සතුරෙකුටවත් ද්‍රෝහිකමක් නොදක්වන මීන ලග්න හිමියෝ

අප්‍රේල් 26, 2024

රාශි චක්‍රයේ අවසාන රාශිය මීනයයි. මසුන් දෙදෙනකුගේ රූපයෙන් සංකේතවත් කර ඇති මීන රාශිය ආපෝ රාශියක් ද වෙයි. මීන යනු මාළුවායි. මීන රාශියට අයත් තරුපෙළ මසුන් දෙදෙනෙකුගේ ආකාරයෙන් දිස්වෙන බැවින් එය මේ නමින් හඳුන්වනු ලබයි.

මීන රාශියට අධිපතිවනුයේ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයායි. මීන ලග්නයෙන් උපන් අය ප්‍රසන්න පෙනුමකින් යුක්ත වෙයි. පළල් උරස්වලින් යුත් ඔවුනට සමහරවිට ලොකු ඇස් දෙකක් තිබිය හැකිය. මේ ලග්නයෙන් උපන් කාන්තාවෝ ද රූමත් වෙති. සාමාන්‍යයෙන් ඔවුනට රැළි සහිත දිගු කොණ්ඩයක් හිමිය. අත්පා දිගය. දිගැටි නෙත් යුවළක් ඇත. මීන ලග්නයෙන් උපන් අය ජලයට දක්වන්නේ විශේෂ ළැදිකමකි. ඔවුහු ඉක්මනට කෝපවුවත් ඒ බවක් පිටතට නොපෙන්වයි. මීන ලග්නයෙන් උපන් අය කරුණාව, දයාව, අනුකම්පාව ආදී උසස් ගුණධර්මවලින් පිරිපුන්, සාධාරණ, යුක්තිය අගය කරන, වගකීම්වලින් තොර නිදහස් ජීවිත ගත කරන්මෝ වෙති. සැඟවුණු හා සඟවන අදහස්වලින් යුතු අය වෙති. එක එල්ලේ එකවර තම අදහස් ප්‍රකාශකිරීමට මැළිකමක් දක්වන මීන ලග්න හිමියෝ වරින්වර සිය හැඟීම් වෙනස් කරයි. විනෝදයත් නිදහසත් අගය කරන ඔවුහු සෞන්දර්යයට පි‍්‍රයතාවයක් දක්වති. ජලජ රාශියක් නිසාම වැනෙන ප්‍රතිපත්තීන්ගෙන් යුක්තය. හැමවිටම හැඟීම්වලට වහල්වීමේ ගතිය වැඩි නිසාත් වරින්වර දුකට හා සැපතට ලක්වෙන චරිත වෙයි. බොහෝවිට තමන් ඇසුරු කරන සමාජ වටපිටාව අනුව තම ජීවන ගමන හැඩගස්සවා ගනී.

සමාව දීම මීන ලග්න හිමියන්ගේ තවත් විශේෂ ලක්ෂණයකි. සතුරෙකුටවත් ද්‍රෝහිකමක් කිරීමට නොපෙලඹේ. කරුණාව, දයාව ඔවුන් තුළ නිතර රැඳී පවතින නිසා සතෙකු වුවත් දුක්වෙනවා දකින්න ඔවුහු කැමති නොවේ. බොහෝවිට ඔවුනට පිහිටවෙමින් කටයුතු කරයි. හැදෙන ගහක්, වැලක් පවා කැපීමට මැළිවෙති. ඔවුන්ගේ යහපත් ගතිගුණ අන් අයට හැඟවීමට උත්සාහ නොකරයි. එය තමාගේම සතුට පිණිස භුක්තිවිඳී. අසරණ අය, දුගී අය ආබාධිත අය කෙරෙහි දැඩි දයාවක්, කරුණාවක් දක්වනවා පමණක් නොව අසල්වාසීන්, මිත්‍රාදීන් කෙරෙහිද සුහදතාවයෙන් කටයුතු කිරීමට වෙහෙස දරයි. කිසිම අයෙකුගේ සිත් රිදවීමට අකමැති වෙයි.

මීන ලග්නයෙන් උපන් අය කපටි, දුෂ්ට අපරාධකාරයන්, දූෂිතයෝ නොවෙති. සාමකාමී සදාචාර ගති පැවතුම්වලින් යුතු අය වෙති. මීන ලග්න හිමියන් කුමන ආකාරයේ රැකියාවක යෙදුණත් එය ඉතා ඕනෑකමින්, වගකීමකින් යුතුව ඉටුකිරීමට දක්ෂ වෙති. බොහෝවිට චිත්‍ර, සංගීතය, රඟපෑම හා සෞන්දර්යය කලාවට වඩාත් පි‍්‍රය කරති. ඔවුහු කලා ක්ෂේත්‍ර, අධ්‍යාපන ආයතන, සෞඛ්‍යය සේවා, බැංකු කටයුතු ආදී නිතර ජනතාව සමඟ ගැටෙමින් කරන රැකියාවලින් වැඩි ප්‍රයෝජනයක් ලබති. සුරතල් සතුන් ඇතිකිරීම, මල්වැවීම හා වගා ව්‍යාපාරවලටද වැඩි උනන්දුවක් දක්වති. නිතරම ශරීරය පවිත්‍රව තබා ගැනීමට උනන්දුවෙන අතර ජලාශි‍්‍රත දේවලටද පි‍්‍රය කරයි.

යම් දෙයක් කරනු දැකීමෙන්ම එය ඉගෙන ගැනීමේ දක්ෂතාවයක් මීන ලග්න හිමියන් සතුය. මෙහෙකරුවන්ගෙන්, නෑදෑයින්ගෙන් හා විරුද්ධ ලිංගිකයන්ගෙන් ගරු බුහුමන් ලැබීමටද මීන ලග්න හිමියෝ වාසනාව ලබති. යහපත් භාර්යාවක් හෝ පුරුෂයෙකු ලැබීමටද හිමිකම ඇත. ඔවුන්ගේ ගෘහ ජීවිතයද සාමකාමී අයුරින් ගෙවෙනු ඇත.

මීන ලග්න හිමියන්ට විවාහය සඳහා වඩාත්ම ගැළපෙනුයේ මීන, කටක, වෘශ්චික ලග්න හිමි අයයි. එම අය හා විවාහවුවහොත් විවාහ ජීවිතය වඩාත්ම සාර්ථක වේ. මීන ලග්න හිමියාගේ ලග්නයේ හෙවත් පළමු වැන්නේ ලග්නාධිපති වූ ගුරු ග්‍රහයා පිහිටියහොත් ඉතා වාසනාවන්ත යෝගයක් වූ ගුරු හංස යෝගය උදාවෙයි. මෙවැන්නෝ සියලු සැප සම්පත්වලින් යුතු අය වෙති. බුද්ධිමත් මෙන්ම ඥානාන්විත වේ. ඉගෙනීමෙන් උසස් තත්ත්වයකට පත්ව රටේ ලෝකයේ කීර්තිමත් අය වෙති. මීන ලග්නයෙන් පස්වැන්න කටක රාශියයි. කටක රාශිය ගුරු ග්‍රහයාට උච්ච රාශිය වෙයි. එමෙන්ම ත්‍රිකෝණස්ථානයයි. මේ නිසා එබඳු පිහිටීම් ඇති අය ආදරය, කරුණාව, දයාව ආදී යහපත් ගුණධර්මවලින් යුතු අයවෙති. තම ආගමට, දහමට සිත ඇදී යයි. ගුරුවරු, මවුපිය, වැඩිහිටි අයට ගරු කරයි. එහෙත් ලග්නයේ හෝ හතේ රාහු ශනි යෝගය ඔවුනට අවසානය ගෙන එයි. එමෙන්ම මීන ලග්නයෙන් උපන් අයට අටේ කුජ, ශනි යෝගද එතරම් යහපත් නොවේ.

මීන ලග්න හිමියන්ට යෝග්‍ය රැකියා වනුයේ නීතිඥ වෘත්තිය පරිපාලන සේවය, ගුරු වෘත්තිය හා සෞන්දර්ය අංශයේ වෘත්තීන් වේ. මිනිස් ගුණධර්මවලින් පිරිපුන් අය නිසා වෛද්‍ය වෘත්තියටද සුදුස්සෝ වෙති. මීන ලග්නයෙන් උපන් අයට විශේෂයෙන් ජලයෙන් ඇතිවෙන රෝග බලපායි. සෙම් රෝග, පෙනහලු රෝග උදරාබාධ ආදිය පහසුවෙන් වැලඳිය හැකිය. මේ ලග්න හිමියන්ට මාරක ග්‍රහයන් වන්නේ සිකුරු, රවි හා ශනිය. මේ ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලවලදී මීන ලග්න හිමියන් මෝටර් රථ වාහනවලින්, ගංගා, ළිං, වැව්, මුහුදු වැනි ස්ථානවලදී ප්‍රවේශම් වීම වැදගත්ය.

මීන ලග්න හිමියන්ට ඉතාම සුබ දිනය බ්‍රහස්පතින්දාය. අඟහරුවාදා, සඳුදා, බදාදා ශුභදිනයන් වන අතර සිකුරාදා සහ සෙනසුරාදා අශුභඵල උදා කරන දිනයන් වේ. රතු, කහ සහ රඹ වර්ණ ශුභදායකවන අතර නිල් සහ සුදු අශුභ වර්ණයන් වේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.