දේශීය මෙන්ම ආයුර්වේද බෙහෙත් නිෂ්පාදනයට ගන්නා තෘණ කුලයේ ඖෂධීය ශාක

ජූලි 5, 2019

ආයුර්වේද වෙදකමේදී මෙන්ම දේශීය වෙදකමේදී සකස් කරනු ලබන බෙහෙත් නිෂ්පාදනයට ගනු ලබන තෘණ කුලයට අයත් බෙහෙත් පැළෑටි බොහෝ දෙනෙකුගේ නොදැණුවත්කම නිසා වඳවෙමින් පවතී. එදා ගෙවතුවල මංමාවත් අසල තෙත් බිම්වල පාළු ඉඩම්වල වැවී තිබූ මෙම ඖෂධ පැළෑටි අද වන විට දැකගන්නට වත් නොමැත.

මේවා උපයෝගී කරගනිමින් ගුලි,කල්ක ,අරිෂ්ඨ, ආසව, ආලේපන, පත්තු, ඍත තෛල, සුවඳවිලවුන් කසාය පමණක් නොව කැඩුම් බිඳුම් සඳහා දෙනු ලබන බෙහෙත් මැල්ලුම් සඳහා උපයෝගී කරගනිති. මෙම අගනා බෙහෙත් පැළෑටිවල හිඟකම නිසා බොහෝවිට බෙහෙත් බඩු වෙළෙඳ සැල්වල පවා තෘණ ශාක බෙහෙත් පැළෑටිවල හිඟයක් පවතී.

ඖෂධ සඳහා යොදාගනු ලබන තෘණ ඖෂධ පැළෑටි අතර සැවැන්දරා, බැලතණ, ඊතණ , කුසතණ, සේර, කිරිඳි, පැඟිරි ,වලුක්,හීංපැඟිරි, මහපැඟිරි, රඹුක්, වැඩි වශයෙන් ගනු ලබන ඖෂධ පැළෑටි වේ. ආයුර්වේද ඖෂධීය අමු ද්‍රව්‍ය අතර මේවා තෘණ පංචමූල ලෙස පෙන්වාදී ඇත. මෙම තෘණ කුලයේ ඖෂධ පැළෑටි අතර වෙළඳ නිෂ්පාදන අතරින් ප්‍රධාන තැනක් හිමිවී ඇත්තේ සැවැන්දරා ඖෂධ පැළෑටියටයි. එයට හේතුවක් වී ඇත්තේ සැවැන්දරා මුල් නිතර ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය වන අතර සුවඳ විලවුන් නිෂ්පාදනය ප්‍රධානයෙහිලා ගැනෙන බැවිනි.

කුස තණ ඉංගී‍්‍රසි බසින් SACRED KUSAGRASS  යනුවෙන් සඳහන් කුසතණවලට හින්දිබසින් කුශා සහ ඩාහ යනුවෙන්ද හඳුන්වා ඇති අතර කුසතණ වල කුලය වන්නේ GRAMINOEAE හෙවත් යවකුලය ලෙසය. තෘණ පංචමූලය සඳහා ගනු ලබන එක් තෘණ වර්ගයක් වන කුස තුණ මුත්‍රා රෝග සමනය කිරීමේ ගුණයකින්ද මුත්‍රාශයේ ඇතිවන ගල් නාශක ගුණයකින් ද යුක්ත වන අතර කැඩුම් බිඳුම් රෝග සඳහා දෙනු ලබන ප්‍රතිකාර සඳහාද ගනු ලබති. කුස තෘණවලද වැඩි වශයෙන් ඖෂධ සඳහා යොදාගනු ලබන්නේ කුස තණ මුල්ය. කුසතණ ඖෂධයක් මෙන්ම ශුද්ධ වස්තුවක් ලෙසද හඳුන්වනු ලබන ශාකයකි.

ආයුර්වේද ග්‍රන්ථවල කුශ, බර්හි, සුවග්‍ර යඥා භුෂණ දර්භ දීර්ඝ පත්‍ර හා ක්ෂුර පත්‍ර යන නම්වලින් හඳුන්වා ඇති කුස තණ මුල් වා, පිත්. සෙම් යන තුන් දොස් සමනය කරන අගනා ඔසුවකි.

මෙම ඖෂධය සිසිල් ගුණයෙන් යුක්තවන අතර රක්තපිත්ත රක්තාතිසාර කාන්තා දෝෂ , මුත්‍රා දෝෂ. දැවිල්ල, ඉදිමුම් හා සෙංගමාලය වැනි රෝගවලට ගුණදායකය. කුසතණ බුදුන් වහන්සේට බෝධිපූජාවලට ගනු ලබන පූජා ද්‍රව්‍යයන්ද වේ. යාග හෝමාවලටද ගනු ලබන කුසතණ පිපාසය නසන ගුණයකින්ද යුක්ත වේ. කුෂ්ඨ නසන ගුණයකින්ද සමන්විත එය සමේ රෝග ප්‍රතිකාර සඳහාද යොදාගනී. කුසතණ කුශාවලේහය කුශාදී තෛලය . කුශාදිඍතය ආදි ඖෂධ සඳහා උපයෝගී කර ගනිති.

සැවැන්දරා VETIVERIA ZIZANIOIDES (L) NAS POACEAE (GRAMINEAE) යනුවෙන් උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන සැවැන්දරා ඖෂධයට දෙමළ බසින් කියනු ලබන්නේ වෙට්ටිවේර් යනුවෙනි. හින්දි බසින් හඳුන්වා ඇත්තේ ශාන්ඩරකිජරි යනුවෙනි. සංස්කෘත බසින් අමෘණාල .ශීතමූලකා සුගන්ධි මූලක ජලවාෂ උශීර ආදි නම්වලින් හඳුන්වන ලද සැවැන්දරාවලට සිංහලෙන් කියනු ලබන්නේ සැවැන්දරා සුවඳහොට , සැවැන්න සුවඳට හා සැවැන්දන යනුවෙනි. ප්‍රසන්න සුවඳකින් යුත් සැවැන්දරා ඖෂධයට දෙමළ බසින් වෙට්ටිවේර් යනුවෙන්ද වංග බසින් චේතසාස්, ඛස යනුවෙන් ද කියති. ඖෂධීය සඳහා මුළු පැළෑටියේම කොටස් ගනු ලබති. විශේෂයෙන් තෘණ කුලයේ පැළෑටි අතර සැවැන්දරා දැවිලි සමනය කරන සමේ හටගනු ලබන ආබාධ දුරුලන දහඩිය අඩුකරන හා දහඩිය ගඳ දුරුලන ඖෂධයකි. සැවැන්දරා අභයාදී ක්වාතයා තිප්පිලි ආදි කෂාය, තුන්දොස් කොළ කෂාය, තිප්පිලි ආදි කෂාය තුන්දොස් කෝල කෂාය ආදී කෂායවලටද ගනු ලබති.

චන්දනාදී චූර්ණය, සරස්වතී චූර්ණය , බලාරිෂ්ටය කුංකුමාදී තෛලය , නයනකේතකී තෛලය, නවපටල තෛලය, බුද්ධරාජ තෛලය,භෘංගරාජ තෛලය, ගුස්කමූලයාදී තෛලය බොහෝ බෙහෙත් තෙල් සඳහා ගනිති. සැවැන්දරා ඖෂධයට සමහර ආයුර්වේද පොත්වල සඳහන් කොට ඇත්තේ සුවඳහොට හා සුවදෙන යන නමිනි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

බත්තරමුල්ල පැළවත්ත රාජපුර වෙද මැදුරේ
ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය
සුමිත් එම්.පී. රාජපුර

සටහන
එස්.එස්.එස්. අ‍්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.