සිංහල අවුරුද්දේ විෂ මත්පැන්වලින් ඈත්වෙමු

අප්‍රේල් 5, 2024

අලුත් අවුරුද්ද සමහරු සමරන්නේ රහමෙර පානයෙනි. එහෙත් එය තමන්ගේ මෙන්ම පවුලේ සතුට සමඟිය නසන බව ඔවුන්ට අමතකව ඇත.

විෂ මත්වතුර පානයේදී මුලින්ම එයට ලක්වන්නේ දිවයි. දිවේ පිහිටි සියුම් පටක විනාශ කරමින් මත් දියර ගලායන්නේ ගලනාළයටයි. ගලනාළය ද හානි කරමින් ගලා යන මද්‍යසාරය නවතින්නේ ආමාශයෙහිය. මේ නිසා ආමාශයේ තද දැවිල්ලක් හටගනී. එය කෙළවර වන්නේ ලේ වමනය කිරීමෙනි.

මේ මද්‍යසාර ගැනීම නිසා ඊළඟට තදින්ම විනාශ කරා යන්නේ අක්මාවයි. අක්මාවේ සෛල විනාශ වීම නිසා අක්මාව ද ඉදිමේ. කලක් යන විට මද්‍යසාරයේ බලපෑම නිසා අක්මාව සිරෝසීස් නමැති භයානක රෝගයට ගොදුරුවේ. මේ නිසා ඇස් කහවීම, ඇඟ ඉදිමීම, සිහිවිකල්වීම රුධිරය ගලායෑම වැනි දරුණු රෝගාබාධයන්ට ලක්වේ. එය ද විනාශයට හේතුවකි.

මත්වතුරෙන් අග්න්‍යාශයේ පටක විනාශ වීම නිසා එහි ක්‍රියාකාරීත්වය ද විනාශ වේ. ඒ සමඟ මත්පැනින් හානිවන අනිත් අවයවයන් වන්නේ කුඩා බඩවැලයි. මේ සියලු ඉන්ද්‍රයයන් මත්පැන් පානයෙන් ඇතිවන බලපෑම නිසා පිළිකාවලට ද ගොදුරු වේ. කෑමට පි‍්‍රයක් නොදක්වන අතර ඇතිවන පීඩනය නිසා මත්පැන් පානයෙන් පසු නොකා නොබී සිටීමට පෙලැඹේ.

අක්මාව, ආමාශය කුඩා බඩවැල් ආදී ස්ථානවලින් විෂ මද්‍යසාර ශරීරය තුළට යන අතර එය ශරීරයේ රුධිරවාහිනී පද්ධති උරාගනී. එහි ඇති පෝල්ඩි විටමිනය වැනි අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හිඟවීම නිසා ලේ හිඟකමට ද ලක්වේ. මද්‍යසාර රුධිරනාළ පටු කරනා මේද වර්ග අඩු කරනා බැවින් අධික රුධිර පීඩනයට හේතු වේ. මේ නිසා හෘදයාබාධවලට ලක්වේ. මද්‍යසාර හෘදයේ සෛලවලට ඍජුවම හානි පමුණුවයි. මෙයින් හෘදයේ ක්‍රියාකාරීත්වය අඩුවේ. ඉදිමීමට පටන් ගනී. අවසානයේ ජීවිතයේ අවසානය ද වේ.

මත්පැන් රුධිරනාළ ඔස්සේ ගලායන්නේ මොළයටයි. රුධිරනාළ තුළින් රුධිරය සමඟ මොළයට යන විෂ මත්පැන් මොළයේ සෛලවලට ද හානි කරයි. මේ නිසා මොළයේ ස්නායු ක්ෂණිකව හිරිවැටීමකට ලක්වේ. ඉන් පියවි සිහිය අහිමි වේ. ස්වසන පද්ධතියම අක්‍රියවීමෙන් මරණය ද ඉක්මන් වේ. ඇවිදීම පාලනය කර ගැනීමට නොහැකිව ඇදවැටීමට පවා හේතු වේ. විෂ මත්වතුරේ බලපෑම නිසා ඇසේ සුදු ඉංගිරියාව ද රත් පැහැයක් ගනී.

උගුර ආශි‍්‍රතව මස්පිඬුවල ක්‍රියාකාරීත්වය හීනවීම නිසා ගොත ගැසීම සිදුවේ. අක්ෂි ගෝලයේ පේශි නිසි අයුරින් ක්‍රියා නොකිරීම නිසා ඡායා දෙක බැගින් දර්ශනය වේ. නිතර නිතර වමනය ඇති කරවන අතර මූත්‍රාපිට කිරීම ද වැඩි වේ. දෙකකුල්වල හටගන්නා අප්‍රාණිකත්වය නිසා ඇදවැටේ.

මද්‍යසාරවල බලපෑමෙන් බඩවැල පවා ඉදිමේ. රුධිර තරලය බඩවැලින් එළියට ඒම නිසා බඩවැල් වතුරෙන් පිරී යයි. මේ නිසා මතට පුරුදු වූ අය බොහෝවිට හඳුනාගත හැක්කේ උදරය ඉදිරියට නෙරාඒම හේතුවෙනි. අධික කෝපය, මානසික ආතතිය පමණක් නොව මානසික විකෘතිතාවයන්ට පවා මත්පැන් බොන තැනැත්තා යොමු වේ. තමන්ට තමන්ගේ කටයුතු කර ගැනීමට පවා නොහැකිව ලතැ වේ. සමාජයේ පිළිකුළට භාජනය වේ.

අධික මත්පැන් පානය නිසා මොළයේ සෛල විනාශ වීයාමෙන් මතකය බොහෝ සෙයින් අඩුවී යයි. මෙසේ විනාශ වන සෛල නැවත අලුතින් නිපදවෙන්නේ නැත. මද්‍යසාරවල ක්‍රියාකාරීත්වය නිසා හෘද ස්පන්දනය වැඩි කරයි. මේ හේතුව නිසා රුධිර පීඩනය අධික වේ. එහි ප්‍රතිඵලය වන්නේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළයෑමයි. මේ සියල්ලටම ආහාරවල ද බලපෑමක් ඇත. මත්පැන් ගන්නා විට හැම කෙනෙක්ම අධික ලෙස තෙලෙන් බැදූ හා තෙලෙන් සකස් කළ කටගැස්මට බදින ලද අලපෙති, කුකුළුමස්, ඌරු මස්, ඉස්සෝ, දැල්ලෝ, හුරුල්ලන්, බෝල්ලන්, අච්චාරු වැනි දේවල් ගැනීමට පුරුදුව සිටිති. මේ තෙල් කෑම නිසා කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යයි. මේ නිසා රුධිරය මද්‍යසාර සමඟ එකතුවීමෙන් වේගවත්ව එය වකුගඩු වෙත ගමන් කරයි. ඉන් වකුගඩු හානියට පත්වේ. වකුගඩු හානිවීම නිසා මූත්‍රා බැහැර කිරීමට ඇතිවන්නේ මහත් බාධාවකි.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ නැකත් මුල්කර ගනිමින් පවත්වනු ලබන අවුරුදු උත්සවය චාරිත්‍ර විධි අනුගමනය කරනු ලබන එකම උත්සවය ද වේ. ජනතාවට සෞභාග්‍යය හා වාසනාව ගෙන දෙන්නක් ලෙසින් පවත්වනු ලබන මේ උත්සවයේදී නැකතට ආහාර අනුභව කරමින් විනෝද වන විට විෂ මද්‍යසාර ගෙන ඒමෙන් කරනු ලබන්නේ සියලු වත්පිළිවෙත් විනාශ කරමින් සාමය, සමගිය හා සතුට ද විනාශ කර ගැනීමකි.

මද්‍යසාර පානය සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ කෙරේ. එබැවින් ශරීර සෞඛ්‍යයට හානිකරන දේවල් නොගෙන නිරෝගී සුවය ගෙනෙන කිරිබත්, බත්, එළවළු හා පලතුරුවලින් සංග්‍රහ කිරීම සුදුසු වනු ඇත. එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා.

බත්තරමුල්ල පැලවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.