ දසා කාලයන් දැන ගෙන ඒ වූ පරිදි තත් කාලයේ කටයුතු නොකටයුතු ක්‍රියාවන්ගේ ලාභය තෙම දැන ගැනීම ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ ඇත්තා වූ මහත් ප්‍රයෝජනය වෙයි. මෙයින් කියැවෙන පරිදි පුද්ගලයාගේ පූර්ව භවයන්හි කර්ම ශක්තිය වර්තමාන ජීවිතයට බලපායි.

මේ අදහස බුදුදහමේ ඉගැන්වෙන ‘කම්ම නියාම සංකල්පය’ හා අංගසම වෙයි. බුදු දහමට අනුව මිනිස් ක්‍රියාකාරීත්වයේ හා පැවැත්මේ ප්‍රධාන සාධකය හේතුඵල දහමයි. කර්මඵල පුද්ගල ක්‍රියාකාරීත්වයට සාපේක්ෂව සැකසේ. පුද්ගලයා පූර්ව භවයන්හි උපයා ගන්නා ලද කර්ම ශක්තිය මෙලොව ජීවිතයේ යම් යම් සාධක තීරණය වීම කෙරෙහි බලපායි. නමුත් පුද්ගල ජීවිතයේ එකම ගාමක බලය කර්මය නොවන බවද බුදුදහම පෙන්වා දෙයි.

පංච නියාම ධර්මවලට අනුව ජීවිතය කෙරෙහි බලපාන එක් සාධකයකි කර්මය. විටෙක එය තීරණාත්මක විය හැකිය. යමෙකුට කර්මානුරූපීව සිදුවිය හැකි දෙය කල්තියා දැන ගත හැකි එකම ශාස්ත්‍රය ද ඡ්‍යොතිෂ ශාස්ත්‍රයයි. එය නිසැකව දැන කටයුතු කරන්නාට අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ යන චතුර්විධ සම්පත්තියම ලද හැකි බව ශාස්ත්‍ර නියමයයි.

මිනිස් මනසේ බලමහිමය පිළිබඳ අවධාරණය කරන බුදුසමය එය වර්ධනය කිරීමේ අනුසස් පෙන්වා දෙයි. පුද්ගල පැවැත්මේ ප්‍රධාන බලවේගය සිතයි.

එම සිතම පුද්ගල පැවැත්මට නැවැත්මට විමුක්තියට උපකාරී වෙයි. සිත දියුණු කිරීමෙන් ලෝකයේ භෞතිකමය පැවැත්මට පවා අභියෝග කළ හැකි බව බුදු සමයේ මතයයි.

අවශ්‍ය උනන්දුව වීර්යය අධිෂ්ඨානය ඇත්තේ නම් මේ සසර පැවැත්මට පවා නිරෝධයට පත් කර හැකි නම් විටින් විට ඇති වන අපල උපද්‍රව දුරු කර ගත නොහැකි යැයි කිව හැකි ද? ඒ අනුව ආගමික අර්ථයෙන් පවසතොත් විමුක්තිය සඳහා යෝග්‍ය පසුබිම සාදා ගැනීමට ජීවිතය සකසා ගනු පිණිස ඡ්‍යොතිෂය බුද්ධිමත් හා ඵලදායී උපකරණයක් බව කිව හැකි ය.

මලවැන්නේ කවිධජ හිමියන් ඉහත අරමුණෙහි පිහිටා සිට ඡ්‍යොතිර්වර්ණනාව ගොඩනඟා ඇත. උන්වහන්සේ රාශ්‍යාර්ධ හෝරාව මෙසේ දක්වා ඇත.

මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ යන විෂම රාශි සයේ පූර්වාර්ධය සූර්යයාට අයිති බව දක්වා ඇත. අපරාර්ධය චන්ද්‍රයාට අයත් වේ. වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර, මීන යන සම රාශි සයේ පූර්වාර්ධය චන්ද්‍රයාට අයත් වේ. අපරාර්ධය සූර්යයාට අයිති ය.

පවිටුන් විසම රැස්වල හිරු හෝ රාවේ
වොරැඳුන් කල උපන් සත තෙද උතු රාවේ
නොමඳින් පසිඳු බල තැත ඇත සපු රාවේ
නුවණින් මෙදැන පැවසුව යස පැති රාවේ

 

සුබයන් යුවළ රැස්මල සඳ හෝ රාවේ
රැඳෙමින් සිටින කල දිනු සත පව රාවේ
ගතකැන් මුදු සුබා වදනට මියු රාවේ
ලො දනන් වෙතැද ගනු හැකි නැණ සුද රාවේ

 

මලවැන්නේ හිමියන් නවාංශක - 108 දක්වා ඇත්තේ පහත සඳහන් පරිදිය.

මේෂ - මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු

වෘෂභ - මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා

මිථුන - තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන

කටක - කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන

සිංහයට මේෂය මෙන් ද, කන්‍යාවට වෘෂභය මෙන්ද, තුලාවට මිථුනය මෙන්ද, වෘශ්චිකයට කටකය මෙන්ද, ධනුවට මේෂය මෙන්ද, මකරයට වෘෂභය මෙන්ද, කුම්භයට මිථුනය මෙන්ද මීනයට කටකය මෙන්ද, නවාංශකයෝ ගැන ගන්නාහ. රාශියකින් නවයෙන් කොටස නවාංශකය ලෙස සරලව හඳුන්වා දිය හැකිය.

නැති වූ දෙයක් උදෙසා පැණ ඇසුව ස ඳා
ඇති වූ එවිට ලග්නෙහි අංසකය උදා
ගති වූ දැයි කෙබඳු දා දිව් මූල බෙ දා
නැති වූ එදැව් එම අංසකයෙහි පැහැ දා

 

ගහයෙක් සිය නවංසකයෙක රැඳුණු වි ට
සැකයක් නැතොහු ‘තැන් බල ගහයා’ බව ට
නොවකක් තැනෙහි තතු ගහ තතු ගෙන සිත ට
මිනිසෙක් එම උදව්වෙහි කළ හැක සොඳ ට

 

රැඳුණොත් යම් නවංසක යෙක නිසාකර
අගුණැත මෙයුර මෙගුණැයි දනු විබාකර
දිටු ඇත යෝග උනුනුන් ගෙන තැනායුර
බලවෙත පුරට අව අනිටය අමායුර

 

තරිඳා වොරැඳි නම් සෙනසුරු අංසකෙ හී
බිලිඳා උපන් සයනය ඇතිය අඳුරෙ හී
මෙබඳා රුත නොයෙකි අංසක ගණිතයෙ හී
සබඳා ණෙනි යෙදෙනු එහෙයින මෙ සතරෙ හී

 

ද්වාදශාංශකය කවිධජ හිමියෝ පහත පරිදි දක්වති. මේෂය ආදි යම් රාශියක් දොළසට බෙදිය යුතු යි. එයින් එක් කොටසක් ද්වාදශාංශකයකි. මේෂ රාශිය දොළසට බෙදුවාම.

මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන කොටස් දොළසක් ලැබේ. සෙසු රාශීන් දොළසට බෙදුවාමත් (බෙදා ගැනීමට ගත්) මුල් රාශියේ නාමය මුල් ව කොටස් දොළසක් ලැබේ. ඒ ලැබුණු කොටස් දොළසට (රාශීන්ට කී පිළිවෙළින්) කුජාදී ග්‍රහයෝ තම තමන්ගේ රාශි නාමය ඇති ද්වාදශංශකයන්ට අධිපති වෙති.

ගැබ තුළ වැසි දරුවා උපදින දව ස
ලොබ වුනි නම් දැනගැනුමට නිසි විල ස
ගැබ කිඳුරක් කර දොළොසංසක සල ස
සුබ ද අසුබ එ ගැබෙහි කළයුත විහි ස

සිසි සිටි රැසේ දොළොසංසක ගෙවු ගණ න
ගැණ ගෙන විසේ සයෙනා කිය වදන දි න
ගහනිසි ලෙසේ සිය දොළොසංස කැ සිටි න
දෙයි වැඩි ලෙසේ ආසිරි සැප නිසැක යෙ න

 

සඳු සිටිනා දොළොසංසකය කෙලෙස ද
එබඳු වනා උපිදියි සතෙකු නී වර ද
තව නොමිනා පල දොළොසංසකය ලෙ ද
පැවසුමැනා මේ ඈ දැනගෙන සුහ ද

ස්වක්ෂේත්‍ර ග්‍රහයාගේ මහ දශාවේ දී ලැබෙන පල පැදියෙන් මෙසේ පෙන්වා දෙයි.

අලුත් ගෙවල් අබරණ ලැබ කිතු ඉති රී
පලැත් විසල් වතුපිටි බිම් සුලැබ පි රී
සැපත් විලොල් විඳිනායුරු දැක මෙස රී
රිපුත් තැවුල් ලෙන පැනයති බියෙනිති රී

සිය කෙතේ සිටින ගහයගෙ දසා වෙදී
නවවතේ දිලෙන සැටි බල කැළුම් දි දී
බබලතේ ලැබුණ ළඳ නව යොවුන සැ දී
සැන සෙතේ නිත තින කෙළි සෙල්ලමෙහි යෙ දී

 

කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී, රාජකීය පණ්ඩිත ශාසන කීර්ති ශ්‍රී

රත්මලානේ රතනසිරි හිමි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.