අයුක්තිය-අසාධාරණය ඉවසිය නොහැකි ධනු ලග්න හිමියෝ

මාර්තු 29, 2024

දුන්නකින් ඉලක්කයට විදීමට සැරසෙන මිනිසෙකුගේ උඩුකයක් සහ අශ්වයකුගේ යටි කයක් සංකේතවත් කරන ධනු ලග්නය රාශි චක්‍රයේ නව වැනි රාශියයි. යම් අයකු යම්කිසි කාර්යයක් ඉලක්කයට කිරීම යහපත් සිතිවිල්ලකි. ඒ අනුව යහපත් මානසික තත්ත්වයක් හැඳීන්වීම සඳහා ධනු ලග්නයට එම සංකේතය යොදා ගන්නට ඇතැයි අපට සිතාගත හැකියි.

 

ධනු රාශිය අග්නි හෙවත් ගිනි රාශියකි. ධනු, මීන යන රාශි දෙකෙහිම අධිපතිකම දරන්නේ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයාය. ධනු ලග්නයෙන් උපන් අයගේ පාලක ග්‍රහයා වනුයේ ගුරු නිසා ගුරුට හිමි ලක්ෂණ ඔවුන් කෙරෙහි දැකිය හැකිය.

ධනු ලග්නයෙන් උපන් අයගේ සිරුර පැහැපත් පෙනුමකින් යුක්තය. ධනු ලග්නයෙන් උපන් කාන්තාවෝද රූමත්ය. ඔවුන්ගේ මුහුණ වටකුරුය. සිත්ගන්නාසුලුය. උස්වූද, පළල්වූද කැපී පෙනෙන නළල් තලයක්ද දුඹුරු වර්ණයට හුරු පූර්ණව වැඩුන ලස්සන නාසයක්ද උසින් හා මහතින් විධිමත්ව සකස්වූ ශරීර අවයවයෝද ඔවුනට හිමිය. පිරිපුන් දේහයකට හිමිකම් කියන ධනු ලග්න හිමියෝ නම, වයස හෙළිකිරීමට වැඩි කැමැත්තක් නොදක්වති. හැම විටම තරුණ බවින් සිටීමට උත්සාහ කරති. පරිත්‍යාගශීලි ගුණය මොවුන් කෙරෙහි දක්නට ලැබෙන තවත් විශේෂ ලක්ෂණයකි. තමන්ගේ සැප සම්පත් අන් අය වෙනුවෙන් කැප කිරීමට තරම් සැබෑ මිනිස් ගතිගුණවලින් පිරි චරිතයක් ඔවුන් හට සහජයෙන්ම පිහිටා ඇත. අයුක්තිය, අසාධාරණය ඉවසිය නොහැකි ඔවුහු අනුකම්පාවක් නොදක්වා හෝ යුක්තිය ඉටුකිරීමට උත්සාහ ගනිති. එක මොහොතකදී සටන්කාමි බවක් පෙන්නුම් කළත් තවත් අවස්ථාවකදී ඔවුන් තුළ දැකගත හැක්කේ සාමකාමී බවකි. භාරගත් කාර්යය කුමක් වුවත් එය හරියටම නිවැරැදිව කිරීම ධනු ලග්න හිමියාගේ ලක්ෂණයකි. යමක් කරන්නට පෙර කියන්නට පෙර එය නුවණින් සිතා බලා කීම, කිරීමද ඔවුන්ගේ සිරිතය. ශිල්ප ශාස්ත්‍ර, දර්ශන ආදි උසස් දේ ඉගෙන ගැනීමට ඔවුන් ඉතා දක්ෂය.

ධනු ලග්නයෙන් උපන් අයගේ ලග්නයේ නැත්නම් පළමුවැන්නේ ගුරු පිහිටීම ඉතා බලවත් බුද්ධිමත් පිහිටීමක් ලෙස සැලකේ. පස්වැන්නේ කුජද නවවැන්නේ රවිද එවැනිම බලවත් පිහිටීමකි. එහෙත් හතේ රාහු, කුජ, ශනි යෝගය වාසනාවන්ත නොවේ. එවැනි අයට අනිවාර්යයෙන්ම සිත් වේදනා ඇති වේ. ධනු ලග්න හිමියන් අන් ලග්න හිමියන්ට වඩා ඉක්මනට කෝපසහගත වෙති. එහෙත් ක්ෂණිකවම එය පාලනය කර ගනී. අයුක්තියට, අසාධාරණයට කිසිම විටෙක හිස නොනමයි. මොවුන් ජනපි‍්‍රයවීමට වැඩි කැමැත්තක් දක්වන අතර, දේශපාලනයට වැඩි නැඹුරුතාවක් පෙන්නුම් කරයි.

ධනුවෙන් උපන් ඔබ පි‍්‍රයමනාප අයෙකි. මිත්‍රශීලිය. උසස් මිතුරු මිතුරියන් ඇසුරු කිරීමෙන් සතුටක් ලබයි. එහෙත් විටෙක ඔබ සැකයෙන් හා අවිශ්වාසයෙන්ද කටයුතු කරන බවක පෙනේ.

දුර බැහැර සංචාරයේ යෙදීමටත්, වන්දනා ගමන් යෑමටත්, පැරණි සිද්ධස්ථාන හා ඓතිහාසික ස්ථාන දැක බලා ගැනීමටත් ඔබ තුළ ඇත්තේ ඉමහත් ආශාවකි. ඔබ සොබාදහමට ආදරය කරන සෞන්දර්යවාදියෙකු ලෙස හඳුන්වාදිය හැකිය.

රාජකාරිය දේව කාරියටත් වඩා ඉහළින් සලකන ධනු ලග්නයෙන් උපත ලද ඔබ තම හාම්පුතුන්ටද දක්වනුයේ ඉමහත් ගෞරවයකි. එහෙත් ඔවුන්ගෙන් යම් අකටයුත්තක්, අසාධාරණයක් තමාට හෝ අන් අයෙකුට සිදුවුවහොත් ඔබේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට මොහොතක් හෝ ප්‍රමාදවන්නේ නොවේ. එය ඔබගේ ලග්නාධිපති ගුරුගෙන් ඔබ ලද මහඟු ගුණාංගයකි.

අධ්‍යාපන කටයුතුවල යෙදීමට මෙන්ම පතපොත කියවීමටත් ඔබ තුළ ඇත්තේ නොතින් ආශාවකි. ධනුවෙන් උපත ලද ඔබ සෑම අංශයකින්ම හසළ දැනුමක් එක්රැස් කරගත් අයෙකු බැවින් තරමක චණ්ඩිකමක්ද සමහර අවස්ථාවලදී ඔබ තුළින් විද්‍යමාන වේ. උපදෙස් දීමටත්, ගුරුහරුකම් දීමටත් ඔබ දක්ෂයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබට සුදුසු වන්නේ ගුරු වෘත්තිය හා උපදේශක අංශයේ රැකියාවන්ය.

නිදහස් හා සාමකාමී දිවි පෙවෙතක් ප්‍රාර්ථනා කරන ඔබ නිහතමානී ගති ගුණයෙන් සපිරුණු අයෙකි. තරමක් ආඩම්බරය. මොනර ලීලාවෙන් ගමන් කරන ඔබ සමාජයේ ඉහළින් ජීවත්වීමට ආශා කරන අතර චාම් බවද අගය කරන්නෙකු වෙයි. විටෙක ඔබ දඩබ්බරය. හිතුවක්කාරය. නමුත් වැඩි වශයෙන් ඔබ සන්සුන්ය. යහපත්ය. ඥාති මිත්‍රාදීන් සමඟ සාමකාමී හා සහජීවනයෙන් යුත් ජීවිතයක් ගත කිරීම ඔබගේ එකම බලාපොරොත්තුව වේ. අන්‍යයන්ගේ සිත් රිදවීමට අකමැති ඔබ ඇත්ත වශයෙන්ම අහිංසාවාදී චරිතයකි. ඔබ තුළ කපටි ගති හා උපායශීලි බව පිහිටා ඇත්තේ ඉතා අඩුවෙනි. ඕපාදූප කතාවට කොහෙත්ම අකමැති ඔබ එම කාලයද තම බුද්ධිය දියුණුූ කරගැනීම සඳහා යොදාගෙන ගෞරවණීය ජීවිතයක් ගත කරන ඔබගෙන් කිසිවෙකුට හෝ වරදක් හෝ අනතුරක් සිදුනොවන බව ඉඳුරා පැවසිය හැකිය.

ඉහත කී ගතිගුණවලට ප්‍රතිවිරුද්ධ ගතිගුණ පිහිටා ඇති ධනුවෙන් උපත ලද පුද්ගලයන්ද සමාජයේ දැකගත හැකිය. ඔවුන් ආත්මාර්ථයෙන් ඔද වැඩුණු අය වේ. ඔවුන් තමා සතු දෙයක් යමෙකුට දීමට අකමැතිය. දුන්නත් බොහෝ කලාතුරකිනි. ඔබට සුදුසු රැකියා වන්නේ ගුරු වෘත්තිය, කථිකාචාර්ය උපදේශක, නීතිඥ, හෙද, හෙදි, වෛද්‍ය සේවය වැනි වෘත්තීන්ය.

වයස අවුරුදු 36ට පසු ඔබේ ජීවිතයේ දියුණුව ආරම්භ වේ. අප රටේ ප්‍රසිද්ධ වියත් පණ්ඩිත හිමිවරුන් මෙන්ම උගතුන් රැසක්ම බිහිවී ඇත්තේ ගුරු ග්‍රහයාට හිමි ධනු ලග්නයෙන් වීම විශේෂත්වයකි.

ඔබට සුබ දින වන්නේ ඉරිදා, සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතීන්දාය. ජය අංක 1,2,3,7,9 වේ.

(මීළඟට මකර ලග්නය)

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.