ලස්සන නිය පෙළකට

අප්‍රේල් 12, 2024

ලස්සන නිය පෙළක් පවත්වා ගැනීම අපේ පිරිසුදු බව දෙඅත්වල සුන්දරත්වය පිළිබිඹු වෙනවා වගේම මේ නියපොතු මඟින් අපේ ශරීර අභ්‍යන්තරයේ පවතින සෞඛ්‍යමය ගැටලුත් අපිට පෙන්වාදෙන බව ඔබ දන්නවාද?

අපේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ගේ යම් ක්‍රියාහානි වීම් විශේෂයෙන්ම විවිධ වූ පෝෂණ හා විටමින් ඌනතා අපේ නියපොතු පරීක්ෂා කිරීමෙන් වෛද්‍යවරු විසින් හඳුනා ගනී. උදාහරණයක් ලෙස නියමත තිබෙන කුඩා සුදු පැහැති ලප (Patches/ Spots)   මඟින් කැල්සියම් හෝ Zinc ඌනතාවය හඳුනාගත හැකිය. යකඩ හෝ විටමින් ඒ ඌනතාවය නිසා හෝ සමහර විටෙක වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩුවීමේ දී කැඩෙන සුලු නියපොතු දක්නට ලැබේ. එසේම පෙණහැල්ල, අක්මාව ආශි‍්‍රතව යම් යම් ගැටලු, සමේ රෝගී තත්ත්වය මෙන්ම දිලීර ආසාදන තත්ත්වයන් ගැන ද නියපොතුවල වෙනස්වීම් මඟින් හඳුනා ගනී. එබැවින් නියපොතු පිළිබඳ අවධානය ලබා දිය යුතු ය.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව පුද්ගලයාගේ දේහ ප්‍රකෘතියට (Body Constitution) අනුව නියපොතුවල ලක්ෂණ හා පැහැයන් පිළිබඳව විස්තරකර ඇත. ආයුර්වේදයට අනුව නියපොතු සඳහා හිමිවන්නේ ඉතා සුවිශේෂී ස්ථානයකි. එනම් නියපොතු යනු අපේ ශරීරය දරා සිටින සප්ත ධාතුවලින් (body tissues) එක් ධාතුවක් වන අස්ථි ධාතුවේ (bones) මළ පදාර්ථයකි. (By product / waste product)  විවිධ වර්ණ වෙනස් වීම්, කුඩා ලප (Spots) දාර (ridges) ඇති වීම කැඩීයාම් මඟින් අස්ථි ධාතුවේ අභ්‍යන්තරයෙහි සිදුවන්නා වූ විෂමතා බාහිරව නියපොතු හරහා රෝගී තත්ත්ව ලෙස අපට පෙන්නුම් කරයි. එසේම මේ රෝගී තත්ත්වවලට හා පෝෂණ ඌනතාවලට අමතරව එදිනෙදා වැඩකටයුතුවලදී යොදා ගන්නා ඇතැම් සේදුම්කාරක වැනි රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා හෝ විවිධ නිය ආලේපන වර්ග නිතර ගැල්වීම නිසා අපේ නියපොතු දුර්වර්ණවීම සිදු වේ. ඊට අමතරව නියපොතු ආශි‍්‍රත සම රතු වී ඉදිමීම, නියපොතු කඩතොලු වීම, නිය හා ඒ ආශි‍්‍රත ඇඟිලිවල සම වියළී බවට පත්වීමත් බහුලව දක්නට ලැබෙන රූපලාවණ්‍ය ගැටලු වේ. මේ ගැටලු මඟහරවා ගැනීමට බොහොම පහසුය. ඒ සඳහා නිවෙසේ දී ම කරගත හැකි ආයුර්වේද පිළියම් කිහිපයක් අද කතා බහට එකතු කරගමු.

ආමන්ඩ් ඔයිල් හෝ ඔලිව් ඔයිල් මී පැණි සමඟ මිශ්‍ර කර රාත්‍රියේ දී නිය හා ඇඟිලිවල ආලේප කර උදෑසන මඳ උණුසුම් වතුරින් සෝදා හැරීමෙන් නියපොතුවල වියළි බව නැතිකර පෝෂණීය බවක් ලබාදෙයි. සීතල වතුර භාජනයකට දෙහි යුෂ ස්වල්පයක් දමා මිනිත්තු 10 - 12 ක් පමණ නියපොතු හා ඇඟිලි ගිල්වා පෙඟෙන්නට හැර සෝදා හැරීමෙන් නියපොතු දුර්වර්ණවීම් නැති කරගන්නට පුළුවන්. නිය අලංකරණයට භාවිත කරන නිය ආලේපන ඉවත් කිරීමෙන් පසුව(moisturizer) එකක් භාවිතය ද අමතක නොකළ යුතු කරුණකි. මේ සඳහා ස්වභාවික(moisturizer) ලෙස ස්වාභාවික කෝමාරිකා මදය, තල තෙල්, බටර් මෙන්ම, සඳුන් තෙල්, ලැවැන්ඩර් ඔයිල් භාවිත කළ හැකි ය. නියපොතු හොඳින් පිරිසුදු කිරීමෙන් පසුව රෝස වතුරෙන් හෝ බිත්තර සුදු මදය හා මී පැණි ස්වල්පයක් මිශ්‍රකර හෝ ඉදුණ අලිගැට පේර හොඳින් පොඩිකර සාදා ගන්නා පල්පයට මී පැණි ස්වල්පයක් මිශ්‍රකර නචජඬ එකක් ලෙස සකසා මිනිත්තු 30ක් පමණ නියපොතු හා ඇඟිලි ආශි‍්‍රතව ආලේප කර තබා මඳ උණුසුම් වතුරින් ඉවත් කිරීමෙන් නියපොතුවලට හොඳ තෙතමනයක් මෙන්ම නියපොතු හා ඇඟිලිවල දුර්වරණ වීම් ද මඟහරවා ගත හැකි ය. එළඟිතෙල් /ghee, butter,  ඔලිව් ඔයිල්, ආමන්ඩ් ඔයිල්, virgine coconut oil, alovera gel භාවිත කර නියපොතු සහ ඇඟිලි මිනිත්තු 10 - 15 ක් පමණ හොඳින් මසාජ් කිරීමෙන් ද නියපොතුවල දිදුලන බව, තෙතමනය මෙන්ම ශක්තිමත් බවද පවත්වාගත හැකිය. සතියකට දින 3ක් පමණ මේ සත්කාර කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය. ඊට අමතරව එදිනෙදා ගෙවතු වගා වැඩ, රසායනික ද්‍රව්‍යය භාවිතයේ දී අත් වැසුම් පැලඳීම මඟින් නියපොතුවලට සිදුවන අනවශ්‍ය හානි වළක්වා ගත හැකි ය.

බාහිර සුන්දරත්වය පමණක් නොව පවතින රෝග තත්ත්වවලට වෛද්‍ය උපදෙස් අනුකූලව අවශ්‍ය විටමින් වර්ග අදාළ මාත්‍රාවෙන් ලබා ගැනීම ද කැල්සියම් හා විටමින්  K, A, D, E අඩංගු එළවළු හා පලතුරු ආහාර වේල් සඳහා එකතු කර ගැනීමටත් වතුර වැඩිපුර පානය කිරීමත් නියපොතුවල පිරිසුදු බව හා ක්‍රමානුකූලව නියපොතු කපා හොඳන් trim කර පවත්වා ගැනීමටත් අවධානය ලබා දීම මඟින් ලස්සන දිදුළන නීරෝගී නිය පෙලක හිමිකාරියක් හෝ හිමිකරුවෙකු විය හැකිය.

 

ආයුර්වේද්‍ය වෛද්‍ය

ජේ. සිත්මිණී අනුසරා

දේශීය වෛද්‍ය පීඨය

කොළඹ විශ්වවිද්‍යාලය

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.