එකම ලග්නයේ දෙදෙනකුට වෙනස් ප්‍රතිපල එන්නේ කොහොමද?

මාර්තු 22, 2024

 

“මහත්මයා, මේෂ, වෘෂභ, මිථුන, කටක ලග්නවලට කොහොමද?”

“හොඳයි, වරදක් නැහැ.” “එහෙනම් අස්විද, බෙරණ, කැති, නැකැත්වලට කොහොමද මහත්මයා.” “හොඳයි වරදක් නැහැ.” “එහෙනම් මේ රට මෙච්චර “දුකට පත්වන්න වැරදුණේ කොතැනද? මහත්මයා, ඡ්‍යොතිෂ අනාවැකි කිව්වෙ බොරුද? කළේ බොරුද? කොහොම වෙතත් රටේ එදා වේල පසුකර ගන්නට බොහෝ අයට නම් ලොකු වෙහෙසක් දරන්නට සිදු වෙලා.”

උපාධි තිබෙන අය පැල් රකිනවා. පැල් රකින්න ඕන අය රට රකිනවා. මේවා මෙහෙම වුණේ කොහොමද ලග්නය නරක නිසාද? එහෙමත් නැත්නම් උපන් නැකත නරක නිසාද? එකම ලග්නය ඇතිව උපන් කෙනෙක් රට රකිනවා. ඒ ලග්නෙම උපන් තව කෙනෙක් ආගිය අතක් නැහැ. මේ ගැටලුවලට පිළිතුරු රාජ්‍ය තොරතුරු අංශයෙවත් නැහැ. ලංකාවේ කොතැනකවත් නැහැ. එකම තැනයි. ඒ “සුබසෙත” යි.

ඉහත සඳහන් ප්‍රශ්නවලට එකම පිළිතුර ඡ්‍යොතිෂයෙන් විතරයි. හැබැයි ඒ ශාස්ත්‍රය නිවැරැදිව හදාරපු අයගෙන් විතරයි. හතු පිපෙන්නා වගේ ආරම්භ කරන අයට බැහැ.

එකම ලග්නය තිබෙන හැම දෙනාටම එකම විදියට දෛවය ක්‍රියා කරන්නේ නැහැ. එහෙම වෙනව නම් මේෂ ලග්නයේ ඉපදුණු රණසිංහ පේ‍්‍රමදාස මහතාට හා මේෂ ලග්නයෙම උපන් උතුවන්කන්දේ සරදියෙල් දෙදෙනාගේ ජීවිත චක්‍රය කොච්චර පරස්පරද? නමුත් ලග්නය එකයි.

රණසිංහ පේ‍්‍රමදාස මහත්තයා මේෂ ලග්නයේ ධනු නවාංශකයේ ඉපදිලා. බ්‍රහස්පතිට අයිති පුවපුටුප නැකතේ උතුවන්කන්දෙ සරදියෙල් මේෂ ලග්නයේ ඉපදිලා දෙට, අස්ලිස, රේවති යන නැකැත්වලට අයිති බුධ මහ දසාවේ උත්පත්තිය. මොකද වෙනස. මේවාගේ උදාහරණ කොච්චර දෙන්ට පුළුවන්ද, රටක් රාජ්‍යයක් එක්සේසත් කරන්ට හිතපු විජය කුමාරණතුංග මහත්තයා ඉපදුණේ මිථුන ලග්නයෙන්. ඒ අදහසම තිබුණ රෝහණ විජේවීර මහත්තයා. ඉපදුණේ වෘශ්චික ලග්නයෙන්. එකම ක්‍රියාව වුණාට මැරුම් කෑවේ නිවසින් පිට දෙ ආකාරයකට.

එකම ලග්නයේ උපන් ගාමිණී දිසානායක හා මහාචාර්ය මලලසේකර මහත්වරු. දෙදෙනාම තුලා ලග්න හිමියන්. චරිත හා මියගිය ක්‍රම දෙක වෙනස්. එකම ලග්නය වුණාට කොච්චර පරස්පරද ජීවිත. ලග්නයෙන් විතරක් ඡ්‍යොතිෂ පලාඵල කියන්න බැරි බව නැකැත එක වුණාට පලාඵල කියන්න බැරි බව දැන් අවබෝධවනවා ඇති.

එහෙනම් ජන්මියකුගේ කේන්දරයේ පලාඵල දැනගන්නෙ කොහොමද? මේ ඔක්කොම විස්තර ඡ්‍යොතිෂය ඇතුළේ සටහන් වෙලා තිබෙනවා. කියලා කිව්වනේ. ඒවා එකින් එක එළියට ගත්තාම වටහාගන්න පුළුවන්. හැබැයි බොහෝ නිවැරදි කාරණා ඉගෙන ගන්න ඕනෑ.

අපි ඉපදෙන කොට නැඟෙනහිර ක්ෂිතිජයෙන් එක්තරා රාශියක් ක්‍රමයෙන් මතුවනවා. අන්න ඒක තමයි අපේ ලග්නය. ඒ රාශියේ ප්‍රමාණය අංශක 360. ඔය ලග්නය වටෙ තව රාශි 12ක් තිබෙනවා. ඒවා මේ ලග්නය වටේ වේගයෙන් කැරකි කැරකී සුබ අසුබ දෙනවා. ඒ එක රාශියක් අංශක 30යි.

අපි හිතමු. අපි ඉපදෙන කොට උදාවුණේ මේෂ රාශිය කියලා. ඒක හරියට මැද දි කෙනෙක් උත්පත්තිය ලැබුවා නම් ඒ රාශියේ නියම අයිති කාරයා වනවා. නැත්නම් නියම ප්‍රතිඵල දෙනවා.

අපි ඉපදුණු විට කිසියම් නැකතකට අයත් වනවා. නැකැත් 27 (අභිජිත් නැකත හැර) මේ නැකැත් 27 ග්‍රහයෝ 9 දෙනෙක් අතර සමානව බෙදෙනවා. හැබැයි කාලසීමාවේ අඩු වැඩි වෙනසක් තිබෙනවා. එනම්

 

කැති, තුරුපල්, තුරුසල, දිවයුරුට සය

රෙහෙන, හත සුවණ, නිසයුරු හට දසය

මුවහිස, සිත දෙනට කුජ හට සත් වසය

අද සා සියාවස රාහුට අටළොසය

 

පුනවස්, විසා, පුවපුටු ගුරුට සොළසකි

පුෂ නුර තුරුපුටුප ශනි දස නව වසකි

දෙට, අස්ලිස, රේවතිය, බුධ සත් ළොසකි

අස්විද, මා මුල කේතුට සත් වසකි

 

බෙරණ, පුවපල්ද, පුවසල නැකැත් තුන

හිමිවෙයි සිකුරු හට ඒ බව දැනගන්න.

 

එනම් දිවයුරුට (රවිට 06) නිසයුරු (සඳු 10) කුජ (අඟහරු 07) රාහුට 18 – ගුරු (බ්‍රහස්පති 16) ශනි (සෙනසුරු 19යි) බුධ 17යි කේතු (බඹපුත් 07) හා කිවි සිකුරුට 20 යි. ඔක්කොම එකතුව වසර 120 එසේම අපි ඉපදෙන කොට කිසියම් නැකතකින් ඉපදී ඒ නැකත අයිති ග්‍රහයාට ඉදිරියට එක්තරා කාලයක් පවතිනවා. ඒක මොකද්ද කොච්චරද කියලා ඔබේ ජන්ම පත්‍රයේ සඳහන් කරල තිබෙනවා. ඒක ඔයාලගේ කේන්දරයේ සඳහන් වී ඇත්තෙ අසවල් නැකතේ අසවල් පාදය සමඟ අසවල් වින්ශෝත්තර මහ දසාව අසවල් කාලයක් ඉදිරියට තිබෙනව කියලා.

අපි හිතමු කෙනෙක් මේෂ ලග්නයෙන් ඉපදී. නැකත රෙහෙන කියලා. ඉදිරියට එහෙනම් සඳු මහ දසාව වර්ෂ 01 හා මාස 3ක් තිබුණා කියල තිබෙනවා.

එහෙමනම් මේ විදියට කෙනෙක්ගේ වයසට ගතකරන මහ දසාව මොකද්ද. කොච්චරක් තිබෙනවද කියලා දැනගන්න පුළුවන්. ඒ වගේම දැන් පවතින මහ දසාව හා අතුරු දසාවත් දැනගන්න පුළුවන්. එහෙනම් ගත වූ කාලයත් දැන ගන්න පුළුවන්. ඉහත කී පරිදි දැන් ගතවන්නෙ සඳු මහ දසාවේ රවි අතුරු දසාව බව පැහැදිලියි. එහෙනම් මේ ග්‍රහයින්ගේ ගෝචරය මොන රාශියේද ඒ රාශියට ග්‍රහයා සුබද, අසුබද නැත්නම් නීචද ලිතෙන් බලල දැනගන්න. මේ ආකාරයට මිස. ලග්නය දිහා බලලා හෝ නැකත දෙස බලා හෝ ඒ පමණින් ඡ්‍යොතිෂ ගුණාගුණ සම්පූර්ණයෙන් කියන්න බැහැ. නිවැරදි ඡ්‍යොතිෂ ඉදිරියට ගෙනයාම දක්ෂ ඡ්‍යොතිර්වේදියාගේ යුතුකමයි. තත්කාල කේන්දරයෙන් ගුණාගුණ කීමත් නිවැරැදියි.

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදී / ගුප්තවේදී

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.