08 වැනිදා සඳුදා සිදුවන සූර්යග්‍රහණයෙන් ලංකාවට කිසිදු නපුරක් නැහැ

අප්‍රේල් 5, 2024

මේ වර්ෂයේ යෙදෙන පළමු පූර්ණ සූර්යග්‍රහණය සිදු වන්නේ අප්‍රේල් මස 08 වැනිදා සඳුදා මෙරට වේලාවෙන් රෑ. 9.12 සිට 10.08 දක්වාය. ඈපා පංචාංග ලිතට අනුව මෙය මීන රාශියේ රේවතී නැකැතේ 3 වැනි පාදයේ සිදුවෙයි.

සූර්ය ග්‍රහණයකින් යම් කිසි අශුභ බලපෑමක් ඇති වීමට නම් එකී ග්‍රහණය සූර්යයාලෝකය පොළොවට වැටෙන උදේ 6.00 සිට සවස 6.00 දක්වා ඇති කාලසීමාව තුළදී සිදු විය යුතුය යන්න ඡ්‍යොතිෂ මතයයි.

එහෙත් මේ ග්‍රහණය ආරම්භ වන්නේ රාත්‍රී කාලයේය.

ග්‍රහණය දිස්වීම අප්‍රේල් 9 වැනි අඟහරුවාදා අලුයම 1.25 ට අවසන් වන අතර එදින අලුයම 2.55ට ග්‍රහණය සම්පූර්ණයෙන් අවසන් වේ.

ඒ අනුව හිරු අවරට ගිය පසු රාත්‍රි කාලයත්, අලුයම කාලයත් අතර සිදුවන හෙයින් මේ ග්‍රහණයෙන් කිසිදු අශුභ බලපෑමක් පොදුවේ මෙරටට ඇති නොවේ.

එහෙත් මෙකී ග්‍රහණ සිදුවන මීන රැසෙන් 12 වැන්නෙහි සෙනසුරු ගමන් කරමින් සූර්ය ඒරාෂ්ටක අපලයක්ද පැන නැඟී ඇති හෙයින් උප්පත්ති කේන්දරයේ මීන රැසෙහි රවි පාප පීඩිතව ඇති දැනට රවි ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇති ජන්මීන්ට හෘදබාධා, ඇස් රෝග, අස්ථි රෝග, කොඳු නාරටියේ ආබාධ ඇති වීමටත් එකී රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳිමින් සිටින ජන්මින්ගේ එකී රෝගි තත්ත්වයන් උත්සන්න වීමටත් ඉඩ ඇති හෙයින් මේ සූර්ය ග්‍රහණය ලැබීමට දින 3කට පෙරත් පසුවත් කල්පනාකාරි ව පින් දහම් කරමින් කාලය ගත කළ යුතුය. එමෙන්ම මෙකී සූර්ය ග්‍රහණයක් සමඟ ඇති වන සූර්ය ඒරාෂ්ටක අපලය මීන රවියෙහි උපන් දැනට රවි හෝ සෙනසුරු අපලය අයත් මහ දශා අතුරු දශා ලබා ඇති සමිති සමාගම් සහ සමාජ නායකයන් ආදින්ට දැඩි අපල විපත් ඇති කරන හෙයින් ඔවුන් මෙකී සූර්යග්‍රහණය ලැබීමට පෙර දින 3කුත් ලැබීමෙන් පසු දින 03කුත් ආගම දහමට ළැදිව පින්දහම් කරමින් කාලය ගත කළ යුතු බව මෙහිදී අවධාරණය කළ යුතු වේ.

මේ ග්‍රහණයේ දැඩි අශුභ බලපෑම් ඇති වන්නේ ග්‍රහණය දර්ශනය වන මෙක්සිකෝව, ඇමෙරිකාව, එක්සත් ජනපදය, කැනඩාව යන රටවල්වලටය. එම රටවල්වලට මද්දහන ආසන්න වන විට මෙකී ග්‍රහණය දර්ශනය වීමට පටන් ගන්නා අතර මද්දහනය පසුවී පැය 2.30 ගත වූ පසු ග්‍රහණයේ දිස්වීම අවසාන වේ.

මෙකී ග්‍රහණය ජල රැසක් වන මීන රාශියේ සිදුවන නිසා ඒ රටවල්වල විපත් ඇති විය හැකි අතර ධාරානිපාත වර්ෂාව හේතු කොට ගෙන ජල ගැලීම්, ගංවතුර, වැනි විපත් බහුල වී ජීවිත හානි ද ඇති විය හැකිය. එමෙන්ම උස් ගොඩනැඟිලි කඩා වැටීමෙන්ද ජීවිත හානි සිදු විය හැකිය. මෙක්සිකෝව වියළි කාලගුණයක් ඇති රටක් නිසා එම රටෙහි උග්‍ර ජල හිඟයක් ඇති විය හැකිය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.