ඉඩම් ප්‍රශ්නය විසඳන්න හූනියමක් ගොඩ දැමූ මහා කළු සුනඛයා

අප්‍රේල් 19, 2024

 

ළා නිල් පාට නවීන පන්නයට අයත් බෙන්ස් කාරයක් කොණ්ඩදෙණිය පන්සල් ගේට්ටුව ඉදිරිපස නතර කෙරිණි. එය පදවාගෙන ආවේ වත්පොහොසත්කම් ඇති සුරූපී කාන්තාවකි. ඇයගේ තනි නොතනියට සුන්දර මිතුරියක් ද පැමිණියාය.

“ඩිංගිරි බණ්ඩෝ” ඔය ගේට්ටුව ඇරල ඔය කාරය පන්සල ඇතුළට ගන්න ඉඩ දෙන්න.

“අවසරයි අපේ හාමුදුරුවනේ”

නෝනලා දුර පළාතක ඉඳල වෙන්නැති ආවේ”

“එහෙමයි හාමුදුරුවනේ” “අපි කොළඹ, නාවල, කොස්වත්තෙ”

“ඉතින් ආපු කාරණාව කීවා නම්”

“අපෙ හාමුදුරුවනේ. මම නාවල, කොස්වත්තෙන් ලොකු වටිනා ගෙයක් ඉතා අඩු මුදලකට ගත්තා. ගේ අයිතිකාර වයසක ආච්චිගේ නෑදෑයෝ ඔක්කොම කිව්වේ. ඒ ආච්චිත් එක්කම ගේ ගන්න කියලා.”

“මට මගේ මියගිය ආත්තම්මා මතක් වුණා හාමුදුරුවනේ. ඇය ඒ වගේමයි. හරිම කරුණාවන්ත පෙනුමයි” ආත්තම්මාව සිහිපත් කරල ඇයට හොඳින් සත්කාර සංග්‍රහ කළා. ටික දිනකින් ඇය මගේ පවුලේ සාමාජිකයකු බවට පත්වුණා. හිටියටත් වඩා හොඳට ඇය සතුටින් හිටියා. ඇය ගැන දැන් නෑයන්ට ඉරිසියා හිතිලා.......

ටික කාලයකට පසු ගේ විකුණපු කට්ටිය තවත් කාණ්ඩයක් එක්ක එකතුවෙලා ගේ ආපහු ඉල්ලලා කරදර කරනවා. ආපහු ගේ ලියල දෙන්නලු. ගත්ත ගාණට වඩා ටිකක් වැඩියෙන් සල්ලි දෙන්නම්ලු. විවිධ රස්තියාදුකාර මිනිස්සු එවලා තර්ජනය කරනවා. හරිම කරදරයි අපේ හාමුදුරුවනේ. මට සාධාරණය, යුක්තිය ඉටුකර දෙන්න. ඔබ වහන්සේට බුදු බව අත්වෙයි.”

සියල්ල සාවධානව අසා සිටි හිමියන් ඇය සහ ඇයගේ මිතුරිය සමඟ දේව මන්දිරය තුළට ගොස් හිමි අණ පරිදි ඇය කාලිමෑණියන්ගේ පිළිමයේ නේත්‍රා යුගල එක එල්ලේ බලාගෙන වැඳ සිටියාය. ඒ සමඟම ඉතා බලගතු මන්ත්‍රයක් හිමියන් විසින් ජප කරන්නට පටන් ගත්තේය. අසුරු සැණින් කළු තඩි බළලා දේවමන්දිරයට පිවිස හිමියන් දෙපා වටා එතෙමින් කැරකැවෙන්නට විය.

මේ නෝනා මා කියන දේ හොඳින් අහගෙන ඉන්න”අද හැන්දෑ කොරේ ගෙදරට කළු හැඩි දැඩි බල්ලෙක් ඉබාගාතෙ එයි. ඉස්සරහ ගේට්ටුව පොඩ්ඩක් හැර තියන්න. මතක තියාගන්න ඌව කිසිසේත්ම එළව ගන්න එපා. ගෙදර ගිය ගමන් බත්හැළියක් උයල ඒකට ඌරු මස් හැර අනික් මස් වර්ග කිහිපයක්ම කවලම් කරල ඌට කන්න දෙන්න ලෑස්ති කරන්න. ඒ බල්ලා ඉඩමේ වලලපු හූනියමක් ගොඩදායි. ඒ බලුතඩියා ඒ වැඩේ ඉවර කළ වහාම පිළියෙල කළ බත්හැළිය ඌට කන්න ඉඩහරින්න. ඌ ගොඩදාපු තඹ පතත් කෙහෙරැලිත් ගිනි ගොඩක් ගහලා පුච්චලා දාන්න. ඊට පස්සෙ ගේට්ටුව වහල දාන්න. ඌ ආයි කවදාවත් මෝනලාගේ ගෙදර පැත්ත පළාතේ එන එකක් නැහැ.”

හිමියන්ට වැඳ නමස්කාර කොට ඉන් අනතුරුව එම තරුණියන් දෙදෙනා මොනවාදෝ රහසින් එකිනෙකා සමඟ තෙපළන්නට විය.

“හා.....හා..........මට නෝනලා හිතෙන දේ හොඳින් වැටහෙනවා. මට සතයක් වත් එපා. මං ගාස්තුවක් අය කරන්නේ නැහැ. වැඩේ හරිගියාට පස්සේ නෝනලා කැමැති නම් පන්සලේ කැමැති වැඩක් කරල දෙන්නකෝ” ඇය සහ මිතුරිය කෙළින්ම නාවල කොස්වත්තේ තම නිවෙසට හැන්දෑ කොරේ වන්නට පෙරාතුව ළඟා වූයේ මහත් සතුටිනි.

හිමි කියූ පරිදි සියල්ල සිදු විය. ඊට පසු දිනම හදිසියේම තමා මෙතෙක් සැලකූ ඒ ආත්තම්මාද මිය පරලොව ගියාය. ඇගේ කරදර සියල්ල අහවර විය. ඉන්පසු කාගෙන්වත් ඇයට කරදර, හිරිහැර සිදු නොවිණි.

ගතවූයේ ටික කාලයකි. අර සුරූපී කාන්තාව සහ ඇයගේ මිතුරිය කොණ්ඩදෙණිය පන්සලට නැවත පැමිණියහ. විහාරස්ථානයට අඩුපාඩුවක්ව තිබූ බෝධි ප්‍රාකාරයද බුදුකුටිද සාදා පූජා කෙරිණි.

දිනක් “කොණ්ඩදෙණිය පොඩිහාමුදුරුවෝ නමින් ප්‍රචලිත වත්මන් කොණ්ඩදෙණිය රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති කඩම්බාවේ අනුරුද්ධ හිමියන් හමුවීමට මම අධිකරණ අමාත්‍යාංශයේ විශ්‍රාමලත් ඉහළ නිලධාරියකු රැගෙන ගියෙමි.

එම නිලධාරියාට අයත් කොළඹ 07 පිහිටි පර්චස් 10 තරම් කුඩා ඉඩමක් තිබුණද, එය පරිහරණය කරන්නට ඔහුට නොහැකි විය. ඊට හේතු වූයේ කාලයක් තිස්සේ අනවසර පදිංචිකරුවකු කුඩා නිවසක් සාදාගෙන එහි සිටීමයි.

එතුමාට එම වටිනා ඉඩම පරිහරණයට මෙන්ම විකිණීමට නොහැකිවූයේ මේ අනවසර පදිංචිකරු නිසාය. අනවසර පදිංචිකරු මේ රාජ්‍ය නිලධාරියාට තර්ජනය කර තිබුණේ යම් ලෙසකින් එම ඉඩම විකුණන්නේ නම් පර්චස් 10න් පර්චස් 06 මුදල තමන්ට ලබා දිය යුතු බවටයි.

මේ ගැටලුව අනුරුද්ධ හිමියන්ට පැවසූ විට ප්‍රශ්නය විසඳීමට නම් ඉඩමේ හතර කොන පස් රැගෙන ආ යුතු බව උන්වහන්සේ දන්වා සිටියහ. එහෙත් ඒ පස් ගැනීමට පවා ඉඩමට ඇතුළු වීමටවත් මේ පුද්ගලයා මා මිතුරාට අවස්ථාවක් සලසා දුන්නේ නැත.

එහෙත් ඉඩම පිහිටි ස්ථානයට නුදුරින් ඇති සොහොන් කොතක් පිළිබඳවත්, එහි බලපෑමෙන් අනවසර පදිංචිකරුට මෙන්ම ඉඩමේ අයිතිකරුට යන දෙපාර්ශ්වයටම ඇති විය හැකි භයානක ප්‍රතිපල පිළිබඳ පැවසීමෙන් පසු මුල කී අනවසර පදිංචිකරුවා විසින්ම හතරකොන පස් එකතු කර දෙන ලදී.

ඉල්ලීම පරිදි ගෙනා එම ඉඩමේ කොන් හතරේ පස් සමඟ ඉඩමේ අයිතිකරු කාලි මෑණියන්ගේ පිළිමය සහිත කුටියට රැගෙන ගිය අනුරුද්ධ හිමියන් පිළිමයේ දෑස දෙස ඍජුව බලාගෙන සිටින ලෙස මා මිතුරාට පැවසූහ.

ක්‍රමයෙන් මන්ත්‍ර ජප කරන විටදී පහනේ ආලෝකය දීප්තිමත්ව බැබළෙන්නට වූ අතර එයින්ම කරුණ සපල වන බව හිමියන්ගේ මුහුණේ ද ලියැවී තිබිණි.

තම කිරිඅප්පා වූ කොණ්ඩදෙණියේ සීලරතන හිමියන්ගේ බලගතු මන්ත්‍ර ශාස්ත්‍රය ප්‍රගුණ කළ අනුරුද්ධ හිමියන් කළ ගුරුකම සාර්ථක විය. එම වටිනා ඉඩම යුක්තිසහගතව සහ සාධාරණ ලෙස තමන් සතුකර ගැනීමට එතුමාට හැකි විය.

එවිට අනුරුද්ධ හිමියන් වදාළේ “තමා කළ ගුරුකමක් ලෙහෙසියෙන් වරදින්නේ නැති බවයි.”

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.