ලක්දිව පත්තිනි පුරාණය

අගෝස්තු 13, 2021

මෙලොව ජීවිතයට යස ඉසුරු ළංකර ගැනීමත්, ලෙඩ රෝග සුවකර සෙත ශාන්තිය උදාකර ගැනීමත් නා නා මාදිලියේ ඕනෑ එපාකම් ඉෂ්ඨ සිද්ධ කර ගැනීමේ අදහසින් මලින් , දුමින් , දීපයෙන් හා ගාථාවෙන් , වචනයෙන් ලෝක සත්වයාට වඩා ඉහළ තැනක වැජඹෙන අදෘෂ්‍යමාන දෙවියන්ගේ සිත් ප්‍රසාදයට පමුණුවා තමන්ගේ අදහස් සිතුම් පැතුම් ඉටුකර ගැනීමේ පරම චේතනාවෙන් සිදු කරන්නකි. අතීතයේ පමණක් නොව අදත් දෙවියන් විශ්වාස කරන්නාවූ ලක්වාසි ජනතාව ‘පත්තිනි දේව පූජාව සිදු කරති

 

දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීම ගම්මඩු පැවැත්වීම, දේව දානමය, කන්නලව් කිරීම අනාදිමත් කාලයක සිට පැවත එන්නකි. දේවත්වය පිළිබඳ විශ්වාසය තැබූ අපේ පැරැන්නෝ මුතුන් මිත්තෝ ඉතාම භක්තියෙන් ගෞරවයෙන් මෙම දේව ඇදහිලි පවත්වා ගෙන ආ බවත් අප කවුරුත් දනිති.

 

මෙහි මූලික හරය මෙලොව ජීවිතයට යස ඉසුරු ළංකර ගැනීමත්, ලෙඩ රෝග සුවකර සෙත ශාන්තිය උදාකර ගැනීමත් නා නා මාදිලියේ ඕනෑ එපාකම් ඉෂ්ඨ සිද්ධ කර ගැනීමේ අදහසින් මලින් , දුමින් , දීපයෙන් හා ගාථාවෙන් , වචනයෙන් ලෝක සත්වයාට වඩා ඉහළ තැනක වැජඹෙන අදෘෂ්‍යමාන දෙවියන්ගේ සිත් ප්‍රසාදයට පමුණුවා තමන්ගේ අදහස් සිතුම් පැතුම් ඉටුකර ගැනීමේ පරම චේතනාවෙන් සිදු කරන්නකි.

අතීතයේ පමණක් නොව අදත් දෙවියන් විශ්වාස කරන්නාවූ ලක්වාසි ජනතාව ‘පත්තිනි දේව පූජාව සිදු කරති.

සිද්ධ පත්තිනි දිව්‍යාංගනාවූන් වහන්සේ පොළොවට සත් වාරයක් පහළ වූ හෙයින් ‘සත්පත්තිනි’ යන නමින්ද දොළොස් වාරයක් පහළ වූ බැවින් දොළොස් පත්තිනි යන නමින්ද ප්‍රසිද්ධියට පත්ව වැඩ වාසය කරන්නාවූ දේව පත්තිනි මෑණියනි ඔබව අයදිමි.

ගජබා රජුගේ නීල මහා යෝධයා සමඟ යාපා පටුනෙන් මුහුද තරණය කොට සොළී රටට ගොස් අප දිවයිනෙන් රැගෙන ගිය දොළොස් දහසයි. සොළී රටෙන් දොළොස් දහසයි විසි හතර දාහක් සමඟ සත් මෑණියන්ගේ දිවිය ආභරණය වූ හළං සත් නමක් සමඟ ද එනම් පාමුදු මිණිසළඹ, රං අබයා අත් මිණි සළඹ, ආදිය සමඟ රැගෙන විත් කොළොම් පුර හේවාගම් කෝරළයේ නා ගස් සමූහයකින් වටවූ තුඹසක් දැක තුඹස මතුපිට හළං සන්නම තබා සාමාන්‍ය අතු වලින් පැලක් සාදා මුල්ම දෙවොළ සාදන ලදී. මේ දෙවොළ කල් යාමේදී කැලෑ වැදී ගිය බවත් සඳහන් වේ. මෙම දේවාලයට කොස් ලීයෙන් තනන ලද උළුවස්සක් තැබූ බවද කියැවේ.

ජයවර්ධන පුර කෝට්ටේ රාජධානි කල දවස සියනෑ කෝරළයේ එදා සමනබැද්ද නමින් ප්‍රචලිත වික්‍රමආරච්චි පරම්පරාවට නෑකම් කියන ගොවි මහතෙක් කැලණි ගඟෙන් ගොඩවී මෙම දෙවොළ තිබෙන නවගමුව වනයට වැල් කැපීම පිණිස ගිය කල ඔහුට මං මුළා වැලක් පය ගැටීමෙන් අතරමං වී සිට වෙහෙස වී අධික පීඩාවට පත් වී ගමන් කරන ඔහුට මේ ප්‍රදේශය දැක ගන්නට ලැබුණ බව සඳහන් ය. ටික වේලාවක් වට පිට බලන මොහුට මෙම දෙවොළ නෙත ගැටුණි. මෙම දෙවොලට තබා තිබුණ උළුවස්සේ තුන්දුමා සහිත වැළ ගෙඩියක් දැක එයින් භාගයක් ආහාරයට ගෙන යන්නට ගිය බවත් සැලවේ.

ඊට පසු පොහෝ දින මෙම මගියා සමනබැද්ද ගල් ගුහාවක වැඩ වසන ස්වාමීන් වහන්සේ නමකට මේ සිද්ධිය ප්‍රකාශ කළ බවත් ඒ හිමිනම විස්තර සොයා බලා කෑරගල පරිවේනාධිපති ස්වාමීන් වහන්සේට දන්වන ලදී. කෑරගල නායක හිමි පාණන් වහන්සේ මෙම රජ වාසලට සැලකරන ලදුව කෝට්ටේ රජ වාසලෙන් මැති ඇමතිවරු ගෙන්වා පුදුමයට පත්ව නා සමූහයක් තිබුණ බැවින් ‘නවගමුව කියා නම් තබා බටංගල නවගම් නමැති කපුරාළ කෙනෙකු සොයා දෙවොළ භාර කළ බවත් පත්තිනි පුරාණයේ සඳහන් වේ. මෙම රං හළං හතෙන් එක් නමක් අඹේපුස්ස මහ දෙවොලේද යාපා පටුනේ එක නමක්ද, රුහුණු හත් පත්තුවේ එක නමක්ද, නමින් හත් පොළක දේවාල හතක් ඉදිකර ඇත.

එතැන් පටන් නවගමුව දේවාලය මහා හාස්කම් ඇති දෙවොලක් බවට ප්‍රචලිතය. මෑත කාලයේදී සාහිත්‍යදර පණ්ඩිත කළුකොඳයාවේ පඤ්ඤාසේකර මා හිමියන්ගේ උපදෙස් මත නවගමුව දේවාලයේ නව විහාර මන්දිරය අංග සම්පූර්ණව නිම කර ඇත.

අද ද සියනෑ කෝරළයේ වික්‍රමාරච්චි පරපුරෙන් පැවත එන බණ්ඩාරනායගම පෙළපත බණ්ඩාරනායක පෙළපත වී පවතින බවත් මුඛ පරම්පරාවේ පත්තිනි දෙවියන් ගේ දේව හාස්කමින් වික්‍රමාරච්චි පෙළපත ගොවිතැනටත් හෙළ වෙදකමටත් , දේපළ හිමි පැලැන්තියටත්, පරම්පරාවම අද දක්වා පැවතෙන බවත් කියැවෙයි.

මුඛ පරම්පරාවේ සඳහන් මේ නවගමු දේවාලය අභීතව සත් පත්තිනි දෙවියන්ට සත් පත්තිනි යන නාමය ව්‍යවහාර වී ඇත්තේ මෙම දිව්‍යාංගනාවුන් වහන්සේලා මෙලොව සත් වාරයක් පහළ වූ බැවිනි.

දොළොස් වාරයක් පහළ වූ බැවින් දොළොස් පත්තිනි නමින්ද ව්‍යවහාර වෙයි.

එනම් සකල මල් කර දොඹට මලින් ගිනිකන්දෙන් නිය කඳුළෙන් , විදුලියෙන් , පිණී බිඳුවෙන් සිනා රැල්ලෙන් , ව්‍යකාවෙත්, සුදුපොටෙන්, නුග පත්‍රයෙන්, කදුරු පොත්තෙන්, හෙනෙන් උපත ලැබ සිටින නිසා පත්තිනි පතිවෘත්තා ධර්මය ආරක්ෂා කරන හෙයින් සත් පත්තිනි යන උතුම් නාමය පැවත එන බව පත්තිනි පුරාණයෙහි දැක්වේ.

මෙම දිව්‍යාංගනාවන් ගේ නාමයෙන් ගම්මඩු උළෙලක් සිදු කොට දේව දානයක් ගමක දීමෙන් ගමට සත් අවුරුද්දක්ද, නිවසක කළොත් විසි අවුරුද්දක්ද ධන, ධාන්‍ය, යාන වාහන, භෝග සම්පත් වැඩි වීමක් වසූරිය, පැපොල, සරම්ප වැනි වසංගත රෝග දුරුවන බවක් කෝට්ටේ රාජධානියේ සිට මේ දක්වා පැවතෙන ලංකාවාසී ජනතාවගේ බලවත් විශ්වාසයයි.

“පත්තිනි දේව කන්නලව්ව

අවසර පස්වාහ් දහසකට චිරාත්කාලයකට සැප සේ වැඩ ඉන්න සිද්ධ පත්තිනි දේවයන් (මෑණියන්) වහන්ස

ඔබ දිව්‍යාංගනාවුන් වහන්සේ දියෙන් , ගින්නෙන් මලෙන් අඹෙන් නෛකඳුළෙන්, නුගපතෙන්, උරහිසෙන්, සත් වාරයක් ඉපදී, සුර ලොවින්, අසුර ලොවට වරම් ලබා ගෙන නාග මාණික්‍යයක් දරා පුන් කළසක් ශ්‍රී හස්තයට ගෙන දිව්‍ය මන්දිරය මාන වූ නවගමුවේ දේව මාලිගාවට බැල්ම හෙලන්නාවූ බව දිව්‍යාංගනාවුන් වහන්සේ එදා කොසඹ කැලේදී මිය ගිය හිමියන්ගේ මළකඳ නැවත පණ උපද්දවා ගෙන එසේම අඳුන්ගිරි පර්වතයට වැඩම කර වදාරා අඳුරුන්ගිරි පර්වතේ පස රකිනා දුටු ශක්‍ර දේවේන්ද්‍ර රාජයා පත්තිනියගේ තෙද බලමියි සිතා අඳුන්ගිරට පැමිණ නැගණියනි ‘මට දානයක් දෙවයි’ සැලකල අවස්ථාවේදී කුමන දානයක් දැයි විමසා වදාරා අඳුන්ගිරි ගල පයෙන් පාගා මඩකර දියෙන් ගිනි ගෙන භෝජන තනා දෙවයි කී කල්හි සිනාපහළ කර සත්‍යක්‍රියා බලයෙන් අඳුන්ගිරි පයින් මඩකර සුවඳ ඇල් වි ඉස පැළකර පැස්සවා කොටා සත් පැයක් ඇතුළත එම දන් පිළීගන්වා තෙද බල පෙන්වූ ආනුභාවයෙන් , ආඥාවෙන් ඔබ දිව්‍යාංගනාවුන් වහන්සේගේ ආශිර්වාද බලාපොරොත්තු වන්නාවූ සැමට සෙත සැලසේ.

 

සර්වාංග වෛද්‍ය

එස්.කේ.එස්. කුලසූරිය මිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.