1952 මහා සූර්යග්‍රහණය දිනයේ ආචාර්ය අදිකාරම්තුමා පැවසූ අනාවැකිය

අප්‍රේල් 19, 2024

 

1952 පෙබරවාරි මස 07 වැනි බ්‍රහස්පතින්දා උදේ 07.36ට ආසන්න කාලය තුළ පූර්ණ සූර්යග්‍රහණයක් මිනිත්තු 7කට වැඩි කාලයක් තුළ පැවතිණි. සතුන් කලබල විය. මීයන් ගුල්වලින් එළියට එන්න පටන් ගත්තේ ය.

බළලුන් ද කුලප්පු විය. බල්ලන් මහහඬින් බිරීමට පටන් ගත්තේ ය. මේ පූර්ණ සූර්යග්‍රහණය සිදුවී ඇත්තේ අදට වසර 72ට පෙරය.

පිදුරුතලාගල මුදුනේ සාදා තිබුණ අට්ටාලය එය ගුවන් විදුලියෙන් මේ සූර්යග්‍රහණය පිළිබඳව පූර්ණ විස්තර කථනයක් කරන ලද්දේ විද්‍යාඥයෙක් වූ ඊ.ඩබ්ලිව් අදිකාරම්තුමාය. ‘මා මේ කතා කරන තැන පිදුරුතලාගල කන්ද අනාගත කාලයේ දී ගිනි කන්දක් බවට පරිවර්තනය වී ලාවා (ලෝදිය) පිටවී අවට ප්‍රදේශ සමූහයක්ම විනාශ වනවා’ යැයි ඔහු පැවැසුවේය. තවද කඳු හරස් අතට කපා අලුත් පාරවල් ඉදි කිරීමෙන් නාය යන බව ද ප්‍රකාශ කළේ ය. දැනටමත් එය සිදු වී ඇත. කඳුවලින් විශේෂයෙන්ම සමනළ කන්ද ආශි‍්‍රතව ගලා බසින දිය උල්පත් විනාශ නොකිරීමට වගබලා ගත යුතු යැයි ප්‍රකාශ කරන ලදි. කැළෑ කැපීම් නොකළ යුතු බැව් ද එතුමා පැවැසුවේය. මගේ අතීත මතකයේ හැටියට ඊ.ඩබ්ලිව්. අදිකාරම්තුමා පැවසූ අන්දමට ඉදිරි කාලය තුළ දී එතුමා පැවැසූ ගිනිකන්දේ අනාවැකිය ඉටුවේවිද යන්න දැන්නම් සිතන විට සැකයක් නූපදී...

වසර 72ක් පමණ දිගු කලක් යනවිටදී සමහර තොරතුරු මනසින් ඈත් වේ. විශේෂයෙන්ම අදිකාරම්තුමා පැවැසූ අන්දමට විදේශීය සංචාරකයින් කැළෑ ආශි‍්‍රතව ශාක වර්ග විශේෂයෙන්ම ඖෂධීය ශාක පංචාංගයන් ද කුරුල්ලන් හා වනගත සතුන් පිළිබඳවද නිරීක්ෂණය කිරීමට යැයි පවසා කැළෑ සටන් ඇතිවීමට සුදුසු ස්ථාන ගැන සෙවීමට ද පටන් ගන්නේ යැයි එතුමා පැවසීය. එහි ප්‍රතිඵලයක් වූයේ උතුරේ කැරැල්ලයි. මේ පිළිබඳව ද අදිකාරම්තුමා පැවසූවිට අපේ සමහරු සිනාසෙන්නට විය. තවද වෙරළාසන්නයේ මහල් ගොඩනැඟිලි ඉදිකිරීම් පසුකාලීනව පොළොව යට ගලා බසින ජල උල්පත් ප්‍රවාහනයන්ට හසුවීම හරහා ගොඩනැඟිලි ගිලා බැසීමට ඉඩකඩ ඇතිබවද එතුමා පැවැසුවේ ය. සොබා දහමත් සමඟ ඊට බද්ධව ජීවත් වූ අදිකාරම්තුමා ගැන අද කතා කරන කෙනෙක්වත් නැත. පත්තර පිටු ගණන් ලියන්නේ උණගස්, බටගස් සහ ගස්ලබු ගස් වැනි අරටුව නැති අය ගැනයි. කිරි විකුණා කරවල කන සමාජයක් බිහි වන විට වෙන දේවල් ගැන කියනුව කවරේද? හෙළයේ එදා විසූ තුන්කල්හිම ඉන්ද්‍රඛීලයක් සේ සිටි දෑ හිතකාමීන්ගේ ජීවන තොරතුරු මඟින් අපේ දූදරුවන් දැනුම්වත් කිරීමට අපේ ලියන මහත්තුරු පන්හිඳ දිගු කරන්නේ නම් එය විශාල පිනකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.