ඔබේ ලග්නය කටක නම්

උපතේ සිට මරණය දක්වා මෙසේ සිදු විය හැකිය
පෙබරවාරි 23, 2024

 

රාශි චක්‍රයේ සිව්වන ලග්නය වන කටක ජලජ රාශියක් ලෙස සැලකෙයි. බොහෝ අස්ථිර ගතියෙන් යුත් නීච රාශියක් නිසා කකුළුවෙකුගේ ස්වරූපයෙන් කටක රාශිය හඳුන්වනු ලබයි. පැරණි නාමය කැන්සර් කියාද ඉංගී‍්‍රසි නාමය ක්‍රැබ්ද හඳුන්වනු ලබන කටක රාශියේ අධිපතිත්වය හිමිවන්නේ ග්‍රහ තාරකාවන්ගේ මාතෘ කාරක ලෙස සලකන සඳුය. සෞම්‍ය ගුණයෙන් හා ශීත ගුණයෙන් අධික නිසා එය ජලජ රාශියක් ලෙස හඳුන්වයි. කටක ලග්නයෙන් මෙලොව එළිය දුටු අයකුගේ ජීවිතය දෙස අප විමර්ශනයක යෙදුණොත් මොවුන් තුළ අනිකුත් ලග්න එකොළහෙන් උපත ලැබූ අයට වඩා වැඩි විශේෂයක් තිබෙන බව පැහැදිලි වෙයි.

විශේෂයෙන් කටක රාශියේදී ගුරු උච්ච වීමෙන් ගුරු හංස යෝගයත්, සඳුගෙන් ගුරු කේන්ද්‍රගතවී උච්ච වුවහොත් ‘ගජකේශරී’ රාජ යෝගයත්, කටක රැසේදී කුජ ග්‍රහයා කේන්ද්‍ර ගතවීමෙන් රුචක යෝගයත් යෙදෙනු ඇත. කටක ලග්නයෙන් උපන් අය මනා රූප සම්පත්තියෙන් යුක්ත වන අතර උණුවන හදවතක් ඇතිවීමද නිරායාසයෙන්ම සිදු වන්නකි. මොවුන් හොඳ පාලකයන් වන අතර මනා සංයමයකින්ද යුක්තය.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ද කටක ලග්නයෙන් උපත ලබා ඇත. මේෂ ලග්නයෙන් උපත ලැබූවන් අතර ලෝකයේ සිටින අග්‍රගණ්‍ය පුද්ගලයෝද වෙති. මොවුන් යුක්තිය, සාධාරණය අගය කරන අය වෙති. මොවුන් තුළ සහජයෙන්ම පිහිටන හැකියාවෙන් ජනතාව එක් රැස් කරන දේශන පවත්වා ඔවුන්ගේ සිත් දිනා ගැනීමේ ඥාන ශක්තියක් පවතී. එබැවින් දේශපාලන ක්ෂේත්‍රයට යොමුවීමේ ප්‍රබල හැකියාවක් කටක ලග්න හිමියන්ට ඇත. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මහත්මා ගාන්ධි ආදී ශ්‍රේෂ්ඨ පුරුෂයන් හා ජනතා නායකයින්ද කටක ලග්නයෙන් උපත ලබා ඇත.

අන් අයගේ අදහස්වලට එතරම් සවන් නොදීමත්, තමාගේ මතයම හරියයි සිතීමත් මොවුන් තුළ ඇති දුර්වලකමකි. සිතර සිතිවිලි වෙනස්කිරීම මොවුන් කෙරෙහි දැකිය හැකි තවත් විශේෂ ලක්ෂණයකි. අනුන්ට උපදෙස් දෙමින් තමන්ද එම වරද කිරීමෙන් අල්ලා ගත් දෙය අත නොහරින ගතියත් කකුළුවාගේ ස්වභාවයයි. කටක ලග්න හිමියාද ඒ හා සමානය. යමක් අල්ලා ගතහොත් අත නොහරින අයෙකි. හිතවත් අයට වඩාත් හිතවත් වන අතර, අහිතවත් අයට වැඩි සතුරුකමක් පෙන්වයි.

කටක රාශිය ජලජ රාශියක් නිසා බොහෝවිට ජලජ ආශි‍්‍රතව කරන කටයුතුවලින් හා වරින්වර වෙනස් කරන කටයුතුවලින් ආර්ථිකය ශක්තිමත් කර ගනී. ජලය සම්පත් හෝ ජලයෙන් ඇතිවන මුතු, මැණික් මෙන්ම සිසිල්බීම, හෝටල් ආදි දියර ද්‍රව්‍ය ආශි‍්‍රත කටයුතුවලට වැඩි රුචියක් දක්වති.

 

කටක ලග්න හිමි කාන්තාවෝ

කටක ලග්න හිමි කාන්තාවෝ තම සහකරුගේ රූපය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වති. තම අනාගත සහකරුගේ උස, රූපය, පැහැය ආදිය ගැන වුවමනාවටත් වඩා සැලකිලිමත් වෙති. මේ නිසා මොවුන්ගේ විවාහය බොහෝවිට පමා වෙයි.

කටක ලග්න හිමි කාන්තාවන් බුද්ධිමත්ය. පාසල් වියේදී වඩාත් අහංකාරය. හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීමේ අභිප්‍රාය පාසල් අවධියේ සිටම සිත තුළ රජ කරයි. බුද්ධිමත් බව නිසාම කාර්මික විද්‍යා, අධ්‍යාපන පීඨ, විශ්වවිද්‍යාල ආදියට ඇතුළත් වීමේ වරම් ලබති. බොහෝ දෙනෙක් සුළු අධාපනයකින් සෑහීමකට පත් නොවේ. කොපමණ බාධක හිරිහැර පැමිණියත් අධ්‍යාපනික කටයුතු සාර්ථකව කර ගෙන යාම ඔවුන්ගේ විශේෂ ලක්ෂණයකි.

කටක ලග්න හිමිකාරියන් බොහෝ චංචලය. තම මතයේම එල්බගෙන සිටීම ඔවුන්ගේ සාමාන්‍ය සිරිතය. මේ නිසා බොහෝවිට තම සහකාරයා හා ගැටුම් ඇති කර ගනී. ඉක්මන් කෝප සහගත බවත්, හදිසියේ ගන්නා තීරණත් නිසා නිතර සැමියාගේ දෝෂ දර්ශනයට ලක්වෙයි. පරිත්‍යාගශීලි ගුණයත් අන් අය කෙරෙහි අනුකම්පාවන් කටක ලග්න හිමිකාරියන් තුළ ඇති නිසා අන් අයගේ සිත් දිනා ගැනීම පහසු වෙයි. ඔවුන් කුඩා කාලයේ සිටම සමාජ සේවයට ලැදිය.

කටක ලග්න හිමියන්ගේ තුරුණු විය සාමාන්‍යයෙන් තරමක් රෝගී බවින් යුක්තය. ඔවුන්ගේ සෞඛ්‍ය දුර්වලකම් බොහෝවිට ඇතිවන්නේ තරුණ වයසේදීම ය. ඇතැමෙක් වාත ආබාධයෙන්ද ප්‍රමේහ රෝගාදියෙන්ද පීඩා විඳිති. එමෙන්ම සෙම් රෝග, ඇදුම, පීනස දක්වා වර්ධනය විය හැකිය. පෙණහලු රෝග, උගුරේ රෝග, වකුගඩු රෝග හමේ රෝගද කටක ලග්න හිමියන්ට පොදු වේ.

කටක ලග්න හිමියන්ගේ ලග්නයේ රවි, බුධ, සිකුරු යෝගය ඉතා බලවත් වෙයි. මෙසේ වුවහොත් බුද්ධිමත්වූ රූප රාජිනියක් වීමට තරම් රූප සම්පත්තියක් උරුම වෙයි. පස්වැන්නේ හෝ නම වැන්නේ ගුරු සිටීම ඉහළ අධ්‍යාපනයක් ලැබීමේ හැකියාවද පෙන්නුම් කරයි. රටක ප්‍රධාන පාලක, පාලිකාවන් වීමේ හැකියාවද ඔවුන් සතුය. බැංකු කළමනාකරුවන්, වෛද්‍යවරුන්, හමුදා ප්‍රධානීන් කටක ලග්නයෙන් බොහෝවිට ඉපදී ඇත. සමහරු පුණ්‍ය සමිතිවලට, අනාථ නිවාසවලට තම ධනය නොමසුව පරිත්‍යාග කරති. ඔවුන් තම නම ඉහළින්ම තබා ගැනීමට වැඩි කැමැත්තක් දක්වති.

කටක ලග්නය හිමි ඔබට මාරක ග්‍රහයින් වන්නේ බුධ, ගුරු, ශනි හා සිකුරුය. වඩාත්ම අසුබ ග්‍රහයා වනුයේ සෙනසුරුය. ඔබේ කේන්ද්‍රයේ සෙනසුරු ඒරාෂ්ටකයක් පිහිටා ඇතිනම් සෙනසුරු මහ දශාවේ, සෙනසුරු අතුරුදශාවේද ඔබ වඩාත් පරිස්සම් විය යුතුය. මාරක විපත් කරදර පැමිණීමට ඉඩ ඇත. මෙම කාලය තුළදී විශේෂයෙන්ම ළිං, වැව්, ගංගා, මුහුදු වැනි ස්ථානවලදී ජලයෙන් පරිස්සම් විය යුතුය. මෝටර් රථ වාහනවලින් මෙන්ම උස් ස්ථානවලට නැගීමෙන් මෙන්ම බැසීමෙන්ද සැලකිලිමත්වීම වැදගත්ය. කටක ලග්න හිමියන්ට ඉතා සුබ දින වනුයේ අඟහරුවාදා හා සිකුරාදා, බදාදා සහ සෙනසුරාදා අශුභය. ජය අංකය 2,7,9 වන අතර 5,8 අශුභයි.

(මීළඟට සිංහ ලග්නය ගැනයි)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.